ගෙවී ගිය 2022 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සොඳුරු මතකයන්

952

සමස්තයක් ලෙස පෙර අවුරුදුවලට වඩා සාධනීය තරග වාර්තාවක් රැක ගනිමින් 2022 වර්ෂය අවසන් කිරීමට ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම සමත් වූ අතර එහි උච්චතම අවස්ථාව ලෙස වසර අටකට පසුව නැවත ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කරමින් ලද ආසියානු කුසලාන ජයග්‍රහණය හඳුන්වා දෙන්න පුළුවන්.

එමෙන්ම කාන්තා ක්‍රිකට් කණ්ඩායම ද 2022 ආසියානු කුසලාන අවසන් මහා තරගයට පිවිසෙමින් අනුශූරතාව දිනා ගැනීමට සමත් වූ අතර, මේ වසරේ ඔවුන් දැක්වූ ඉහළතම දක්ෂතාව ලෙස එය සඳහන් කළ හැකියි.

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2022 වර්ෂය තුල දී ටෙස්ට් තරග 8ක්, එක්දින තරග 11ක් සහ විස්සයි විස්ස තරග 25 සමඟින් සමස්ත ජාත්‍යන්තර ක්‍රිකට් තරග 44ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඒ අතරින් ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 6ක් සහ විස්සයි විස්ස තරග 11ක් ලෙස සමස්ත තරග 20ක් ජයග්‍රහණය කිරීමට ද ඔවුන් සමත් වුනා.

මෙම කැලැන්ඩර් වර්ෂය තුල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගවල ඉහළම ලකුණු ලාභියා ලෙස දිනේශ් චන්දිමාල් විසින් ලකුණු 719ක් රැස් කර ගෙන ඇති අතර, ප්‍රභාත් ජයසූරිය විසින් වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා ලෙස කඩුලු 29ක් බිඳ හෙළීමට ද සමත් වී තිබෙනවා.

එමෙන්ම එක්දින තරගවල දී ලකුණු 491ක් රැස් කරමින් පැතුම් නිස්සංක වැඩිම ලකුණු ලාභියා ලෙස ද, කඩුලු 14ක් බිඳ හෙළමින් ජෙෆ්රි වැන්ඩර්සේ වසරේ වැඩිම එක්දින කඩුලු ලාභියා ද වීමට සමත් වුනා.

විස්සයි විස්ස තරග රටාවේ 2022 වසර වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු ලාභියා වන්නේ ද පැතුම් නිස්සංක ම වන අතර ඔහු ලකුණු 713ක් රැස් කර තිබෙනවා.

එමෙන්ම සුපුරුදු පරිදි විස්සයි විස්ස කඩුලු 34ක් දවා ගනිමින් මේ වසරේ දීත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම කඩුලු ලාභියා වීමට වනිඳු හසරංග සමත් වුනා.

නමුත් වසර ආරම්භය ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඒ තරම් ම සුබදායී එකක් වුනේ නැහැ

ගෙවී ගිය 2022 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුලින් ම ක්‍රීඩා පිටියට පිවිසෙන්නේ ජනවාරි මාසයේ 16 වැනි දින සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වුණු තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දී වන අතර එම තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

ඉන්පසුව ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරග පහක තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය අතර එම තරගාවලිය බලාපොරොත්තු වූ තරම් හොඳ මට්ටමකින් අවසන් කර ගැනීමට ඔවුන් සමත් වුනේ නැහැ.

4-1ක් ලෙස තරගාවලි පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට එහි දී සිදු වූ අතර, තරගාවලියේ තෙවැනි තරගය ලකුණු සම වීමෙන් අවසන් වී පසුව සුපිරි පන්දු වාරයේ දී ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වීම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට අදටත් අමිහිරි මතකයක් බවට සැකයක් නැහැ.

එම තරගාවලියෙන් පසු විස්සයි විස්ස තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක් වෙනුවෙන් ඉන්දියාවට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාවේ දී ඉන්දියාව පරාජය කිරීම තව දුරටත් සිහිනයක් බවට පත් වුනේ එම තරග පහම පරාජය වීමට සිදු වීමත් සමඟයි.

