වර්ෂාවට අභියෝග කරමින් වාර්තා තැබූ දක්ෂයෝ

100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය 2022

256

ජාතික මලල ක්‍රීඩා පිටියේ විශාලතම ක්‍රීඩා සැණකෙළිය වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ 100 වැනි අදියර මෙවර දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ අප්‍රේල් 08, 09 සහ 10 යන දිනවල දීයි.

මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වැනි ප්‍රධාන පෙළේ තරගාවලි සඳහා සුදුස්සන් තෝරාගැනීමට පැවැත්වෙන අවසන් තේරීම් තරගාවලිය ලෙස ද මෙවර තරගාවලිය සැලකුණා.

නමුත් තරගාවලිය සිතූ පරිදි සාර්ථකව අවසන් කරන්නට නොහැකි වුනේ දියගම ප්‍රදේශයට වරින් වර ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසයි.

වර්ෂාව නිසාවෙන් පළමු දිනයේ තරග කිහිපයක්ම දෙවැනි දිනට කල්දැමීමට සිදු වූ අතර අවසන් දිනයේ අඛණ්ඩවම ඇදහැලුණු වර්ෂාව නිසා එදින පැවැත්වීමට තිබූ ඉසව් රැසක් අප්‍රේල් 23 වැනිදා දක්වා කල්දැමීමට මලල ක්‍රීඩා සංගමයට සිදු වුනා.

තරගාවලියට වර්ෂාවෙන් එල්ල වූ දැඩි බාධා නිසාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බලාපොරොත්තු වූ දස්කම් අතරට පිවිසීමට අපහසු වූවත්, එම අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් ජාතික සහ තරගාවලි වාර්තා කිහිපයක්ම බිඳ හෙළීමට ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට හැකි වීම විශේෂත්වයක්.

නිලානි රත්නායක – කාන්තා මීටර් 3000 බාධක දිවීම

100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ බිඳ වැටුණු පළමු වාර්තාව ලෙස කාන්තා මීටර් 3000 බාධක දිවීමේ තමන්ගේම ජාතික වාර්තාව අලුත් කිරීමට නිලානි රත්නායක සමත් වුනා.

දෙවැනි දින උදෑසන වරුවේ පැවති මෙම තරගය මිනිත්තු 9:40.24ක කාලයකින් අවසන් කළ නිලානි එලෙස අලුත් කළේ මිනිත්තු 9:46.72ක කාලයකින් ඉසව්ව නිමා කරමින් ඇය විසින්ම වසර 3කට පෙර පිහිටුවා තිබූ වාර්තාවයි.

ඒ සමඟින් ඇය විසින් වසර ගණනාවක් මුළුල්ලේ රඳවා ගත් කාන්තා මීටර් 3000 බාධක දිවීමේ ආධිපත්‍ය තවදුරටත් රඳවා ගැනීමට ඇයට හැකි වුනා.

ගයන්තිකා අබේරත්න – කාන්තා මීටර් 800

ඩිල්ෂි කුමාරසිංහ විසින් වසරකට පෙර බිඳ හෙළු තමන්ගේම වාර්තාව නැවත ලබා ගනිමින් 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා මීටර් 800 කිරුළ දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත් වුනා.

එම ඉසව්ව මිනිත්තු 2:01.44ක කාලයකින් අවසන් කළ ගයන්තිකා එලෙස බිඳ හෙලුවේ පසුගිය වසරේ දී ඩිල්ෂි කුමාරසිංහ විසින් මීටර් 800 ඉසව්ව තත්පර 2:02.52ක කාලයකින් අවසන් කරමින් පිහිටුවා තිබූ වාර්තාවයි.

මෑත කාලයේ දී දිගුදුර සහ මැදිදුර ඉසව්වන්හී ඉහළ දස්කම් අතර සිටින ගයන්තිකා පසුගිය වසරේ දී කාන්තා මීටර් 1500 (මිනිත්තු 4:09.12) සහ මීටර් 5000 (මිනිත්තු 15:55.84) ඉසව්වන්හී ජාතික වාර්තා බිඳ හෙළීමට ද සමත් වුනා.

