අළුබඳුන කැලඹූ අවසන් කඩුල්ලේ වික්‍රමය!

179
theguardian.com

තරගයක් ජයග්‍රහණය කිරීමට උරදීම සඳහා ඕනෑම ක්‍රීඩකයෙකුට හැකිය. නමුත් පරාජය තීන්දු වූ තරගයක් ජයග්‍රහණයකින් කෙළවර කිරීමට යමෙකුට හැකි නම් එම ක්‍රීඩකයා අන් සියල්ලන්ටම වඩා සුවිශේෂී වන්නේය. 

එවන් අසාමාන්‍ය ඉනිමක් මීට සය මසකට ඉහත දී අපි කුසල් පෙරේරාගෙන් දුටුවෙමු. අද (25) එය අළුබඳුනේ දී නැවතත් පුනරූපනය කෙරුණේ ලෝක කුසලානය එංගලන්තයට දිනා දුන් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ගෙනි.

ග්‍රෑන්ඩ්හෝම් ඇතුළු නවසීලන්ත පිතිකරුවෝ ශ්‍රී ලංකාව අසරණ කරති

විටින් විට ඇදහැලෙන වර්ෂාවට ද කාලය වැය කරමින් පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට්…………

කුසල් පෙරේරා මෙන්ම ජර්සි අංකය ලෙස 55 තෝරාගෙන වමතින් පිත්ත හසුරුවමින් අද ඔහු ක්‍රීඩා කළේ ලොව හොඳම ටෙස්ට් ඉනිමක් බව අවිවාදිතය. ඒ අද පහසුවෙන්ම ජය පැන් බොන්නට බලා සිටි කැන්ගරුවන් පරාජය කරමින් එංගලන්තයට ඓතිහාසික ජයක් ලබා දීමට ඔහු මූලික වීම හේතුවෙනි. 

තවත් උණුසුම් තරග 2ක් ඉතිරිව තිබිය දී මේ වන විට තරගාවලිය 1-1ක් ලෙස සමවී තිබෙන්නේ ද ඔහු නිසාය. මේ දක්වා පැවති තරග තුනේ දී ම ඕනෑවටත් වඩා රසබර නාට්‍යමය ජවනිකාවලින් අළුබඳුන පිරී පැවතීම ටෙස්ට් ක්‍රීඩාවේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ කිරීමට ද හේතුවක් වනු ඇත.

ලීඩ්ස් හිදී පැවති තෙවැනි ටෙස්ට් තරගයේ ජය වෙනුවෙන් එංගලන්තයට ලැබුණු ඉලක්කය ලකුණු 359කි. ඒ පළමු ඉනිමේ ඔවුන් අන්ත අසරණ වූ නිසාය. අගය කරන්නට කිසිම දෙයක් නොතිබුණු එංගලන්තය පළමු ඉනිම ලකුණු 67කට සීමා වෙද්දී හැස්ල්වුඩ්, පැට් කමින්ස් සහ පැටින්සන් කඩුලු 10 ඉක්මනින්ම තමන් අතරේ බෙදා ගත්හ. 

මෙම දරුණු කඩා වැටීම නිසා එංගලන්තයට සිව්වැනි ඉනිමේ දී ලබා ගැනීමට සිදු වූයේ ඔවුන් කිසිදා හඹාගොස් ජයගෙන නොමැති තරමේ දැවැන්ත ඉලක්කයකි. තරගය අවසන් වීමට දින දෙකකටත් වඩා ඉතිරිව තිබූ නිසා එංගලන්තය දඬු අඬුවකට හිරවී සිටි බව සියලු දෙනාටම පැහැදිලි විය.

ඕස්ට්‍රේලියානුවන් පිනවමින් එංගලන්ත පිළේ මුල් කඩුලු 2ම ලකුණු 15කට බිඳ වැටෙන්නේ ද මේ අතරයි. නමුත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් පිහිටුවමින් තරගය බේරා ගැනීමට ජෝ යුගලය (ජෝ රූට් සහ ජෝ ඩෙන්ලි) උත්සාහයක් දැරූහ. 

හිරවුනු උගුලෙන් ගැලවෙන්නට ඔවුන් ලබා දුන් සටන පැහැදිලි වන්නේ මෙම පිතිකරුවන් දෙදෙනාම ඉතාමත් අඩු පහරදීමේ වේගයක් පවත්වා ගැනීම නිසාය. රූට් ලකුණු 77ක් ලබා ගැනීමට පන්දු 205ක් වැය කරද්දී, ඩෙන්ලි හරියටම අර්ධ ශතකයක් වාර්තා කළේ පන්දු 155කට මුහුණ දෙමින්ය.

