පොඩි සනා පෙරටුව එන දළකාරයෝ Kandy Tuskers

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

369

ඉලක්කය කරා කලබලයකින් තොරව පෙරට යන දළ ඇතෙකුගේ පෞරුෂත්වය යම් සේ ද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඓතිහාසික මහනුවර නගරය කේන්ද්‍රකර ගනිමින් පිටියට පිවිසෙන Kandy Tuskers කණ්ඩායම ද දක්ෂතා සපිරි ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත කණ්ඩායමකි. 

කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරා සතු වන අතර ප්‍රධාන පුහුණුකරු ලෙසින් හෂාන් තිලකරත්න කටයුතු කරයි. ඔහු සමඟ කණ්ඩායම සටනට පුහුණු කරන්නේ නුවන් කුලසේකර සහ ලංකා ද සිල්වා ය. කණ්ඩායමේ කළමනාකරු වන්නේ තවත් ශ්‍රි ලාංකිකයෙක් වන ෆර්වීස් මහරූෆ් ය. 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් මිල දී ගත් අය අතරින් වඩාත් ආකර්ෂණයට පත් හිමිකරුවා වන්නේ Kandy Tuskers හිමිකරුවාය. ඒ බොලිවුඩ් හී ප්‍රකට රංගන ශිල්පියෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් වන 40 හැවිරිදි සොහායිල් ඛාන් ය. සොහායිල් තවත් එවැනිම ප්‍රකට බොලිවුඩ් රංගන ශිල්පීන් වන සල්මන් ඛාන් සහ අර්බාස් ඛාන්ගේ ඥාති සහෝදරයෙක් ද වන බවයි පැවසෙන්නේ. 

සොහායිල් ඛාන් චිත්‍රපට නිෂ්පාදක සමාගම විසින් මිල දී ගත් Kandy Tuskers කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේ දී ප්‍රකට විදෙස් ක්‍රීඩකයා ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් නම් කෙරුණ ද, ඔහු පෞද්ගලික හේතුවක් මත තරගාවලියෙන් ඉවත් විය. එමෙන් ම ප්‍රධාන ක්‍රීඩකයන් ලෙසින් නම් කෙරුණ එංගලන්තයේ දකුණතින් වේගපන්දු යවන ලියම් ප්ලන්කට් සහ පාකිස්තානයේ වමතින් වේගපන්දු යැවූ වහාබ් රියාස් ද කණ්ඩායම හා එක්වීමට සිටිය ද, ඔවුන් ද තරගාවලිය ප්‍රතික්ෂේප කළ හ. ඒ විවිධ ආකාරයේ නිදහසට කරුණු පවසමිනි. 

>> Kandy Tuskers පුහුණුවීම් අතරතුර <<

ඒ අනුව කණ්ඩායමේ හිස් වූ ක්‍රීඩකයන් වෙනුවෙන් ඉන්දියාවේ 36 වියැති තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් කණ්ඩායමට එක් කෙරුණි. 2012 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කර නොමැති පතන්ට නිමා වූ ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ද කණ්ඩායම් සාමාජිකත්වයක් හිමි නොවූ ක්‍රීඩකයෙකි. කෙසේ වෙතත් ඔහු සියලුම ආකාරයේ විස්සයි විස්ස තරග 177කට මුහුණ දෙමින් ලකුණු 1966ක් සහ කඩුලු 173ක් ලබා ගත් ක්‍රීඩකයෙකි.

මේ අතර පාකිස්තානයේ වේගපන්දු යවන සොහායිල් තන්වීර් කොරෝනා වැළඳීම හේතුවෙන් මෙරට හුදකලාව සිටීමට සිදුවීම කණ්ඩායම මුහුණ දුන් තවත් අකරතැබ්බයකි. ඔහුගේ තත්ත්වය තවමත් යහපත් නොමැති අතර ඒ හේතුවෙන් ම ඔහුගේ සහභාගීත්වය ද ස්ථිර නැත. කෙසේ වෙතත් ඔහුගේ සහභාගීත්වය අවදානම් වීමත් සමඟ කණ්ඩායම් කළමනාකාරිත්වයේ තේරීම වූයේ දකුණු අප්‍රිකාවේ 37 වියැති දකුණතින් වේගපන්දු යවන ඩේල් ස්ටේන් ය. 

