රංගනට උසස් වීමක්

238
Rangana Herath

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල සිදු වූ නවතම වෙනස්කම්වලට අනුව රවිචන්ද්‍රන් අශ්වින්ව පසුකරමින් දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට රංගන හේරත් සමත්ව ඇත. ඒ අනුව ඔහු පළමු ස්ථානයේ පසුවන රවීන්ද්‍ර ජඩේජාට වඩා ලකුණු 32ක් පසුපසින් සිටියි.

පසුගිය අඟහරුවාදා අවසන් වූ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගයේ දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 08 වෙනි වරටත් තරගයක දී කඩුලු 10ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීම නිසා ‘MRF’ ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සමත්ව ඇත.

අසේලගෙන් චන්දිමාල්ට පොරොන්දුවක්

අසේල ගුණරත්න ඉනිම අවසන් කරන්නෙකු වශයෙන් දක්වන දක්‍ෂතාවය නැවතත් අද (18) අවසන් වූ සිම්බාබ්වේ…

ශ්‍රේණිගත කිරීම්වල සිදු වූ නවතම වෙනස්කම්වලට එංගලන්තය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ දක්‍ෂතා ද සැලකිල්ලට ගෙන ඇත.

ට්‍රෙන්ට් බ්‍රිජ් හිදී පැවති එම තරගය ලකුණු 340කින් ජයග්‍රහණය කරමින් තරග 4කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම කරන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. ඒ අනුව ශ්‍රේණිගත කිරීම්වල සිදු වූ නවතම වෙනස්කම්වලට අනුව 2 වන ස්ථානයේ රැඳී සිටි රවිචන්ද්‍රන් අශ්වින්ව 3 වන ස්ථානය දක්වා ඇද දමමින්, 2 වන ස්ථානය ලබා ගැනීමට රංගන හේරත් සමත්ව ඇති අතර ඔහු මේ වන විට පළමු ස්ථානයේ පසුවන රවීන්ද්‍ර ජඩේජාට වඩා පසුපසින් සිටින්නේ ලකුණු 32ක් පමණි. මෙම වෙනසත් සමඟ ශ්‍රේණිගත කිරීම්වල පළමු හා දෙවන ස්ථාන දෙකම වමත් දඟපන්දු යවන්නන් හට හිමිව ඇත.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම වමත් දඟපන්දු යවන්නා ලෙස හඳුන්වා දිය හැකි 39 හැවිරිදි රංගන හේරත් තරග 81ක දී කඩුලු 384ක් ලබා ගන්නට සමත්ව ඇත. එමෙන්ම පසුගිය දා අවසන් වූ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගයේ දී ඔහු ලකුණු 249කට කඩුලු 11ක් දවා ගන්නට සමත් විය. එමෙන්ම මෙම ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම රැඳී සිටින වේගපන්දු යවන්නන් වන්නේ එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් සහ ඕස්ට්‍රේලියාවේ ජොෂ් හේසල්වුඩ් ය. ඔවුන් දෙදෙනාම එහි 4 වන ස්ථානයේ රැඳී සිටී.

එමෙන්ම ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණි එකම වමත් දඟපන්දු යවන්නා හේරත් නොවන අතර ඊට අමතරව දකුණු අප්‍රිකාවේ කේශව් මහරාජ් ද ස්ථාන 12ක් ඉදිරියට පැමිණෙමින් ශ්‍රේණිගත කිරීම්වල 26 වන ස්ථානය ලබා ගැනීමට සමත්ව ඇත. ඔහු එංගලන්ත කණ්ඩායමට එරෙහිව පසුගිය දා අවසන් වූ තරගයේ දී කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය. ඔහු මේ වන විට ලකුණු 543ක් ලබාගෙන ඇති අතර එය 1992 වසරේ දී දකුණු අප්‍රිකාව නැවතත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණීමෙන් අනතුරුව ඔවුන්ගේ දඟපන්දු යවන්නෙක් ලබාගත් 4 වන ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ. එම කාල සීමාවේ දී ඔහුට වඩා ලකුණු ලබා ගැනීමට සමත්ව ඇත්තේ පෝල් හැරිස් (705), පෝල් ඇඩම්ස් (588) සහ නිකී බෝයේ (545) යන දකුණු අප්‍රිකානු දඟපන්දු යවන්නන් තිදෙනා පමණි.

