ශ්‍රී ලංකා Legends කණ්ඩායම අපරාජිතව ඉදිරියට

Road Safety ලෝක ශූරතාවය 2022

287

Road Safety ලෝක ශූරතාවයේ ශ්‍රී ලංකා Legends කණ්ඩායම සහ බංග්ලාදේශ Legends කණ්ඩායම අතර අද (27) පැවති තරගයෙන් ලකුණු 70ක පහසු ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකා Legends කණ්ඩායමට හැකි වුනා.

තරගාවලියේ මේ දක්වා සාර්ථකම කණ්ඩායමක් වූ ශ්‍රී ලංකා Legends ක්‍රීඩකයින් සහභාගී වූ තරග තුනක් ජය ගනිමින් B කාණ්ඩයේ පෙරමුණෙහි පසු වූ අතර බංග්ලාදේශ Legends ක්‍රීඩකයින් සහභාගී වූ තරග සියල්ලම පරාජය වී තිබුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ Legends නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

බංග්ලාදේශ Legends: Nazimuddin, Aftab Ahmed, Shahadat Hossain, Alok Kapali, Dhiman Ghosh (wk), Abdur Razzak, Elias Sunny, Abul Hasan, Tushar Imran, Mohammad Sharif (c), Alamgir Kabir. 

ශ්‍රී ලංකා Legends: තිලකරත්න ඩිල්ෂාන් (නායක), උපුල් තරංග, සනත් ජයසූරිය, අසේල ගුණරත්න, ජීවන් මෙන්ඩිස්, චාමර කපුගෙදර, මහේල උඩවත්ත, ඉසුරු උදාන, ධම්මික ප්‍රසාද්, කෞෂල්‍ය වීරරත්න.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ සනත් ජයසූරිය සහ මහේල උඩවත්ත විසිනුයි.

සිය කණ්ඩායමට අවශ්‍ය ආරම්භය ලබා දෙමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 56ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව සුපිරි පිතිකරු සනත් ජයසූරිය ලකුණු 36කට දැවී ගියේ Abdur Razzakගේ පන්දුවක් හමුවේයි.

ජයසූරියගේ දැවී යාමෙන් පසුව පිටියෙහි එක්වූ නායක තිලකරත්න ඩිල්ෂාන් සහ මහේල උඩවත්ත වේගවත් ප්‍රහාරයක් දියත් කරමින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 57ක සම්බන්ධතාවක් ගොඩනැගුවා.

ආරම්භ පිතිකරු ලෙස පිටියට පිවිසෙමින් අගනා ඉනිමක් ක්‍රීඩා කළ මහේල උඩවත්ත Elias Sunnyගේ පන්දුවක් හමුවේ දැවී ගියා. දැවී යන විට ඔහු පන්දු 27ක් තුළ හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 43ක් රැස් කරගෙන සිටියා.

තරගාවලියේ තමන් ලබා ගත් රිද්මය නැවත වරක් පෙන්නුම් කළ නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දු 29ක් තුළ ලකුණු 51ක් රැස් කරගැනීමෙන් අනතුරුව දැවී යන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 16.1ක් අවසානයේ ලකුණු 159ක් වාර්තා කරගෙන සිටියා.

මැදපෙළ පිතිකරුවන් ලෙසින් පැමිණ චාමර සිල්වා නොදැවී රැස් කරගත් ලකුණු 34 සහ පන්දු 4ක් තුළ ඉසුරු උදාන රැස් කරගත් ලකුණු 17 නිසා නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 213ක් වාර්තා කරගැනීමට ශ්‍රී ලංකා Legends ක්‍රීඩකයින්ට හැකි වුනා.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:

ලකුණු 214ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 5 දී දවා ගැනීමට ධම්මික ප්‍රසාද්ට හැකි වුනේ Aftab Ahmed ලකුණු 4කට පිටියෙන් ඉවත් කිරීමට සමත් වෙමින්.

අනෙක් ආරම්භක පිතිකරුවා වූ Nazimuddin හට ද සාර්ථක වීමට අවස්ථාවක් ලබා නොදුන් සනත් ජයසූරිය විසින් ඔහුව ලකුණු 7කට පිටියෙන් ඉවත් කරන විට බංග්ලාදේශ ලකුණු පුවරුව දිස්වුනේ කඩුලු 2ක් දැවී ලකුණු 29ක් ලෙසයි.

Alok Kapali ලකුණු 18කට දුවද්දී දැවී යාමකට හසුවෙද්දී Dhiman Ghosh ලකුණු 6කට දවා ගනිමින් බංග්ලාදේශ කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුනා.

බංග්ලාදේශ ඉනිමට තරමක ජීවයක් ගෙන දෙමින් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 39ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අනතුරුව Abul Hasan ලකුණු 29කට දැවී ගියා.

ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Tushar Imran අර්ධ ශතකයක් රැස් කිරීමෙන් අනතුරුව ඩිල්ෂාන්ගේ පන්දුවකට දැවී යන විට පන්දු 54කට මුහුණ දෙමින් ලකුණු 52ක් රැස් කරගෙන සිටියා.

ඉන්පසු පිටියට පිවිසි Alamgir Kabir පන්දු 6ක් තුළ නොදැවී ලකුණු 16ක් රැස් කරගත්තත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී වාර්තා කරගත හැකි වූයේ ලකුණු 143ක් පමණයි.

ඒ සමඟින් මෙම තරගය ලකුණු 70කින් ජයග්‍රහණය කරමින් තරගාවලියේ අපරාජිකත්වය රැක ගැනීමට ශ්‍රී ලංකා Legends ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගයේ ලකුණු සටහන;

ශ්‍රී ලංකා Legends – 213/5 (20): තිලකරත්න ඩිල්ෂාන් 51, මහේල උඩවත්ත 43, සනත් ජයසූරිය 36, Abdur Razzak 1/20.

බංග්ලාදේශ Legends – 143/8 (20): Tushar Imran 52, Abul Hasan 29, තිලකරත්න ඩිල්ෂාන් 3/26, අසේල ගුණරත්න 2/24. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<