ස්ටේන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග රටා ත්‍රිත්වයේ ම ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් වන අතර නිමා වූ ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි. සියලුම ආකාරයේ විස්සයි විස්ස තරග 223කට ක්‍රීඩා කර ඇති ස්ටේන් එහි දී කඩුලු 257ක් ලබා ඇත. 

කුසල් ජනිත් පෙරේරා (නායක)

ශ්‍රි ලංකාව වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග පිටිය නියෝජනය කළ කුසල් ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ද අවස්ථා කිහිපයක දී නියෝජනය කළේය. ඔහු ප්‍රථම වරට ඉන්දිය තරගාවලියේ නියෝජනය කරන්නේ 2013 වසරේ දී රාජස්ථාන් රෝයල් කණ්ඩායම ය. ඉන් අනතුරුව ඔහුට නැවත වතාවක් අවස්ථාව හිමි වෙන්නේ 2018 වසරේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා එක් වීමට ය. එමෙන්ම ඔහු බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ප්‍රධාන විදෙස් ක්‍රීඩකයෙක් ලෙසින් ද සහභාගී විය. 

මෙරට පළමු පෙළ තරග පිටියේ පන්දු 270කින් ලකුණු 330ක් ලබා ගන්නා කුසල් එකී දක්ෂතාව හේතුවෙන් ම සහ සනත් ජයසූරියගේ ඉරියව්වලට සමානව පන්දුවට පහර දීම හේතුවෙන් ද පොඩි සනා යන නමින් ද හැදින්වීමට ගත්තේ ය. පළමු පෙළ තරග 72ක දී ලකුණු 4706ක් ලබා ඇති කුසල් සියලුම ආකාරයේ විස්සයි විස්ස තරගවල දී අර්ධ ශතක 19ක් සමඟින් ලකුණු 2249ක් ලබා ඇත. 

මේ දක්ෂතා සමඟින් Kandy Tuskers කණ්ඩායමේ කළමනාකාරිත්වයේ විශ්වාසය දිනා ගන්නා 30 හැවිරිදි කුසල් ජනිත් පෙරේරා හෙවත් පොඩි සනා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ස්ථීර නායකයන් අතුරින් ළාබාලතමයා ලෙසින් තම දක්ෂතා දැක්වීමට සූදානමින් සිටී. 

කුසල් මෙන්ඩිස්

25 හැවිරිදි කුසල් මෙන්ඩිස් මහනුවර කණ්ඩායමේ වඩාත් විශ්වාසය දිනා සිටින ක්‍රීඩකයා ය. ඔහු සහභාගී වූ ආසන්නතම තරග 10 දී ශතක 4ක් සහ ද්විත්ව ශතකයක් ද වාර්තා කර ඇති අතර පසුගිය දා නිමා වූ දකුණු අප්‍රිකා යන කණ්ඩායම් සංචිතයේ පුහුණු තරගයේ දී ද ශතකයක් වාර්තා කළේය.

දකුණත් ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් ලෙසින් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස පිටියේ දක්ෂතා දක්වන කුසල් මේ වන විට පළමු පෙළ තරග 72කට මුහුණ දෙමින් ශතක 12ක් සහ අර්ධ ශතක 18ක් සමඟින් ලකුණු 4919ක් ලබා ඇත. එමෙන්ම සියලුම ආකාරයේ විස්සයි විස්ස තරග 49කට සහභාගී වී ඇති කුසල් අර්ධ ශතක 10ක් ද සමඟින් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 1151කි. 

ක්‍රිකට් පිටියේ පෑ දක්ෂතා හේතුවෙන් කුසල් 2015-16 වසරේ Dialog ක්‍රිකට් සම්මාන උළෙලේ දී වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙසින් ද 2016-17 වසරේ දී එම සම්මාන උළෙලේ දී ම වසරේ දක්ෂතම එක්දින පිතිකරු ලෙසින් ද සම්මාන දිනා ගත්තේ ය. 

