යුපුන් අබේකෝන් ඇතුළු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් නිසාවෙන් වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ජාත්‍යන්තර තලයේ අවධානයක් හිමි වෙන්න අරන් ඉවරයි.
ජාතික ක්‍රීඩකයන්ට සමානව කනිෂ්ඨ සහ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මේ වන විට ජාත්‍යන්තර තලයේ කැපී පෙනෙන දස්කම් දැක්වීම සමත් වීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් ලකුණක්.
ජාතික මලල ක්‍රීඩා පිටිය එලෙස උණුසුම් වෙද්දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් සොයා ගැනීමට අපහසු ක්‍රීඩාවක් වූ මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් ද කැපී පෙනෙන දස්කම් දක්වන්නට එක් කනිෂ්ඨ ක්‍රීඩකයෙක් සමත් වෙලා තියෙනවා.
පිරිමි මීටර් 400 ඉසව්වට කනිෂ්ඨ පිටියෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙන දෙමින් එම ඉසව්වට නැවුම් බලාපොරොත්තු ඇති කිරීමට පසිඳු කොඩිකාරට මීට පෙර හැකි වූවත්, ඔහු අවාසනාවන්ත ලෙස අනතුරකට ගොදුරු වීම නිසා ඔහුට ද කලක් පිටියෙන් ඉවත් වීමට සිදු වුනා.
එම සිදුවීමෙන් පසුව මීටර් 400 කඩුලු පැනීම ඉසව්වේ බලාපොරොත්තු තරමක් බිඳ වැටෙද්දී ජාතික තලයේ ක්‍රීඩකයින්ට ද දැඩි අභියෝගයක් එල්ල කරමින් ඉසව්වේ ජාතික ශූරයා වීමට කනිෂ්ඨ ක්‍රීඩකයෙකුට හැකි වුනා.
2003 වසරේ නොවැම්බර් 13 වැනිදා අඹගමුවේ දී මෙලොව එලිය දුටු මෙම ක්‍රීඩකයා නමින් ධනුක දර්ශනයි.
කම්කරුවෙකු වූ ධනුකගේ පියා සිය පවුල පෝෂණය කරද්දී, ගෘහණියක් වූ මවගේ මඟ පෙන්වීම යටතේ හැදී වැඩුණු ධනුක සහෝදරයින් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නායි.
ධනුක අධ්‍යාපන ගමන ආරම්භ කළේ පාසල් මලල ක්‍රීඩා පිටියට දක්ෂයින් රැසක් දායාද කරන අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයෙනුයි.
“මගේ අයියා මට කලින් මලල ක්‍රීඩාව කරලා තියෙනවා. පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙ දී මම නිකන් ආසාවට වගේ මලල ක්‍රීඩා තරග වලට සහභාගී වුනා. ඊට පස්සේ ඒ ආපු ආසාව නිසයි මම මලල ක්‍රීඩා පුහුණු වීම් කටයුතු ආරම්භ කළේ,” සිය ක්‍රීඩා දිවියේ ආරම්භය ගැන ධනුක ThePapare.com අපට කිව්වේ මෙහෙමයි.
ධනුකගේ ක්‍රීඩා දිවියට හොඳ ආරම්භයක් ලබා දෙමින් ධනුකගේ පළමු පුහුණුකරුවා වෙන්නේ ශ්‍රී ලංකාවේ බිහි වූ ශ්‍රේෂ්ඨතම මලල ක්‍රීඩකයෙකු වන සුගත් තිලකරත්න මහතාගේ පුහුණුකරු ලෙස කටයුතු කළ පී. එච්. එම්. අනුර බණ්ඩාර මහතායි.
අනුර බණ්ඩාර මහතාගේ මඟ පෙන්වීම යටතේ සිය ක්‍රීඩා ගමන ආරම්භ කරන ධනුක සිය ආරම්භක ඉසව් ලෙස මීටර් 100 සහ 200 ඉසව් තෝරා ගන්නේ කෙටි දුර ධාවකයෙකු වීමේ සිහිනය හිතේ තියා ගෙනයි.
- සත් සමුදුරෙන් එහා සිට යුපුන් දක්වන දස්කම්
- අම්මාගේ හෙවණැල්ලෙන් එළියට ආ දියණිය Eilish McColgan
- දුර පැනීමේ ඉතිහාසයේ උණුසුම්ම දෙපැය
- සියවසේ හොඳම පිම්ම පැන්න Bob Beamon
නමුත් ධනුකගේ සහජ හැකියාව කෙටිදුර ධාවනයට නොවන බව හොඳින් වටහා ගත් අනුර බණ්ඩාර මහතා ඔහුව මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වට යොමු කරන්නේ ධනුකගේ ක්‍රීඩා දිවියේ නව පිටුවක් ලියවමිනුයි.
“සර් (අනුර බණ්ඩාර) තමයි කිව්වේ මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව අපි කරලා බලමු කියලා. කඩුලු පැනීමේ ඉසව්ව කරන්න පටන් අරගෙන 2018 වසරේ තිබ්බ ජෝන් ටාබට් තරගාවලියේ ඉසව්වේ දෙවැන්නා වෙන්න මට පුළුවන් වුනා. ඊට පස්සේ දිගටම ඒ ඉසව්වෙන් ජයග්‍රහණ ලැබුවා,” සිය ඉසව්ව තෝරා ගැනීම ගැන ධනුක අදහස් දැක්වුවේ මෙහෙමයි.
මීටර් 400 කඩුලු පැනීම ඉසව්ව ආරම්භ කිරීමෙන් පසුව එම ඉසව්වේ පාසල් පිටියේ ආධිපත්‍ය රඳවා ගනිමින් ජයග්‍රහණ ලැබීමට ධනුකට හැකි වූවත්, 2021 වසරේ පැවති ලෝක කනිෂ්ඨ ශූරතාවයට සුදුසුකම් ලැබීමට ඔහුට හැකි වුනේ නැහැ.
තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ඉතා ආසන්න මට්ටමේ දස්කම් අතර ධනුක සිටියත් තත්පර 1.2ක සුළු කාලයකින් ඔහුට තරගාවලියේ අහිමි වෙනවා.
එම සිදු වීමෙන් පසුව තවත් කැපවීමෙන් පුහුණුවීම් කළ ධනුක 2022 වසර තමන්ගේම වසරක් කර ගැනීම ආරම්භ කළේ අප්‍රේල් මාසයේ පැවති සියවැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 400 කඩුලු පැනීම ඉසව්වේ ජාතික කිරුළ දිනා ගෙනයි.