ස්මිත්ගේ ආදේශකයා නිසා කැන්ගරුවෝ තරගය බේරා ගනිති!

සුප්‍රසිද්ධ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදී ක්‍රියාත්මක වූ අළු බඳුන දෙවැනි ටෙස්ට් තරගය ඊයේ (18) නිමාවට………..

එතැන් පටන් බෙයාස්ටෝගේ ලකුණු 36 හැරෙන්නට වෙනත් කිසිදු සුබවාදී කරුණක් එංගලන්ත ප්‍රේක්ෂකයින්ට දැක ගන්නට නොලැබුණ ද, බෙන් ස්ටෝක්ස් එක් අන්තයක් රැකගෙන පිටියේ රැඳී සිටියේ ප්‍රහාරයට සුදුසු අවස්ථාවක් පැමිණෙන තෙක්ය. නමුත් ඔහු සබඳතාවයක් ගොඩ නැගීමට බලාපොරොත්තුවෙන් සිටි ජෝස් බට්ලර් සහ ක්‍රිස් වෝක්ස් යන පසුපෙළ පිතිකරුවන් දෙදෙනාම අද එක් ලකුණ බැගින් රැස් කරමින් දැවී ගියේ එංගලන්ත ජයට කනකොකා හඬන බව ස්ථිර කරමිනි. පසුපෙළ පිතිකරුවෙකු ලෙස ස්ටුවර්ට් බ්‍රෝඩ් දැවී යාමෙන් අනතුරුව එංගලන්ත ඉනිම සටහන් වූයේ ලකුණු 286කට කඩුලු 9ක් ලෙසයි.

කෙසේ හෝ එංගලන්ත පිළේ අවසන් පිතිකරු ලෙස පිටියට පිවිසි ජැක් ලීච් සතුව බෙන් ස්ටෝක්ස් මෙතෙක් වේලා සෙවූ දේ සැඟවී තිබීම මෙම තරගය කණපිට හැරවීමට හේතු විය. ඒ වෙන කිසිවක් නොව ලකුණු රහිතව හෝ නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට අවශ්‍ය සංයමයයි. වෙනත් වචනවලින් කිවහොත් කුසල් පෙරේරාට විශ්ව ප්‍රනාන්දු අවසන් මොහොතේ ලබා දුන් සහයෝගයම අද ස්ටෝක්ස්ට ලීච්ගෙන් නොඅඩුව හිමි විය. ඒ පන්දු 17ක දී ම තම කඩුල්ල ආරක්ෂා කර ගනිමිනි. ඒ අතරේ ලීච් ලබා ගත් එකම ලකුණ මෙම තරගයේ ලකුණු සම කළ තනි ලකුණ බවට පත්විය.

මුල සිට සෙමින් සෙමින් ඉනිම ගොඩ නගමින් සිටි ස්ටෝක්ස් අවසාන මොහොතේ ප්‍රහාරයට යොමු වන්නේ ද ජැක් ලීච්ගේ ආගමනයත් සමඟයි. නිරන්තරයෙන්ම ඉරට්ටේ ලකුණු ලබා ගනිමින් අවසාන පන්දුවේ දී අන්තය මාරු කර ගැනීමට ද ඔහු කටයුතු කරන්නේ තම සගයා හැකිතාක් බේරා ගනිමිනි. 

ක්‍රම ක්‍රමයෙන් එංගලන්තය ඕස්ට්‍රේලියානු ඉලක්කයට කිට්ටු වෙද්දී ස්ටෝක්ස් තමා කවුදැයි හරියටම පෙන්වන්නේ 122 වැනි පන්දුවාරයේ දී ය. ඒ තරගය පුරාවට කඩුලු 9ක් බිඳ හෙලා සිටි හැස්ල්වුඩ්ගෙන් එම පන්දුවාරයේ දී ලකුණු 19ක් උදුරා ගනිමින්ය. ඔහු තම 8 වැනි ටෙස්ට් ශතකය වශයෙන් මෙම අමරණීය ඉනිම සනිටුහන් කර ගන්නේ ද ඒ අතරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ විස්සයි – විස්ස සංචිතය නිකුත් වේ

මේ මස 29 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රිකට් පිටියේ දී නවසීලන්තය සමඟ පැවැත්වෙන පුහුණු ක්‍රිකට් තරගය………….