බ්‍රෙන්ඩන් ටේලර් (Brendon Taylor) 

සිම්බාබ්වේ ක්‍රිකට් පිටියේ කාලයක් කිතුගොස නැංගූ ක්‍රීඩකයෙක් වන මේ වන විට 34 වැනි වියේ පසුවන බ්‍රෙන්ඩන් ටේලර් Kandy Tuskers වෙනුවෙන් මෙරටට පැමිණි ක්‍රීඩකයන් අතුරින් කැපී පෙනෙන ක්‍රීඩකයෙකි. එක්දින ජාත්‍යන්තර පිටියේ තරග 3කින් යුත් තරගාවලියක ලකුණු 300කින් වැඩියෙන් වාර්තා කරන ලද පළමු ක්‍රීඩකයා වූයේ ටේලර් ය. එමෙන් ම සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් වැඩිම එක්දින ශතක ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයා ලෙසින් ද සහ ටෙස්ට් තරගයක ඉනිම දෙකේ දී ම ශතක රැස් කළ ක්‍රීඩකයා ලෙසින් ද ඔහු වාර්තා පොත් සරසන්නේ ය.

සිම්බාබ්වේ වෙනුවෙන් ටෙස්ට් තරග 31කට, එක්දින ජාත්‍යන්තර තරග 199කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 43කට සහභාගී වී ඇති ටේලර් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 9494කි. එමෙන් ම සියලුම ආකාරයේ විස්සයි විස්ස තරග පිටියේ තරග 162කට සහභාගී වෙමින් ඉනිම 156ක දී පිටියට පිවිසෙමින් ශතකයක් සහ අර්ධ ශතක 24ක් සමඟින් ලකුණු 3537ක් ලබා ඇත. 

ඩිල්රුවන් පෙරේරා 

38 වියැති ඩිල්රුවන් පෙරේරා Kandy Tuskers කණ්ඩායම හා එක්වෙන්නේ පළමු පෙළ ක්‍රිකට් පිටියේ තරග 222කට සහභාගී වෙමින් ලකුණු 7800ක් සහ කඩුලු 802ක් ලබා සිටින ක්‍රීඩකයෙක් ලෙසිනි. එමෙන්ම සියලුම ආකාරයේ තරගවල කඩුලු 1209ක් ලබා ඇති ක්‍රීඩකයෙක් ලෙසින් ය. 

ඩිල්රුවන්ගේ ක්‍රිකට් ඉතිහාසය පිරික්සීමේ දී වැඩි ලෙසින් ම ඇත්තේ “වේගවත් ම” වචනය ද සමඟින් වීම විශේෂ වේ. ඔහු මෙරට ක්‍රීඩකයන් අතුරින් ටෙස්ට් කඩුලු 50ක් (තරග 11) සහ ටෙස්ට් කඩුලු 100ක් (තරග 25ක්) ලබා ගත් වේගවත් ම ක්‍රීඩකයා වන්නේ ය.

ටෙස්ට් තරගයක දී කඩුලු 10ක් සහ අර්ධ ශතකයක් වාර්තා කළ පළමුවැන්නා ද ඔහු ය. එමෙන් ම ටෙස්ට් කඩුලු 100ක් සහ ටෙස්ට් ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයන් අතරින් එම ඉලක්කයට ළඟා වූ වේගවත් ම ක්‍රීඩකයා මෙන් ම ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙරට පැවති ටෙස්ට් තරගවල දී කඩුලු 100ක් ලබා ගත් වේගවත් ම ක්‍රීඩකයා වන්නේ ද ඩිල්රුවන් ය. මේ අතර 2016-17 වසරේ දී Dialog ක්‍රිකට් සම්මාන උළෙලේ දී වසරේ දක්ෂතම තුන් ඉරියව් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් ද සම්මාන ලැබුවේ ඔහු ය. 

