ශ්‍රී ලංකා ක්‍රිකට් ගෝලීය විකාශන අයිතියට ලංසු කැඳවයි

320
SLC to open bids for global rights on March 1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෝලීය මාධ්‍ය (විකාශන) අයිතිය සඳහා ලංසු කැඳවීම ආරම්භ කරන බවත්, ඉන්දීය විකාශන සමාගම් කිහිපයක් ඒ සඳහා ඉදිරිපත්ව ඇති බව Cricbuzz වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ගෝලීය විකාශන අයිතිය සඳහා ලංසු කැඳවීම මාර්තු 01 (බදාදා) ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර යම් හෙයකින් අවසන් මොහොතේ විකාශකයෙකු පැමිණියහොත් එය කල් යාමට ඉඩ පවතී.

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගෝලීය විකාශන අයිතිය Sony Sports ආයතනයට හිමි වන අතර මෙවර ලංසු තැබීමේ දී ඔවුන්ට Star Sports සහ FanCode වෙතින් දැඩි තරගයක් එල්ල වීමට හැකියාවක් ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම Viacom 18 ආයතනය විසින් ද මෙම ගෝලීය විකාශන අයිතිය ලබා ගැනීමට උනන්දුවක් පෙන්නුම් කර ඇති අතර නව තරගකරුවෙකු වන ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සමීපව කටයුතු කරමින් ලංසු තැබීමට ඔවුන්ට ඇති හැකියාව පිළිබඳව සලකා බලමින් සිටින බව ද මාධ්‍ය වාර්තා කරනවා.

මෙම විකාශන අයිතිය 2023 වසරේ මාර්තු සිට 2027 වසර දක්වා බලාත්මක වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන විකාශන අයිතිය ඩොලර් මිලියන 23-25 අගයක් ගන්නා අතර එහි නව වටිනාකම මීළඟ ලංසු තබන්නන්ගේ ලංසු ඉදිරිපත් කිරීම මත රඳා පවතිනවා.

එය බොහෝ විට ඩොලර් මිලියන 25 සීමාව පසු කිරීමට ඉඩක් ඇති අතර එය ශ්‍රී ලංකාව ඉන්දියාවට සත්කාරකත්වය සපයන තරග මත රඳා පවතිනවා.

තරග හයකින් යුත් සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා ඉන්දීය ක්‍රීඩකයින් 2024 වසරේ දී මෙරටට පැමිණෙන අතර දෙරට අතර ටෙස්ට් තරගාවලියක් 2026 වසරේ දී පැවැත්වීමට නියමිතයි.

නමුත් මෑත කාලයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරගාවලි සලකා බලන විට බොහෝ තරගාවලි ඉතා කෙටි කාලයක් තුළ සැලසුම් කළ තරගාවලි වන නිසා තවත් තරග ඉදිරියේ දී ඇතුළත් වීමට බොහෝ ඉඩක් පවතිනවා.

වර්තමාන තත්වය අනුව ඉදිරි වසර හතරක කාලය තුළ ශ්‍රී ලංකාව ඉන්දීය සත්කාරකත්වය යටතේ සහභාගී වීමට ඇත්තේ තරග අටක් සඳහා පමණක් වන අතර එම කාලය තුළ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරග 56ක් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙම ගෝලීය විකාශන අයිතිය සඳහා ලංසු විමසීමෙන් පසුව දේශීය ක්‍රිකට් තරග විකාශන අයිතිය සඳහා ලංසු කැඳවීම ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබෙනවා.

Cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<