චමරි අතපත්තුට පාකිස්තානයෙන් ඇරයුමක්!

1250

මේ දිනවල පාකිස්තානයේ පැවැත්වෙන PSL තරගාවලියට සමගාමීව ප්‍රදර්ශනාත්මක කාන්තා විස්සයි විස්ස තරග තුනක් පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සැලසුම් කර ඇති අතර, එය නියෝජනය කිරීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු හට ද අවස්ථාව හිමිව තිබෙනවා.

Amazon සහ Super Women නමින් නම් කළ කණ්ඩායම් දෙකක් අතර මෙම තරග ත්‍රිත්වය පාකිස්තානයේ රාවල්පින්ඩි හිදී පැවැත්වීමට නියමිත අතර, මෙම තරග ත්‍රිත්වය ලබන සතියේ බදාදා (08), සිකුරාදා (10) සහ සෙනසුරාදා (11) දිනවල පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ දිනවල පැවැත්වෙන PSL තරගාවලියේ තරග ද මෙම ක්‍රීඩාංගණයේ ම පැවැත්වෙන අතර අදාළ දිනවල PSL තරග පැවැත්වීමට ප්‍රථම හවස් වරුවේ මෙම තරග පැවැත්වුණු ඇති බවයි පාකිස්තානයෙන් වාර්තා වන්නේ.

එමෙන්ම මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ඇතුළු විදෙස් ක්‍රීඩිකාවන් දස දෙනෙකු තෝරා ගෙන ඇති අතර, අනාගතයේ කාන්තා විස්සයි විස්ස ලීගයක් පැවැත්වීමේ අදහස සාක්ශාත් කර ගැනීමේ අරමුණින් යුතුව PCBය විසින් මෙම ප්‍රදර්ශනාත්මක තරග තුන සැලසුම් කර ඇති බවත් දැන ගන්නට ලැබෙනවා.

මෑතක දී පාකිස්තාන කාන්තා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වූ Bismah Maroof විසින් Amazon කණ්ඩායම මෙහෙයවීමට නියමිත අතර, Nida Dar විසින් Super Women කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

මෙම කණ්ඩායම් දෙක සඳහා ක්‍රීඩිකාවන් 36 දෙනෙකු නම් කර ඇති අතර, ඔවුන් සමානව කණ්ඩායම් දෙකට බෙදා වෙන් කර ඇති අතර එක් තරගයක දී එම කණ්ඩායම් වලට උපරිමය 4ක් සහ අවමය 3කට යටත් ව විදෙස් ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරවිය හැකියි.

මෙහි දී Bismahගේ නායකත්වයෙන් යුතු Amazon Women කණ්ඩායම වෙනුවෙන් එංගලන්ත ක්‍රීඩිකාවන් තිදෙනෙක්, මෙන්ම ඕස්ට්‍රේලියාවෙන් සහ අයර්ලන්තයෙන් ක්‍රීඩිකාව බැගින් එක් වී සිටින අතර, Super Women කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට අමතරව එංගලන්ත ක්‍රීඩිකා Danielle Wyatt සහ බංග්ලාදේශ , දකුණු අප්‍රිකා සහ නවසීලන්ත ක්‍රීඩිකාව බැගින් එක්වී සිටිනවා.

මෙහි දී Super Women කණ්ඩායම සමඟ එක් වූ එංගලන්ත ක්‍රීඩිකා Wyatt දැනට ලොව දෙවැනියට වැඩිම අන්තර්ජාතික විස්ස තරග ප්‍රමාණයක් (143) ක්‍රීඩා කළ ක්‍රීඩිකාව ලෙසට ද වාර්තා පොත් වලට එක් වී සිටිනවා.

මෙම ක්‍රීඩිකාවන් දස දෙනා රටවල් අටක් නියෝජනය කරමින් මේ තරගාවලිය සඳහා එක් වී ඇති අතර, එයින් අට දෙනෙකු ම නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ද ක්‍රීඩා කළා.

බදාදා පැවැත්වීමට නියමිත පළමු තරගය ලෝක කාන්තා දිනය සැමරීමට ද අවස්ථාවක් කර ගනිමින් පැවැත්වෙනු ඇති අතර, සිකුරාදා පැවැත්වීමට නියමිත දෙවන තරගය පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරි ව පැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පැවැත්වීමට නියමිත තරගාවලිය පිළිබඳ කණ්ඩායම් නායිකාවන් මෙන්ම පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවා දැඩි උනන්දුවකින් පසු වන අතර, PCB හී කාන්තා ක්‍රිකට් ප්‍රධානී Tania Mallick පවසා සිටියේ මෙම තරගාවලිය මගින් විදෙස් ක්‍රීඩිකාවන් සමග මුසුවීමෙන් අලුත් අත්දැකීම් රැසක් සිය ක්‍රීඩිකාවන්ට ලබා ගත හැකි වනු ඇති බව සහ මේ මගින් පාකිස්තාන කාන්තා ක්‍රිකට් තවත් ඉහළට එසවීමට පිටුබලයක් ලැබෙනු ඇති බවයි.

PCB විසින් මීට පෙර සැලසුම් කර තිබුණේ PSL හා සමගාමීවම කාන්තා විස්සයි විස්ස ලීග් තරගාවලියක් ද පැවැත්වීමටයි. නමුත් පසුව එම සැලසුම් ව්‍යර්ථ වී ගොස් ඇති අතර, දැන ගැනීමට ලැබෙන ආකාරයට මෙම වසරේ අග බාගයේ දී කණ්ඩායම් හතරක සහභාගීත්වයෙන් යුතුව PSL වලට වඩා වෙනස් නමකින් සහ අනන්‍යතාවයකින් යුතුව කාන්තා ලීග් තරගාවලියක් පැවැත්වීමට පාකිස්තානය විසින් සැලසුම් සකස් කරමින් සිටිනවා.

මෙම තරගාවලිය සඳහා නම් කර ඇති සංචිත මෙසේයි.

Amzons:

Bismah Maroof (නායිකා), Aliya Riaz, Anam Amin, Areesha Noor, Eyman Fatima, Fatima Khan, Fatima Sana, Ghulam Fatima, Gull Feroza, Kainat Imtiaz, Laura Delany (අයර්ලන්තය), Lauren Winfield-Hill (එංගලන්තය), Maia Bouchier (එංගලන්තය), Nashra Sundhu, Sadaf Shamas, Tammy Beaumont (එංගලන්තය), Tess Flintoff (ඕස්ට්‍රේලියා), Umm-e-Hani

Super Women:

Nida Dar (නායිකා) Aimen Anwar, චමරි අතපත්තු, Danni Wyatt (එංගලන්තය), Iram Javed, Jahanara Alam (බංග්ලාදේශය), Laura Wolvaardt (දකුණු අප්‍රිකාව), Lea Tahuhu (නවසීලන්තය), Muneeba Ali, Natalia Parvaiz, Omaima Sohail, Sadia Iqbal, Shawaal Zulfiqar, Sidra Amin, Sidra Nawaz, Syeda Aroob Shah, Syeda Masooma Zahra, Tuba Hassan

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<