සුජාන් ශ්‍රී ලංකාවේ ගෞරවය රැක ගනී

2023 AFC ආසියානු කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය - තෙවැනි වටය

424

2023 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තෙවැනි වටයේ අද (08) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා ගෝල 3-0ක ජයක් ලබා ගන්නට සත්කාරක උස්බෙකිස්තානය සමත් වුනා.

මෙම තරගය උස්බෙකිස්තානයේ Markaziy Stadium (Namangan) ක්‍රීඩාංගණයේ දී පැවති අතර වත්මන් පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව 205 වැනි ස්ථානයේ සහ Uzbekistanය 83 වැනි ස්ථානයේ පසුවුනා.

තරගය ආරම්භයේ සිටම උස්බෙකිස්තාන ක්‍රීඩකයින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර ඔවුන් ගෝලය වෙත එල්ල කළ පහරවල් කිහිපයක්ම නැවතී ගියේ සුජාන් පෙරේරාගේ අගනා ගෝල රැකීම නිසයි.

නමුත් තරගයේ 36 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව අසල දී හිමි වූ නිදහස් පහරක් සාර්ථකව ගෝලයේ දකුණු කෙළවරට එල්ල කරමින් පළමු ගෝලය වාර්තා කිරීමට උස්බෙකිස්තාන ක්‍රීඩක Jaloliddin Masharipov සමත් වුනා.

එම ගෝලයෙන් පසුව ද එල්ල කළ පහරවල් කිහිපයක්ම සුජාන්ගේ දක්ෂ ගෝල රැකීම හමුවේ වැළකී යාම නිසාවෙන් පළමු අර්ධය අවසන් වුනේ ගෝල 1-0ක් ලෙස සත්කාරක උස්බෙකිස්තානය පෙරමුණේ තබමිනුයි.

දෙවැනි අර්ධයට අවශ්‍ය ආරම්භය ලබා දෙමින් තරගයේ 48 වැනි මිනිත්තුවේ දී ලැබුණු නිදහස් පහරක් ගෝලයක් බවට පරිවර්තනයට කිරීමට Dostonbek Khamdamovට හැකි වුනේ සුජාන් පෙරේරාගේ දකුණු පස කෝණයෙන් ගෝලය දැල තුළට එල්ල කරමිනුයි.

තරගයේ 61 වැනි මිනිත්තුවේ දී ගෝලය වෙත එල්ල කළ පහරවල් කිහිපයක්ම වැළැක්වීමට සුජාන්ට හැකි වූවත් නැවත ලබා ගත් පන්දුව වේගවත් පහරක් මගින් ගෝලය තුළට එල්ල කිරීමට Farrukh Sayfievට හැකි වුනා.

තරගය පුරාවටම කිසිදු ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට නොහැකි වූවත් සුජාන් පෙරේරාගේ විශිෂ්ට ගෝල රැකීම තරගය පුරාවටම කැපී පෙනුණා.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 00 – 03 උස්බෙකිස්තානය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

උස්බෙකිස්තානය: Jaloliddin Masharipov 36’, Dostonbek Khamdamov 48’, Farrukh Sayfiev 61’.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<