Vivo නැති නිසා IPL මූල්‍ය අර්බුදයක?

433

පසුගිය වසර කීපය තුල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන සත්කාරකත්වය දැරූ චීන දුරකථන සමාගමක් වූ vivo ආයතනය 2020 තරගාවලියේ සත්කාරකත්වයෙන් ඉවත් වීම කෙරෙහි පසුගිය සති කීපය තුල ජාත්‍යන්තර මාධ්‍ය සිය ප්‍රධාන අවධානයක් යොමු කර  තිබුණි. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි පවසා සිටියේ vivo ආයතනයේ ඉවත් වීම මූල්‍ය අර්බුදයක් නොවන බවත්, එය එක්තරා සිදුවීමක් පමණක් බවත්ය.

“එක් රෝගියෙක් නිසා IPL තරගාවලියම විනාශ වෙන්න පුළුවන්”

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ හිමිකම් අනුග්‍රාහකත්වය එම තරගාවලියේ වාණිජ ආදායමට සැලකිය යුතු බලපෑමක් සිදු කරන අතර එයින් කොටසක් කණ්ඩායම් අටෙහි හිමිකරුවන් අතරේ ද බෙදී යයි. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අනුග්‍රාහකත්වය මීට පෙර පෙප්සිකෝ (Pepsico) ආයතනය විසින් දැරූ අතර ඔවුන් 2015 වසරේ දී සිය ගිවිසුම අවසන් වීමට වසර දෙකකට පෙර එම අනුග්‍රාහකත්වයෙන් ඉවත්විය. 

ඉන් අනතුරුව 2015 වසරේ සිට 2017 වසර දක්වා අර්ධ ගිවිසුමක් යටතේ ප්‍රිමියර් ලීග් තරගාවලියේ අනුග්‍රාහකත්වය දැරූ vivo ආයතනය 2017 වසරේ දී වසර 5ක ගිවිසුමක් සමඟින් නිල වශයෙන් සත්කාරකත්වය ලබා ගත්තේය.

2017 වසරේ සිට 2022 දක්වා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල සත්කාරකත්වය ලබා ගත් vivo ආයතනය ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 241කට ආසන්න මුදලක් ගෙවා තිබුණි. 

එළඹෙන සැප්තැම්බර් 19 වැනිදා ඇරඹෙන 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සත්කාරකත්වයෙන් vivo ආයතනය ඉවත් වීමත් සමඟින් එහි සන්නාම සත්කාරකත්වය සඳහා වෙනත් ආයතනයක් සොයාගැනීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ආයතනය තවමත් කිසිදු අදහසක් පලකර නොමැත. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් ප්‍රධානී සෞරව් ගංගුලි පවසා සිටියේ තම ආයතනය එම තත්ත්වය පාලනය කිරීමට සූදානමින් සිටින බවයි. 

ඉන්දියාවේ අධ්‍යාපන යෙදුමක් වන ලර්න්ෆ්ලික්ස් (Learnflix) විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් අමතමින් සෞරව් ගංගුලි පසුගිය සෙනසුරාදා (08) ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කළේය.

මෙවර IPL සඳහා තරග 60ක්; ක්‍රීඩාංගණ 3ක්!

“vivo ආයතනය ඉවත් වීම මූල්‍ය අර්බුදයක් කියලා මම කියන්නේ නැහැ. එය එක්තරා සිදුවීමක් විතරයි. ක්‍රිකට් ආයතනය විදිහට අපි දැන් කරන්න ඕනේ ටික කාලයක් ගතවෙන තුරු මූල්‍යමය වශයෙන් වගේම වෘත්තීමය වශයෙන් ශක්තිමතව ඉන්න එක. අපිට එක් රැයකින් විශාල දේවල් කරන්න බැහැ. ඒ වගේම තමයි විශාල දේවල් එක රැයකින් නැති වෙන්නෙත් නැහැ. අපි දීර්ඝ කාලයක් මේ තත්ත්වයට මුහුණ දෙන්න සූදානමින් ඉන්න ඕනේ. එතකොට පාඩුවක දී වුනත් වාසියක දී වුනත් සාර්ථකව කටයුතු කරන්න පුළුවන් වෙනවා.” 

“ඒත් එක්කම අපි අපේ විකල්ප ගැන අවධානය යොමු කරන්න ඕන. ඒක හරියට A හා B කියලා සැලසුම් දෙකක් තියනවා වගේ. පුද්ගලයන්, සන්නාම වගේම ආයතනත් ඒක කරනවා. ඉන්දීය ක්‍රිකට් ආයතනය කියන්නේ ශක්තිමත් ආයතනයක්. අපිට ශක්තිමත් පදනමක් තියනවා. අපේ ක්‍රිකට් ආයතනය, ක්‍රීඩකයන්, පරිපාලකයින් පසුගිය කාලය තුල අපේ ක්‍රීඩාව ශක්තිමත් කරලා තියනවා. අපි කොතරම් ශක්තිමත් ද කියනවා නම් අපිට ඕනෑම අර්බුදයක් සාර්ථකව පාලනය කරන්න පුළුවන්.” 

2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අවලංගු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පසුගිය මාසයේ දී තීරණය කළේය. ඒ අනුව 2021 වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවටම ලබා දීමට පසුගිය දා තීරණය විය. සෞරව් ගංගුලි මේ පිළිබඳව ද අදහස් දක්වා සිටියේය. 

“2021 සහ 2023 ලෝක කුසලාන සඳහා සත්කාරකත්වය දෙන්න අපි සූදානම්. ඒ හින්දා ඒ තරගාවලිවල සත්කාරකත්වය වෙනස් වෙන්නේ නැහැ. කොරෝනා වසංගත තත්වය අපිට පුරෝකථනය කරන්න බැහැ. අපි හැමෝම ඒ ගැන අවධානයෙන් ඉන්නේ. ඒත් ඒ ගැන අපිට කළ හැකි දෙයක් නැහැ.” 

2020 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ අතර කොරෝනා වයිරසය හමුවේ එය දෙවතාවක්ම කල්දැමීමට සංවිධායකයන් තීරණය කළේය. එහෙත් එළඹෙන ඔක්තෝබර් නොවැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අවලංගු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කිරීමත් සමඟින් එම කාල රාමුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා යොදාගැනීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සැලසුම් කළේය. 

Boxing Day තරගය ගැන ඕස්ට්‍රේලියාව බලාපොරොත්තුවෙන්

ඒ අනුව තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 19 වැනිදා සිට නොවැම්බර් මස 10 වැනිදා දක්වා දින 53ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණය 3ක දී පැවැත්වීමට නියමිතව ඇත. 

පසුගිය මාසයේ දී ඉන්දු – චීන දේශ සීමා ආසන්නයේ දී ඇතිවූ යුධමය තත්ත්වය හේතුවෙන් චීන සමාගම් සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සත්කාරකත්වය සැපයීම අර්බුදකාරී වී තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස vivo ආයතනය මෙලෙස සත්කාරකත්වයෙන් ඉවත් වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි. 

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්නාම අනුග්‍රාහකත්වය පිළිබඳව තවමත් තීරණය කර නොමැත. 

ESPNCRICINFO ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<