කෙසේ වෙතත් ඉනිම අවසානයේ නේතන් ලයන් හමුවේ ස්ටෝක්ස් තරමක් නිරුත්තර වූ බව පෙනෙන්නට තිබූ අතර ඔහු කඩුල්ල මුවා කළ බවට කළ ඉල්ලීමක් විනිසුරු ජොයෙල් විල්සන් නිශ්ප්‍රභ කළේ ස්ටෝක්ස් සතුව ලෝක කුසලානයේ දී තිබූ වාසනා මහිමය තවමත් රැඳී ඇති බව තහවුරු කරමින්ය. 

පසුව පුනරූපන මගින් දැක ගන්නට ලැබුණේ එය කඩුල්ලේ මැදම පන්දුව ගැටිය යුතු “අනිවාර්ය දැවී යාමක්” බවයි. නමුත් ඒ වන විට ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන් තම කණ්ඩායමට හිමිව තිබූ DRS අවස්ථාව අනවශ්‍ය ලෙස අපතේ හැරගෙන තිබුණි. 

ඒ අනුව කැන්ගරුවන්ට තරගය ජය ගැනීමට තිබූ අවසන් අවස්ථාවත් අහිමි වී ගියේ ලීඩ්ස් හි හෙඩින්ග්ලි ක්‍රීඩාංගණයට රැස්ව සිටි දහස් සංඛ්‍යාත එංගලන්ත ප්‍රේක්ෂකයින්ට ජයග්‍රහණයේ ප්‍රීතිය භුක්ති විඳීමට මග පාදා දෙමින්ය. 

තරගය අවසන් වන විට එංගලන්ත පිළේ “නිල තරග දිනවන්නා” බවට පත්ව සිටින බෙන් ස්ටෝක්ස් පන්දු 219කින් නොදැවී ලකුණු 135ක් ලබා සිටියේය. ඒ හතරේ පහර 11ක් සහ හයේ පහර 8ක් සමඟයි. ඒ වන විට ස්ටෝක්ස් සහ ලීච් අතරේ 10 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුනු සබඳතාවය ලකුණු 76ක් විය. හඹා ගොස් ජය ලැබූ තරගවල දී එය දෙවැනි වන්නේ කුසල් පෙරේරා සහ විශ්ව ප්‍රනාන්දු ඩර්බන් හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ගොඩ නැගූ සබඳතාවයට (78*) පමණි.

අපේ ඉලක්කය ඔබේ කණ්ඩායම නොවේ – දෙවැනි කොටස

1992 නොවැම්බර් මාසයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය ඉදිරිපිට නාවික හමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු මහතා………..

තරගයේ වීරයා ලෙස සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් කඩුලු 4ක් ද බිඳ හෙලූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් අවිවාදයෙන්ම නම් කෙරුණි. දෙරට අතර පැවැත්වෙන සිව්වැනි අළුබඳුන තරගය සැප්තැම්බර් 4 වැනිදා මැන්චෙස්ටර් හිදී ආරම්භ වීමට නියමිතව ඇත. එහි උණුසුම් තතු විත්ති සමඟින් නැවත හමුවෙමු!

ඕස්ට්‍රේලියා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 179 (පන්දුවාර 52.1): මාර්නස් ල’බුශේන් 74, ඩේවිඩ් වෝනර් 61, ටිම් පේන් 11, ජොෆ්රා ආචර් 6/45, ස්ටුවර්ට් බ්‍රෝඩ් 2/32.

එංගලන්ත (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 67 (පන්දුවාර 27.5): ජෝ ඩෙන්ලි 12, ජෝශ් හැස්ල්වුඩ් 5/30, පැට් කමින්ස් 3/23, ජේම්ස් පැටින්සන් 2/9.

ඕස්ට්‍රේලියා (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 246 (පන්දුවාර 75.2): මාර්නස් ල’බුශේන් 80, මැතිව් වේඩ් 33, ට්‍රැවිස් හෙඩ් 25, උස්මාන් කවාජා 23, බෙන් ස්ටෝක්ස් 3/56, ජොෆ්රා ආචර් 2/40.

එංගලන්ත (දෙවැනි ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 362 (පන්දුවාර 125.4): බෙන් ස්ටෝක්ස් 135*, ජෝ රූට් 77, ජෝ ඩෙන්ලි 50, ජොනී බෙයාස්ටෝ 36, ජෝශ් හැස්ල්වුඩ් 4/85, නේතන් ලයන් 2/114.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<