සචිනි පෙරේරා – කාන්තා රිටි පැනීම

දේශීය මලල ක්‍රීඩා පිටියේ පසුගිය වකවානුවේ දී දිගින් දිගටම කාන්තා රිටි පැනීම ජාතික වාර්තාව බිඳ හෙළු සචිනි පෙරේරා මෙවර තරගාවලියේ දී ද තමන්ගේම වාර්තාව නැවත අලුත් කිරීමට සමත් වුනා.

පසුගිය මාසයේ දී නිමා වූ දෙවැනි ජාතික තේරීම් තරගාවලියේ දී මීටර් 3.70ක ඉසව් දක්වමින් සිය ජාතික වාර්තාව ඉහළට ගෙන ආ සචිනි මෙවර තරගාවලියේ දී මීටර් 3.71ක උසක් සාර්ථකව තරණය කරමින් සුළු ප්‍රමාණයකින් තමන්ගේම වාර්තාව වර්ධනය කළා.

ඒ සමඟ වසර ගණනාවක් මුළුල්ලේ ඇය සතු කර ගත් රිටි පැනීමේ ජාතික කිරුළ තවදුරටත් රඳවා ගැනීමට ඇයට හැකි වුනා.

සාරංගි ද සිල්වා – කාන්තා දුර පැනීම

කාන්තා දුර පැනීම ඉසව්වේ ලබා ගත් ආධිපත්‍ය එලෙසෙම රඳවා ගනිමින් මෙවර ජාතික කිරුළ නව තරගාවලි වාර්තාවක් සමඟ ජයග්‍රහණය කිරීමට සාරංගි ද සිල්වාට හැකි වුනා.

එම ඉසව්වේ මීටර් 6.65ක දස්කමක් දක්වමින් ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන සාරංගි ද සිල්වා ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ වාර්තාව බිඳ හෙළීමට සමත් වුනේ මීටර් 5.52ක දස්කමක් දක්වමිනුයි.

තරුෂි කරුණාරත්න – කාන්තා මීටර් 800

100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා මීටර් 800 ඉසව්වේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට යොවුන් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් වුනා.

තවමත් නව යොවුන් වියේ පසුවන ඇය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ට දැඩි අභියෝගයක් එල්ල කරමින් මිනිත්තු 2:04.40ක කාලයකින් තරගය අවසන් කළ අතර එම කාලය සමඟින් මීටර් 800 ඉසව්ව සඳහා ඩිල්ෂි කුමාරසිංහ පිහිටුවා තිබූ කනිෂ්ඨ වාර්තාව තමන් සතු කර ගැනීමට තරුෂිට හැකි වුනා.

අමේෂා හෙට්ටිආරච්චි – කාන්තා මීටර් 400 කඩුලු පැනීම

තරගාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනේ යොවුන් ක්‍රීඩිකා අමේෂා හෙට්ටිආරච්චියි.

මිනිත්තු 1:00.23ක කාලයකින් තරගය අවසන් කළ අමේෂා ඇය විසින්ම මිනිත්තු 1:00.49ක කාලයකින් එම් ඉසව්ව අවසන් කරමින් පිහිටුවා තිබූ කනිෂ්ඨ වාර්තාව බිඳ හෙළීමට සමත් වීම විශේෂත්වයක්.

මෙම තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට බොහෝ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වූ අතර තරගාවලියේ වැඩි අවධානයක් දිනා ගත් ඉසව් වන මීටර් 100 සහ 400 තරග පැවැත්වීමට සංවිධායකයින්ට අවස්ථාවක් හිමි වුනේ නැහැ.

වර්ෂාව නිසාවෙන් පැවැත්වීමට නොහැකි වූ කාන්තා සහ පිරිමි මීටර් 400 සහ 100, පිරිමි මීටර් 1500, පිරිමි හෙල්ල විසිකිරීම වැනි ප්‍රධාන ඉසව් අප්‍රේල් 23 වැනිදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. එදින සිදු වන සිදුවීම් ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<