වසර ආරම්භය ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් ඒ තරම් ම සුබදායි ආරම්භයක් නොවුනත්, ඉන්පසුව ඔවුන්ගේ බංග්ලාදේශ සංචාරයේ දී තරමක් සැනසිලිදායක තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

ටෙස්ට් තරග දෙකක් සඳහා බංග්ලාදේශයට ගිය ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් යුතුව අවසන් වුවද, දෙවැනි තරගයෙන් ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔවුන් සමත් වුනා.

එහි දී විශේෂයෙන්ම ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කළ අසිත ප්‍රනාන්දු සහ කසුන් රාජිතගේ පන්දු යැවීමේ දක්ෂතා අගය කළ යුතුයි.

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත වරක් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් නියමිත ව තිබුණේ ජුනි මාසයේ දීයි. ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වුණු මෙම තරගාවලියට විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග පහක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත්ව තිබුණා.

තරගාවලිය ආරම්භ වුනේ විස්සයි විස්ස තරගවලින් වන අතර, මුල් තරග දෙකම ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

නායක දසුන් ලබා දුන් පන්නරය

තෙවැනි විස්සයි විස්ස තරගයේ දී කිසිවකු හෝ නොසිතූ අයුරින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අතර, වරක තරග ජයග්‍රහණය සඳහා පන්දු 17කින් ලකුණු 58ක් ලබා ගත යුතුව තිබූ අතර පසුව දසුන් ශානක ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට එරෙහිව දියත් කළ ගිනි කෙලි සංදර්ශනය නිසා කෙසේ හෝ ශ්‍රී ලංකාවට එම තරගය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා.

විස්සයි විස්ස තරගාවලියේ තීරණයට එම ජයග්‍රහණය බලපෑමක් එල්ල නො කළත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ රටාවේ පැහැදිලි වෙනසක් එම තරගයෙන් පසුව දැක ගැනීමට හැකි වූ බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.

දසුන්ගේ ඉනිමෙන් පන්නරය ලබමින් ඕස්ට්‍රේලියාව සමඟ එක්දින තරගාවලියට පිවිසුණු ශ්‍රී ලංකාව 3-2ක් ලෙස ඕස්ට්‍රේලියාව පරාජය කිරීමට සමත් වූ අතර, එය වසර 30කට පසුව ඕස්ට්‍රේලියාව එක්දින ක්‍රිකට් තරගාවලියකින් ශ්‍රී ලංකාවේ දී පරාජය කිරීමට සමත් වූ ප්‍රථම අවස්ථාව ලෙස ද ඉතිහාස ගත වුනා.

එමෙන්ම තරගාවලිය පුරා ශ්‍රී ලංකා පිතිකරුවන් සහ පන්දු යවන්නන්ගේ දක්ෂතා ද ඉතා ඉහළ මට්ටමක පැවතුණා.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ද 1-1ක් ලෙස සම කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වන්නේ මෙම වසරේ දී (මේ වන තෙක්) ටෙස්ට් ක්‍රිකට් තරගයකින් ඕස්ට්‍රේලියාව පරාජය කළ එකම කණ්ඩායම බවට ද පත් වෙමිනුයි.

තරගාවලියේ දෙවැනි තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේශ් චන්දිමාල් ද්විත්ව ශතකයක් රැස් කිරීමට සමත් වූ අතර එය මේ වසරෙ දී ශ්‍රී ලාංකික පිතිකරුවෙකු ජාත්‍යන්තර තලයේ ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සහ එකම ද්විත්ව ශතකය ලෙස ද සටහන් වනවා.

එම තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාවට පාකිස්තාන කණ්ඩායම සමඟ ටෙස්ට් තරග දෙකකට මෙරටේ දී මුහුණ දීමට සිදු වූ අතර, එම තරගාවලිය ද 1-1 ලෙස සම මට්ටමින් අවසන් වුනා.

පාකිස්තානය සමඟ තරගාවලියෙන් පසුව සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ආසියානු කුසලානය වෙනුවෙන් තරග කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව ගිය අතර තරගාවලියේ ඔවුන් මුහුණ දුන් පළමු තරගයම ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වීමට ද ඔවුන්ට සිදු වුනා.