ඒ නිසාවෙන් ධනුකට පෙර වසරේ අහිමි වූ ලෝක ශූරතා සුදුසුකම මෙම වසරේ දී සපුරා ගැනීමට හැකි වුනේ කොලොම්බියාවේ දී පැවති ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයට අවශ්‍ය සුදුසුකම් සපුරවමිනුයි.
ලෝක ශූරතාවයේ දී ඉහළ දස්කම් දැක්වීමේ අරමුණින් කොලොම්බියාවට පිටත් වූ ධනුක මීටර් 400 කඩුලු පැනීමේ මූලික වටය තත්පර 51.41ක කාලයකින් දෙවැන්නා ලෙස අවසන් කරන්නේ තමන්ගේම කනිෂ්ඨ වාර්තාව අලුත් කරමිනුයි.
ඒ තරගාවලියේ අවසන් පූර්ව වටයේ ද තත්පර 51.59ක කාලයකින් අවසන් කරන්නට ධනුකට හැකි වූවත් හත්වැන්නා ලෙස තරගය අවසන් කළ නිසා ඔහුට ලෝක ශූරතා ගමන නිම කරන්න සිදු වෙනවා.
ලෝක ශූරතාවයේ ලද අත්දැකීම් සිය ක්‍රීඩා දිවියේ ඉදිරි ගමනට විශාල ශක්තියක් කර ගත් ධනුක නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව පාසල් පිටියේ තරග කිහිපයකට සහභාගී වෙමින් සිය ආධිපත්‍ය පැතිර වීමට සමත් වෙනවා.

මේ වන විට 19 වියේ පසුවන ධනුක ක්‍රීඩාවෙන් බොහෝ දුරක් පැමිණ ඇති අතර ඔහු ක්‍රීඩාව සමඟ සිය අධ්‍යාපන කටයුතුවලට ද අවධානයක් ලබා දී තිබෙනවා.
“ඉස්සරහට තියෙන ඉලක්ක ගත්තම උසස් පෙළ විභාගය හොඳට කරන්න ඕනේ, ඒ වගේම නොවැම්බර් මාසයේ පාසල් ක්‍රීඩා තරගාවලිය එනවා මේ ටිකේ ඒකට පුහුණුවීම් කටයුතු කරමින් ඉන්නේ.
ක්‍රීඩාවෙන් බලාපොරොත්තු ගත්තම ජාතික වාර්තාව අලුත් කරන එක පළවෙනි ඉලක්කය. ඒ වගේම 2023 ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගන්න වගේම ආසියානු සහ දකුණු ආසියානු පදක්කම් ලංකාවට දිනා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඒ වගේම ලොකුම හීනය තමයි ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සුදුසුකම් ලබලා ඒකෙන් ජයග්‍රහණයක් ලබන්න,” තමන්ගේ ඉදිරි බලාපොරොත්තු ගැන ධනුක අදහස් දැක්වුවේ එලෙසයි.

“මුලින්ම ස්තුති කරන්න ඕනේ මගේ ප්‍රධාන පුහුණුකරු අනුර බණ්ඩාර සර්ට, එයා ගොඩක් කැප කිරීම් කරලා තමයි මාව මේ තැනට ගෙනාවේ. . සර් ගොඩක් වැඩ එක්ක තමයි මගේ පුහුණුවීම් බලන්න එන්නේ.
මගේ අම්මයි තාත්තයි ගොඩක් මහන්සි වෙනවා. එයාලා තමයි හැමතිස්සෙම මගේ පස්සෙන් ඉදලා මට හයියක් වුනේ. ඒ වගේම ඉන්දික ප්‍රසාද් සර් සහ අමාලි අබේතුංග මැඩම් මගේ ගමනට ගොඩක් උදව් කරනවා.
මගේ පාසල වෙන අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් මට ලොකු සපෝට් එකක් ලැබෙනවා මේ වැඩ වලට. එයාලට අමතරව මට උපදෙස් ලබා දෙන සුගත් තිලකරත්න සර්, නයන් සර් සහ භාතිය සර් ටත් මම ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේම මම එක්ක ට්‍රේනින් කරන කට්ටිය වගේම මට මේ තැනට එන්න වචනෙකින් හරි උදව් කරපු හැමෝටම මම මේ වෙලාවේ ස්තුති කරනවා.”
කනිෂ්ඨ වියේ අවසන් වසර කිහිපයේ පසුවන ධනුක මේ වන විටම ජාතික තලයේ වැඩි අවධානයක් දිනා ගත් ක්‍රීඩකයෙකු වෙලා ඉවරයි.
කනිෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස දැක්වූ දස්කම් වර්ධනය කර ගනිමින් ජාත්‍යන්තර තලයේ ඉහළ දස්කම් දක්වමින් ලක් මාතාවට ගෞරවයක් ගෙන ඒමට ධනුක දර්ශනට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අපි ප්‍රාර්ථනා කරනවා.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















