“අපි සෙල්ලම් කරන්නේ ජයග්‍රහණය කරන්න” – Mickey Arthur

22

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (24) දින නිමාවුනා. පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය තුළදී කිසිඳු කඩුල්ලක් අහිමි කරගත්තේ නැහැ. ඔවුන් ලකුණු 283ක් ලකුණු පුවරුවට එක්කර තිබුනා. 

ශ්‍රී ලංකා ඉනිම පිළිබඳව පුහුණුකරු Mickey Arthur තරගයෙන් අනතුරුව අදහස් දක්වා සිටියා. 

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මේ වන විට නොදැවී ලකුණු 234 ක් වාර්තා කරගෙන සිටිනවා. ඒ ඔහුගේ පළමු ද්විත්ව ශතකයයි. 

“ඔහු ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා. මහන්සි වෙලා ලකුණු රැස් කරනවා. මම ඔහුට කිව්වා පුළුවන් තරම් ලකුණු ලබාගන්න කියලා. තරගයෙන් පස්සේ ඔහුට විවේක ගන්න දවස් දෙකක් තියෙනවා. හෙට තවත් විශේෂ දවසක් වේවි. ඔහු 230 සීමාව ඉක්මවා යාම ඉතාමත් හොඳ දෙයක් විදිහට මම දකිනවා. අද උදේ ඔහුට යම් අපහසුවක් තිබුනා. නමුත් ඒක මඟ හරවාගෙන ක්‍රීඩා කරන්න ඔහුට පුළුවන් වුනා.” 

“අද උදේ තරගය ආරම්භ කරද්දී අපේ මූලික අරමුණ වුනේ බංග්ලාදේශ ලකුණු සංඛ්‍යාව පසුකරන එක. අපි දැන් ඉතාමත් හොඳ තැනක ඉන්නවා කියලා මම හිතනවා. අපි හොඳ වේගයකින් ලකුණු ලබාගත්තා. ඒ වගේම ධනංජය සහ දිමුත් ඉතාමත් ස්ථාවර වෙලා ඉන්නවා. අද උදේ ඉඳන් ඔවුන් ඉතාමත් හොඳින් අළුත් පන්දුවට මුහුණදුන්නා. ඔවුන් නිදහසේ ලකුණු ලබාගත්තා. කඩුළු අතර දිවීමේදිත් ඔවුන් ඉතාමත් හොඳ වේගයක් සහ සන්නිවේදනයක් ගොඩනඟා ගත්තා. ඔවුන්ගේ සම්බන්ධතාවය විශිෂ්ට එකක් කියලා කියන්න පුළුවන්.”  

තරගය ජය පරාජයෙන් තොරව නිමා වේවිද? ශ්‍රී ලංකා පුහුණුකරු ඒ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්. 

“අපි ඇත්තෙන්ම ජයග්‍රහණය තමයි ඉලක්ක කරන්නේ. අපි අපේ ක්‍රිකට් සෙල්ලම් කරන්නේ ජයග්‍රහණය කරන්න. අපි ක්‍රීඩාගාරය තුළ නිර්මාණය කරන්න ඕනේ ඒ වගේ වටපිටාවක්. අපේ අරමුණ ලකුණු ලබාගන්න එක විතරක් නෙමෙයි. කණ්ඩායමක් විදිහට අපි පරාජය කරන්න අමාරු කණ්ඩායමක් වෙන්න ඕනේ. මම බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ දීත් ක්‍රීඩකයන්ට උපදෙස් දුන්නේ අපි මුලින්ම පරාජය කරන්න බැරි කණ්ඩායමක් බවට පත්වෙන්න ඕනේ කියලා. මම හිතනවා අපි දැන් ඒකට ළඟාවෙලා ඉන්නවා කියලා. අපි කොදෙව් සංචාරයේ දී ඒක පෙන්නුවා. පැතලි තණතීරුවක අපි ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා.” 

“අපි හෙට තරමක් වේගයෙන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ජයග්‍රහණය කරන එක තමයි අපේ ප්‍රධාන අරමුණ. අපි දන්නෙ නැහැ දවස කොහොම වේවි ද කියලා. තණතීරුවේ වෙනසක් දකින්න නැහැ. අපිට පුළුවන් වුනොත් හෙට දවසේ දී  බංග්ලාදේශ ලකුණු සංඛ්‍යාව පසුකරලා තරගයක් දෙන්න පුළුවන් පන්දුවාර කීපයක් ලබාගන්න, අපි ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා.”  

