ඉන්දු – පාකිස්තාන තරගාවලියකට එංගලන්තයෙන් යෝජනාවක්

582

ඉන්දියාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරගාවලියක් එංගලන්තයේ දී පැවැත්වීමේ යෝජනාවක් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ නමුත් එය පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබුණේ නුදුරේ දී එලෙස තරගාවලියක් පැවැත්වීමේ සම්භාවිතාව ඉතා අඩු බවයි.

මෙම සිදුවීම පිළිබඳව එංගලන්තයේ Telegraph පුවත්පත සඳහන් කර තිබුණේ, මේ දිනවල පාකිස්තානයේ පැවැත්වෙන එංගලන්තය සහ පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය අතරතුර දී එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති Martin Darlow විසින් ටෙස්ට් තරගාවලියකට එංගලන්තයේ ක්‍රීඩාංගණ ලබා දීම පිළිබඳව යෝජනාවක් පාකිස්තාන ක්‍රිකට් බලධාරීන්ට ඉදිරිපත් කර ඇති බවයි.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් වාණිජමය වාසි වෙනුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විසින් එයට සිනහවෙන් පිළිතුරු ලබා දී ඇත්තේ, ඉදිරි වසර කිහිපය තුළ එවැනි දෙයක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අඩු බවයි.

“ඉන්දියාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරගාවලියක් ගැන එංගලන්ත බලධාරීන් විසින් පාකිස්තානය සමඟ සාකච්ඡා කිරීම තරමක අමුතු සහගත දෙයක්. කොහොම වුනත් ඒක ඉන්දීය රජය විසින් තීරණය කරන දෙයක් මිසක් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විසින් තීරණය කරන දෙයක් නෙවෙයි.

මේ වන විට අපගේ ස්ථාවරයේ වෙනසක් නැහැ. අපි පාකිස්තානය සමඟ ක්‍රීඩා කරන්නේ බහු කණ්ඩායම් තරගාවලිවල දී පමණයි,” යැයි ඉන්දීය ක්‍රිකට් බලධාරියෙකු PTI පුවත්පතට ප්‍රකාශ කර තිබුණා.

ඉන්දියාව සහ පාකිස්තානය අතර අවසන් වරට සීමිත පන්දුවාර තරගාවලියක් 2012 වසරේ දී පවත්වා ඇති අතර ඔවුන් අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වුණේ 2007 වසරේයි.

කෙසේ නමුත් දෙරට අතර පවතින දේශපාලන ගැටලු නිසාවෙන් මෙලෙස තරගාවලියක් ඉන්දියාවේ, පාකිස්තානයේ හෝ මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීමට සැලසුම් කළත්, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ පිළිතුර බොහෝ විට නැත යන්නයි.

එමෙන්ම එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එම යෝජනාව ඉදිරිපත් කිරීමේ අරමුණ ද PTI පුවත්පත විසින් ප්‍රකාශ කර තිබුණා.

“එංගලන්තය තුළ ආසියානුවන් බොහෝ සෙයින් සිටින නිසා මෙම තරගාවලියට විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ඒකට විශාල අනුග්‍රාහකයන් සහ රූපවාහිනී ප්‍රේක්ෂකයින්ගේ අවධානය ලැබෙනවා.

ඒ වගේම පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ද ඉන්දියාව සමඟ මධ්‍යස්ථ ස්ථානයක ක්‍රීඩා කිරීමට කැමැත්තක් නොදක්වන නමුත්, ඉන්දියාව සහ පාකිස්තානය අතර සම්බන්ධය වර්ධනය කිරීමට උත්සහ කිරීම ගැන ඔවුන් එංගලන්ත ක්‍රිකට් ආයතනයට ස්තුතිය පුද කරන බවයි,” යැයි එම පුවත්පතේ වැඩි දුරටත් සඳහන් වන්නේ.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<