Hashim Amla ක්‍රිකට් පිටියට සමුදෙයි

2432
Hashim Amla announces retirement

දකුණු අප්‍රිකාවට ක්‍රීඩා කළ විශිෂ්ටතම පිතිකරුවෙකු වන Hashim Amla සියලුම ආකාරයේ ක්‍රිකට් ආකෘතිවලට සමුදීමට තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායමක් වන Surrey කණ්ඩායමට ක්‍රීඩා කළ Amla පසුගිය වසරේ ප්‍රාන්ත ශූරතාවය සිය කණ්ඩායම විසින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෙම වසරේ දී එම කණ්ඩායම සමඟින් එක් නොවන බව ප්‍රකාශ කරමින් මෙම සමුගැනීමේ තීරණය ගෙන තිබෙනවා.

39 හැවිරිදි Amla දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් දක්වමින් වෘත්තීය ක්‍රිකට් පිටියේ ලකුණු 34,104ක් ලබා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

2004 සිට 2019 දක්වා කාලසීමාවේ ටෙස්ට් තරග 124ක් ක්‍රීඩා කරමින් ලකුණු 9,282ක් ලබා ගත් Amla ටෙස්ට් පිටියේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු ලෙස දෙවැනි වන්නේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Jacques Kallisට පමණයි.

එම ලකුණු 9,282 තුළ ටෙස්ට් ශතක 28ක් සහ එක් ටෙස්ට් ත්‍රිත්ව ශතකයක් අන්තර්ගත වන අතර 2012 වසරේ එංගලන්තයට එරෙහිව ඔහු නොදැවී ලබා ගත් ලකුණු 311 දකුණු අප්‍රිකානු පිතිකරුවෙකු ලකුණු 300 සීමාව පසු කළ පළමු අවස්ථාවයි.

එක්දින පිටියේ ද ඉහළ දස්කම් දැක්වූ ඔහු තරග 181ක් තුළ ශතක 27ක් සමඟින් ලකුණු 8113ක් ලබා ගැනීමට සමත් වූ අතර විස්සයි විස්ස 44ක් සඳහා ද දායකත්වය ලබා දුන් ඔහු ලකුණු 1277ක් ලබා ගැනීමට සමත්ව තිබුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව පුහුණුකරුවෙකු ලෙස ද වැඩ ආරම්භ කළ ඔහු මේ දිනවල පැවැත්වෙන SA20 තරගාවලියේ MI Cape Town කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා.

එමෙන්ම රටේ නව පුහුණුකරුවන් තෝරා ගැනීමේ ක්‍රමය අධ්‍යනය කිරීමේ දී ඔහු ජාතික කණ්ඩායමේ පුහුණුකරු වීමේ අපේක්ෂාවෙන් පසුවන බව ද වැටහෙනවා.

2019 වසරේ පැවති එක්දින ලෝක කුසලානයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් Hashim Amla එම වසරේම පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරගාවලියේ දී ටෙස්ට් පිටියට සමුදුන්නා.

ඔහු එම වසරේ දී නැවතත් එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන Surrey කණ්ඩායම සමඟ සම්බන්ධ වූ අතර ඔහු එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් පිටියේ Surrey කණ්ඩායමට අමතරව Derbyshire, Hampshire, Nottinghamshire සහ Essex කණ්ඩායම් නියෝජනය කර තිබෙනවා.

ක්‍රිකට් පිටියේ ප්‍රධානතම ලීග් තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Kings XI Punjab කණ්ඩායම නියෝජනය කළ ඔහු දකුණු අප්‍රිකානු දේශීය තරග පිටියේ Kwa-Zulu Natal, Dolphins සහ Cape Cobras කණ්ඩායම් නියෝජනය කළා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව Surrey කණ්ඩායම නියෝජනය කරමින් ද ඉහළ දස්කම් දැක්වූ ඔහු අවසන් තරගවාර දෙකේ දී ශතක පහක් ලබා ගැනීමට සමත් වූ අතර Hampshire කණ්ඩායමට එරෙහිව ඔහු 2021 වසරේ දී නොදැවී ලකුණු 215ක් ලබා ගනිමින් ද්විත්ව ශතකයක් වාර්තා කළා.

“ඕවල් ක්‍රීඩා පිටියේ මට ගොඩක් හොඳ මතක තිබෙනවා. ඉතින් අවසානයේ ක්‍රීඩකයෙකු ලෙස එයින් නික්ම යන්න ලැබීම ගැන මම සතුටු වෙනවා.

Alec Stewart ඇතුළු Surrey කාර්ය මණ්ඩලයට සහ කණ්ඩායම් ක්‍රීඩකයින්ට මම මගේ ස්තුතිය පුද කරනවා ඔවුන් මට දුන්න සහයෝගයට. Surrey කණ්ඩායම ඉතාමත් වෘත්තීය ලෙස ඉදිරියට යන එකක් නිසා ඕනෑම ජාත්‍යන්තර ක්‍රීඩකයෙකුට ඒකට සම්බන්ධ වීම ගෞරවයක් ලෙසයි දැනෙන්නේ.

මම ඔවුන්ගේ අනාගතයට සුබ පතනවා වගේම තවත් කුසලාන රැසක් ලබා ගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.” යැයි Hashim Amla ප්‍රකාශ කළා.

Hashim Amla සමඟ Surrey කණ්ඩායමේ වැඩ කටයුතු කළ Alec Stewart විසින් Amla පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඔහු නියම වෘත්තීය ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨයෙක් බවයි.

“Surrey කණ්ඩායමේ සියලු දෙනා Amlaගේ විශ්‍රාම ගැනීම දැකලා කනගාටුවට පත් වුනා. නමුත් අපි සියල්ලෝ ම ඒ විශිෂ්ට ක්‍රීඩා දිවිය අගය කරන්න ඕන. ඔහු නික්ම යන්නේ ක්‍රීඩාවේ විශිෂ්ටයෙක් ලෙසයි.

ඔහු (Amla) අපූරු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ඉතාමත් හොඳ මනුස්සයෙක්. කණ්ඩායමට ක්‍රීඩා පිටිය තුළ මෙන්ම පිටත දේවල් ඉගෙන ගන්න ඔහු ඉතාමත් ප්‍රයෝජනවත් ක්‍රීඩකයෙක්.

ඔහු ඉතා වටිනා දිගු ඉනිම් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු මෙන්ම, අසීරු අවස්ථාවල දී කණ්ඩායමට ප්‍රතිඵලයක් ගෙන ඒමට හොඳින් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. මට ඔහුට ඇති තරම් ස්තුති කරන්න බැහැ ඔහු අප කණ්ඩායමට කරපු දේවල්වලට. එමෙන්ම සැබෑ වෘත්තීය ක්‍රීඩකයෙකු කියන්නේ කවුද කියලා යොවුන් ක්‍රීඩකයින්ට ඔහු හොඳ ආදර්ශයක්.

Surrey කණ්ඩායමේ සියලූම දෙනා ඔහුගේ අනාගතයට සුබ පතනවා මෙන්ම ඔහුට අපගේ ස්තුතිය පුද කරනවා අප සමඟ රැඳී සිටියාට. ඒ වගේම ඔහුගේ ඉතාමත් අලංකාර ක්‍රීඩා දිවියට අපි හැමෝම සුබ පැතුම් එක් කරනවා,” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

Espncricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<