එමෙන්ම සිම්බාබ්වේ කණ්ඩායමේ නායක ග්‍රැහැම් ක්‍රීමර් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගයේ දී ලබාගත් කඩුලු 9ත් සමඟ ස්ථාන 20ක් ඉදිරියට පැමිණෙමින් ශ්‍රේණිගත කිරීම්වල 53 වෙනි ස්ථානය ලබා ගැනීමට සමත්ව ඇත. මෙය ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දී ලබාගත් ඉහළම ස්ථානය වේ. එමෙන්ම ජේම්ස් ඇන්ඩර්සන් ට්‍රෙන්ට් බ්‍රිජ් හිදී ලබාගත් කඩුලු 7ත් සමඟ එක් ස්ථානයක් ඉහළට පැමිණෙමින් ශ්‍රේණිගත කිරීම්වල 4 වෙනි ස්ථානයට පැමිණ ඇත.

දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන 10 තුළ තම ස්ථානය නැවතත් ලබා ගැනීමට සමත්ව ඇත. ඒ අනුව ඔහු එංගලන්ත කණ්ඩායමට එරෙහිව වාර්තා කර ගත් ලකුණු 78ට සහ 87ට පසුව ස්ථාන හයක් ඉදිරියට පැමිණෙමින් ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයට පැමිණ ඇත. සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රේජ් අර්වයින් (ස්ථාන 20ක් ඉදිරියට පැමිණෙමින් 40 වන ස්ථානයට) සහ සිකන්ඩර් රාසා (ස්ථාන 28ක් ඉදිරියට පැමිණෙමින් 48 වන ස්ථානයට) ශ්‍රී ලංකාවට එරෙහිව ශතක වාර්තා කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ ක්‍රිකට් දිවියේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථාන වාර්තා කර ගන්නට සමත්ව ඇත.

එමෙන්ම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගයේ දී තරගයේ වීරයා වූ ශ්‍රී ලංකාවේ අසේල ගුණරත්න ස්ථාන 19ක් ඉදිරියට පැමිණෙමින් 79 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත. ඔහු එහි දී පළමු ඉනිමේ දී ලකුණු 45ක් සහ දෙවන ඉනිමේ දී නොදැවී ලකුණු 80ක් රැස්කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 388ක ජයග්‍රාහී හඹා යාමක් කරා රැගෙන යන්නට සමත් විය.

එමෙන්ම ට්‍රෙන්ට් බ්‍රිජ් හිදී තරගයේ වීරයා බවට පත්වූ දකුණු අප්‍රිකාවේ වර්නන් ෆිලැන්ඩර් නැවතත් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ලබා ගැනීම දක්වා පියවර කිහිපයක් ඉදිරියට එන්නට සමත්ව ඇත. ඒ අනුව ඔහු එහි දී පිතිකරණයෙන් ලකුණු 54ක් හා 42ක් බැගින් වාර්තා කර ගන්නට සමත් වූ අතර පන්දු යැවීමෙන් කඩුලු 5ක් ද ලබා ගන්නට සමත් විය. ඒත් සමඟ ඔහු 7 වන ස්ථානයේ සිට ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් මේ වන විට 5 වන ස්ථානයේ රැඳී සිටී. ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන්නේ බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් ය.

‘MRF’ ICC ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් (එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගයෙන් සහ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ටෙස්ට් තරගයෙන් අනතුරුව මෙම මස 19 වන දිනට)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<