සංචිතයේ සංයුතිය

කණ්ඩායමේ සංයුතිය සැකසීමේ දී කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් වැඩි විශ්වාසය ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩකයන් වෙත තබා තිබීම විශේෂ වේ. ඊට හේතු වන්නට ඇත්තේ කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ද පුහුණුකරු වන හෂාන් තිලකරත්න මෙන්ම යොවුන් කණ්ඩායමේ කළමනාකරු වන ෆර්වීස් මහරූෆ් ද මහනුවර කණ්ඩායමේ සිටීම හේතුවෙන් විය හැකි ය. 

LPL තතුවිත්ති:

එම ක්‍රීඩකයන් අතරට ප්‍රියමාල් පෙරේරා (25) සහ නිශාන් මධුශ්ක (21) පිතිකරුවන් ලෙසින් ද, කමිඳු මෙන්ඩිස් (22) සහ ලහිරු සමරකෝන් (23) තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් ද, කවිශ්ක අංජුල (23), ලසිත් ඇඹුල්දෙණිය (24) සහ කෙවින් කොත්තිගොඩ (22) පන්දු යවන්නන් ලෙසින් ද කණ්ඩායමට එක්කර ගෙන ඇත. 

ඔවුන්ට අමතරව තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, ඉෂාන් ජයරත්න ද සහ පන්දු යවන්නන් ලෙසින් නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු සහ චාමිකර එදිරිසිංහ ද වෙති. මොවුන් සමඟ එක්වෙන විදෙස් ක්‍රීඩකයන් 7 දෙනා ද Kandy Tuskers කණ්ඩායමේ ජවය පෙන්වීමට එක් වෙනු ඇත.

 Kandy Tuskers කණ්ඩායමේ තරග කාලසටහන

දිනය ප්‍රතිවාදී කණ්ඩායම වේලාව
නොවැම්බර් 26 Colombo Kings රාත්‍රි 7.30
නොවැම්බර් 28 Dambulla Hawks සවස 3.30
නොවැම්බර් 30 Galle Gladiators සවස 7.30
දෙසැම්බර් 01 Jaffna Stallions රාත්‍රී 7.30
දෙසැම්බර් 03 Dambulla Hawks රාත්‍රී 7.30
දෙසැම්බර් 05 Colombo Kings රාත්‍රී 7.30
දෙසැම්බර් 09 Jaffna Stallions සවස 3.30
දෙසැම්බර් 10  Galle Gladiators රාත්‍රී 7.30

Kandy Tuskers සංචිතය;

කුසල් ජනිත් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදිප්, සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, කමිඳු මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, ප්‍රියමාල් පෙරේරා, කවිශ්ක අංජුල, ලසිත් ඇඹුල්දෙණිය, කෙවින් කොත්තිගොඩ, විශ්ව ප්‍රනාන්දු, ලහිරු සමරකෝන්. නිශාන් මදුශ්ක, චාමිකර එදිරිසිංහ, ඉෂාන් ජයරත්න

විදෙස් ක්‍රීඩකයන්;

Brendon Taylor (සිම්බාබ්වේ), Dale Steyn (දකුණු අප්‍රිකාව), Irfan Pathan (ඉන්දියාව), Munaf Patel (ඉන්දියාව), Naveen-ul-haq (ඇෆ්ගනිස්තානය), Rahmanulla Gurbaz (ඇෆ්ගනිස්තානය), Sohail Tanvir (පාකිස්තානය) 

කළමනාකරුවන් සහ සහායක කණ්ඩායම; සොහායිල් ඛාන් (හිමිකරු), හෂාන් තිලකරත්න (ප්‍රධාන පුහුණුකරු), නුවන් කුලසේකර (පන්දු යවන්නන්ගේ පුහුණුකරු), ලංකා ද සිල්වා (පන්දු රකින්නන්ගේ පුහුණුකරු) ෆර්වීස් මහරූෆ් (කළමනාකාර)

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<

Video – Kandy Tuskers නායක කුසල් පෙරේරා LPL ගැන කියන දේ