නමුත් එයින් පසු නොකඩවා විස්සයි විස්ස තරග පහක් ජයග්‍රහණය කරමින් ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, වසර අටකට පසුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ දිනා ගත් පළමු කුසලානය බවට ද එය බවට පත් වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයින් විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ අතර තරගාවලියේ වීරයා ලෙස තුන් ඉරියව්වෙන් ම කැපී පෙනුණු වනිඳු හසරංග සම්මාන දිනා ගත්තා.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍ර්‍රේක්ශකයින්ට ද අතිශය සංවේදී සහ ප්‍රීතිමත් අවස්ථාවක් වූ අතර, ජයග්‍රාහි කුසලානය සමඟ නැවත මවුබිමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමට ජන ගංගාවක් එක් රොක් වී සිටියා.

ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එම ජයග්‍රාහී මානසිකත්වය සමඟින් විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීමට ඕස්ට්‍රේලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී රිද්මය පළමු තරගයෙන් ම බිඳ වැටුණා.

පළමු තරගයෙන් ම නැමීබියාව හමුවේ අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වූ නමුත් පසුව නැවත නැගී සිටිමින් ඉදිරි තරග ද්විත්වය ම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තා.

එහි දී ඔවුන් මුහුණ දුන් තරග 5න් තරග දෙකක් පමණක් ජයග්‍රහණය කිරීමට (ඇෆ්ගනිස්තානයට සහ අයර්ලන්තයට එරෙහිව) ශ්‍රී ලංකාව සමත් වූ අතර එයින් ඔවුන්ගේ ලෝක කුසලාන සිහිනය ද බිඳ වැටුණා.

තරගාවලිය අවසන් වීමත් සමඟින් ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දනුශ්ක ගුණතිලක විදෙස් කතකට ලිංගික අඩත්තේට්ටම් කිරීමකට සැකකරු ලෙස චෝදනා එල්ල වීමත් සමඟින් ඔහුට ඕස්ට්‍රේලියාවෙන් පිට වීම ද තහනම් කෙරුණා.

ඉන්පසුව මේ වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් එක්දින ජාත්‍යන්තර තරගාවලිය ඇෆ්ගනිස්තානය සමඟ නොවැම්බර් මාසය අග දී පැවැත්වුණු අතර එහි දී ඔවුන් 1-1ක් ලෙස සම මට්ටමින් තරගාවලිය අවසන් කළා.

මේ වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම සොයා ගත් වටිනා ම ක්‍රීඩකයා තමන් බව දුනිත් වෙල්ලාලගේ එහි දී නැවත වරක් සනාථ  කිරීමට සමත් වුනේ ඇෆ්ගනිස්තානය සමඟ පැවති අවසන් තරගයේ දී චරිත් අසලංක සමඟින් එක්ව නො තිබූ ජයක් ශ්‍රී ලංකාවට ලබා දීමට සමත් වීමත් සමඟයි.

එමෙන්ම මෙම වසර අවසානයේ දී තෙවැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීගය (LPL) පැවැත්වුණු අතර එහි දී නොකඩවා තෙවැනි වරටත් ශූරතාව දිනා ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් Jaffna Kings කණ්ඩායම සමත් වුනා.

2022 වර්ෂයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාත්‍යන්තර තලයේ වාර්තා ඒ අයුරින් වන අතර, ලබන වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග ජනවාරි 03 වැනිදා ඉන්දියාව සමඟ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියෙන් ආරම්භ වනු ඇත.

එයින් පසුව ඔවුන්ට මෙම වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත ව ඇති ප්‍රමුඛතම අභියෝගය වන්නේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට තේරී පත් වීම සහ එම තරගාවලියට මුහුණ දීමයි.

එමෙන්ම ලබන වසර මැද බාගයේ දී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ද පැවැත්වීමට නියමිත ව ඇති අතර ඒ සඳහා සටනේ ශ්‍රී ලංකා බලාපොරොත්තු තවමත් ජීවමාන ව පවතිනවා.

ගෙවී ගිය 2022 වසරේ මෙන්ම, එළඹෙන 2023 වසරේ ද ක්‍රීඩාවේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<