2025/26 මැලිබන් අන්තර් සමාජ රග්බි ලීගයේ දෙවැනි වටයේ තරග පසුගිය සතියෙන් ආරම්භ වූ අතර, එහි දී වත්මන් ශූරයින් වන මහනුවර කණ්ඩායම නැවතත් ලකුණු සටහනේ පෙරමුණ ලබා ගැනීමට ද සමත් වුනා.
දෙවැනි වටයේ දෙවැනි සතියේ තරග පසුගිය සිකුරාදා (06) ආරම්භ වූ අතර, එහි පළමු තරගය සඳහා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය තරග බිමට අවතීර්ණ වුනා.
නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය
මෙම තරගය ඉතා තියුණු තරගයක් ලෙසින් ක්‍රියාත්මක වුනා. තරගයේ පළමු අර්ධය තුළ නාවික හමුදාව විසින් උත්සාහක දිනුමක් සමඟ ලකුණු 16ක් වාර්තා කරන අතරේ, පොලිස් ක්‍රීඩකයින් උත්සාහක දිනුම් දෙකක් ද සමඟ වාර්තා කිරීමට සමත් වුනේ ලකුණු 10ක් පමණයි.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වීමත් සමඟින් ම පොලිස් ක්‍රීඩකයින් වඩාත් තරගකාරී ලෙස තරගයට අවතීර්ණ වෙමින් සිය ලකුණු සංඛ්‍යාව 29ක් කරා රැගෙන යාමට සමත් වුනේ තවත් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් ද සමඟයි. නාවික හමුදාව තරගයේ දෙවැනි අර්ධයේ මුල් කොටස තුළ ලකුණු ලබා ගැනීමට අපොහොසත් වුනා. නමුත් පසුව ඔවුන් නැවතත් තරගය සියතට ගැනීම වෙනුවෙන් කරට කර සටනක් ආරම්භ කළ අතර, එහි දී ඔවුන් තවත් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 14ක් වාර්තා කරමින් සිය ලකුණු සංඛ්‍යාව 30ක් කරා රැගෙන යාමට සමත් වුනේ විශිෂ්ට ජයග්‍රහණයක් තමන් සතු කර ගනිමිනුයි.
- නාවික හමුදාව 30 (4T, 3C, 3P) – Police SC 29 (5T, 2C)
තරගයේ වීරයා – ඉසුරු කෝන්ගහවත්ත (නාවික හමුදාව)
මහනුවර සහ Havelock
මෙම තරගයේ දී Havelock ක්‍රීඩකයින් විසින් බලාපොරොත්තු වූ තරමේ අභියෝගයක් මහනුවර වෙත ලබා දීමට අපොහොසත් වුනා.
තරගයේ පළමු අර්ධය තුළ මහනුවර ක්‍රීඩකයින් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 15ක් වාර්තා කරන අතරේ, Havelock කණ්ඩායම ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වුනා.
තරගයේ දෙවැනි අර්ධය තුළ මහනුවර ක්‍රීඩකයින් සිය තරග රටාව සුපුරුදු පරිදි තවත් තීව්‍ර කරමින් තවත් උත්සාහක දිනුම් හතරක් වාර්තා කිරීමට සමත් වුනේ සිය සමස්ත ලකුණු සංඛ්‍යාව 42ක් කරා රැගෙන යමිනුයි. නමුත් මෙම කාලසීමාව තුළ Havelock ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.
- මහනුවර 42 (6T, 3C, 2P) – Havelock SC 17 (2T, 2C, 1P)
තරගයේ වීරයා – දිනාල් ඒකනායක (මහනුවර)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
ගුවන් හමුදාව සහ යුද හමුදාව
මෙම තරගය ද ගුවන් හමුදාව විසින් ඉතා පහසුවෙන් ජය ගැනීමට සමත් වුනා.
ලීගයේ මූලික වටයේ දී තමන්ට සුපිරි කණ්ඩායම් හතර අතරට එක් වීමට නොහැකි වීමේ අවාසනාව හැරුණු කොට මෙවර තරග වාරය පුරාවට ගුවන් හමුදාව විසින් වඩාත් හොඳ ක්‍රීඩාවක නියැලුණා. ඒ අනුව මෙම තරගයේ පළමු අර්ධය තුළ ගුවන් හමුදාව විසින් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 10ක් ලබාගන්නා අතරේ, යුද හමුදාව විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි.
තරගයේ දෙවැනි අර්ධය ද මේ අයුරින් ම ගුවන් හමුදාව පෙරමුණේ රැඳෙමින් ක්‍රියාත්මක වුනා. එහි දී ඔවුන් තවත් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 15ක් වාර්තා කිරීමට සමත් වූ අතර, යුද හමුදාව මෙම කාලය තුළ තවත් ලකුණු 07ක් වාර්තා කිරීමට සමත් වුනා.
- ගුවන් හමුදාව 25 (4T, 1C, 1P) – යුද හමුදාව 12 (2T, 1C)
තරගයේ වීරයා – ගයන්ත ඉද්දමල්ගොඩ (ගුවන් හමුදාව)
CH & FC සහ CR & FC
මෙවර ශූරතාව වෙනුවෙන් තරග වදිනා කණ්ඩායම් අතුරින් විශාල රසික ආකර්ෂණයක් හිමි වූ තරගයක් ලෙස මෙය හැඳින්විය හැකි.
කණ්ඩායම් දෙකම ඉතා ප්‍රබල මට්ටමක රැඳෙමින් මෙම තරගය ක්‍රියාත්මක වූ අතර, තරගයේ පළමු අර්ධය තුළ පෙරමුණ ගැනීමට සමත් වූ CR & FC ක්‍රීඩකයින් විසින් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වුනා. ඒ අතරවාරයේ දී CH & FC ක්‍රීඩකයින් විසින් ලකුණු 08ක් ලබමින් ප්‍රතිවාදීන්ට සටනක් ලබා දීමට උපරිම උත්සාහය ලබා දෙමින් සිටියා.
තරගයේ දෙවැනි අර්ධය ද පළමු අර්ධය මෙන්ම ඉතා තරගකාරී අයුරින් ක්‍රියාත්මක වූ අතර, මෙහි දී CR & FC ක්‍රීඩකයින් විසින් සිය සමස්ත උත්සාහක දිනුම් සංඛ්‍යාව 04ක් බවට පත් කර ගනිමින් තවත් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම CH & FC ක්‍රීඩකයින් ද තවත් ලකුණු 08ක් ලබා ගැනීමට සමත් වුනා.
ඒ අනුව මෙම තරගයේ ජය CR & FC කණ්ඩායමට හිමි වුනා.
- CR & FC 26 (4T, 3C) – CH & FC 16 (2T, 2P)
තරගයේ වීරයා – සෙනුර පෙරේරා (CR & FC)
මෙම සතිය අවසන් වන විට මහනුවර කණ්ඩායම ලකුණු 51ක් සමඟ ශූරතාව සඳහා සටනේ පෙරමුණේ පසු වනවා. කෙසේ වෙතත් ඔවුන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සැරසෙන CR & FC ක්‍රීඩකයින් ලකුණු 48ක් රැස් කරමින් දෙවැනි ස්ථානයේ රැඳෙනවා.
මෙම කණ්ඩායම් ද්විත්වය මේ වන විට ලීග් ශූරතාව සඳහා වඩාත් ප්‍රබල තරගකරුවන් වී හමාරයි.
දේශීය රග්බි ලීගයේ සියලු උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<





