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පසුගියදා ආබාධයකට ලක්වුනා. ඒ අනුව තරගාවලිය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිතව තිබෙනවා. 

“ඇත්තෙන්ම අපිට වේග පන්දු යවන්නන් අහිමි වීම ලොකු පාඩුවක්. ඒක කණගාටුවට කරුණක්. අපි එක් එක් ක්‍රීඩකයා ගැන විශේෂයෙන් අවධානය යොමුකරලා, ඔවුන්ගේ ආබාධ සුව කරගන්න කටයුතු කරනවා. අපේ Performance Center නිලධාරීන් ඒ ගැන ඉතාමත් හොඳින් කටයුතු කරනවා.”  

“හෙට දවසේ දී අපිට පන්දු යවන්න පුළුවන් වුනොත් මම හිතනවා අපේ වේග පන්දු යවන්නන්ට අවස්ථාවක් තියේවි කියලා කඩුලු ලබාගන්න. අපි ජයග්‍රහණය අසලට යනවා නම් අපේ ප්‍රධාන තුරුම්පුව වෙන්නේ වනිඳු හසරංග.”  

“ලහිරු කුමාර තරගාවලියෙන් ඉවත්වෙනවා ද කියලා තවමත් නිවේදනය කරලා නැහැ. තරගාවලියට කලින් ඩිල්ශාන් මධුශංකට ආබාධයක් ඇතිවුනා. මේ වෙද්දී වේග පන්දු යවන්නන් දෙදෙනෙක්ගේ සේවය අහිමි වෙලා තියෙනවා. දෙවෙනි තරගය සඳහා දඟපන්දු යවන්නෙක් යොදාගන්න තියෙන අවස්ථාව ගැන අපි බලනවා.”  

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:  

අද දිනයේ තේ පානයට පෙර ධනංජය ද සිල්වා හට යම් පාදයේ ආබාධයක් ඇතිවී තිබුනා. නමුත් ඔහු තේ පානයෙන් අනතුරුව ද ක්‍රීඩා කිරීමට පිටියට පිවිසියා. 

“ධනංජයට සුළු කෙණ්ඩා පෙරළීමක් තිබුනා, ඔහු දීර්ඝ වෙලාවක් ක්‍රීඩා කළ නිසා. ඒත් තේ පානය වෙලාවේ අපේ පුහුණුකරුවන් සහ අනෙක් නිලධාරීන් ඔහුට ප්‍රතිකාර කළා. ඔවුන් ඉතාමත් හොඳින් අවධානය යොමු කරලා ඔහුගේ ආබාධය සුව කරන්න සමත් වුනා.”  

දෙවන ටෙස්ට් තරගය සඳහා යොදාගන්නා තණතීරුව කෙබඳු වේවිද? Mickey Arthur ඒ පිළිබඳවද අදහස් දක්වා සිටියා. 

“තණතීරුව ගත්තම තාමත් පැතලි තණතීරුවක් තමයි තියෙන්නේ. මේක මම පල්ලෙකැලේ දී සහභාගී වෙන පළවෙනි ටෙස්ට් තරගය. මේකෙන් තණතීරුව හැසිරෙන විදිහ ගැන අත්දැකීමක් ලබාගන්න මම බලාපොරොත්තු වෙනවා. අපිට ඕනෙ වුනේ වේගය සහ ඉපිලීම යොදාගෙන බංග්ලාදේශයට අභියෝගයක් එල්ල කරන්න. ඒ නිසා තමයි කොළ පැහැති තණතීරුවක් යොදාගත්තේ. තණතීරුව ගැන සහ ඒකේ හැසිරීම ගැන අපි ඇගයීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවන ටෙස්ට් තරගයට යොදාගන්න තණතීරුව ගැන අපි හිතන්නේ ඒ අනුව.”  

“තණතීරුව ගැන අපි හෙට රාත්‍රියේ දී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපේ මූලික අවධානය යොමු වෙලා තියෙන්නේ මේ තරගය ගැන. තරගයෙන් පස්සේ අපි ඉදිරිය ගැන සාකච්ඡා කරනවා. මම විශ්වාස කරනවා හෙට මේ තරගයේ ගොඩක් දේවල් වෙන්න පුළුවන් කියලා.” 

හෙට තරගයේ පස්වන සහ අවසන් දිනයයි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<