Boxing Day තරගය ගැන ඕස්ට්‍රේලියාව බලාපොරොත්තුවෙන්

108

කොරෝනා වෛරසයත් සමඟින් මාස තුනකට අධික කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට විරාමයක් ලැබී තිබිනි. පසුගිය මාසයේ දී ආරම්භ වූ එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවති ටෙස්ට් තරගාවලිය එම විරාමයට තිත තැබීමට සමත් විය. 

කොරෝනා තවත් තරගාවලියක් කල්දමයි

ලොව පුරා ක්‍රිකට් ආයතන මේ වන විට තම අවලංගු වුනු සහ කල් දැමුනු තරගාවලි නැවත ආරම්භ කිරීමට සාකච්ඡා කරමින් සිටියි. 

නමුත් එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2021 වසර දක්වා කල් දැමීමට පසුගියදා එම ක්‍රිකට් ආයතන තීරණය කළේය. 

කෙසේවෙතත් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ ‘බොක්සිං දින ටෙස්ට් තරගය’ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තම ක්‍රිකට් මණ්ඩලය හැකි සෑම දෙයක්ම කරන බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ අන්තර්වාර ප්‍රධාන විධායක නික් හොක්ලි මහතා අවධාරණය කර තිබේ. 

කෙසේවෙතත් මෙල්බර්න්හි කොරෝනා රෝගීන් වාර්තා වීමේ තරමක ඉහළ යාමක් දක්නට ලැබෙන අතර එම ප්‍රාන්තය 4 වන අදියරෙහි අගුලු දැමීමකට යොමුව ඇත. 

“බොක්සිං දිනය ගත්තම එය ඕස්ට්‍රේලියානු ක්‍රීඩා දින දර්ශනයේ වඩාත්ම කැපී පෙනෙන සිදුවීමක්. ඇත්තෙන්ම අපිට අනාගතය ගැන තවමත් අනුමාන කරන්න බැහැ. ඒත් මේ අවස්ථාවේ දී අපි සම්පූර්ණ ක්‍රිකට් දින දර්ශනයම සැලසුම් කරමින් සිටිනවා.” හොක්ලි පැවසීය. 

“මේ තත්වයන් එක්ක බැලුවම අපිට අවසර ලබා ගන්න පුළුවන් හැමදේම කරනවා. මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මේ ටෙස්ට් තරගය පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා.” 

“එක් රෝගියෙක් නිසා IPL තරගාවලියම විනාශ වෙන්න පුළුවන්”

“මෙල්බර්න් ක්‍රීඩාංගණයට ප්‍රේක්ෂකයන් ගෙන්වා ගන්න පුළුවන් තත්ත්වයක් තිබුනොත් අපි තරගය මෙල්බර්න් වල පවත්වනවා. අපිට මේ තරගයට තවත් මාස හතර හමාරකට වැඩි කාලයක් තියෙනවා. ඇත්තෙන්ම මේ ගැන කතා කිරීම ඉතා අවිනිශ්චිතයි කියලා මම හිතනවා. දැනට ක්‍රියාත්මක වන සියලුම සීමාවන් එක්ක ඉක්මණින්ම මේ අවදානම් තත්ත්වය අඩු වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ තත්ත්වය අඩු වුනාම මිනිසුන්ට සාමාන්‍ය විදිහට කටයුතු කරන්න පුළුවන් වුනොත් අපිට සාමාන්‍ය ක්‍රිකට් තරග වලට ආයෙත් යන්න පුළුවන් වේවි. 

“අපි මේ කාලයේ දී කඩිසරව වැඩ කරමින් ඉන්නවා. ඇත්තටම මේ තියෙන තත්ත්වය එක්ක අපිට මුළු ගිම්හානයේම තරග ගැන එතරම් විශ්වාසයක් තියාගන්න බැහැ. මේ තියෙන තත්වයන් ඉක්මණින් වෙනස් වෙනවා. ඒත් එක්ක අපි අපට කරන්න පුළුවන් සෑම දෙයක්ම කරමින් ඉන්නේ. අපට සාමාන්‍ය විදිහට ක්‍රිකට් ක්‍රීඩා කරන්න නොහැකි වුනොත් ඒකට අවශ්‍ය වන සෙසු ක්‍රියාමාර්ග ගැන අපි මේ වෙද්දී සාකච්ඡා කරමින් ඉන්නවා. බොක්සිං දිනයට අදාළව අපේ කාලසටහන වෙනස් කරන්න අවශ්‍ය වුනොත් අපිට ඒකට ලොකු කාලයක් තියෙනවා.”  

COVID-19 වසංගතය නිසා අවලංගු වූ ලෝක ක්‍රිකට් තරගාවලි ප්‍රමාණය අති විශාලය. කෙසේවෙතත් මෙම තත්ත්වය සමඟින් ඉන්දීය – ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලි පෙර සැලසුම් කළ පරිදි පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සහ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය මේ වන විට සැලසුම් කර ඇත.  

ඉන්දීය ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාවට පැමිණි පසු සති දෙකක් ඔවුන්ගේ හෝටල් කාමරවල නිරෝධායනයට ලක් කිරීමට මේ වන විට තීරණය වී ඇති නමුත් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සව්රව් ගංගුලි එයට තරමක අකැමැත්තක් ප්‍රකාශ කර තිබේ. මේ නිසා ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරය සඳහා සංචාරක නිදහස් කිරීම් කිහිපයක් ලබා ගැනීමට තමන් උත්සාහ කරන බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධානී නික් හොක්ලි පවසා තිබේ. 

“අපේ රජයේ නීති එක්ක මේ තරගාවලියට අවශ්‍ය වන සංචාරක නිදහස් කිරීම් සම්බන්ධයෙන් අපි රජය එක්ක කටයුතු කරගෙන යනවා. නමුත් කෙසේ හෝ මේ තරගාවලිය පවත්වන්න අපි ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. ඔහු අනාවරණය කළේය. 

“ඉදිරි සති කිහිපය තුළ ඒ පිළිබඳව නිවේදන කිහිපයක් නිකුත් කරන්න අපිට පුළුවන් වේවි. අපි බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මණින් මේ තරගාවලියේ දින දර්ශනය තහවුරු කරන්න. 

“IPL යන්න බැරි වුනා කියලා පසුතැවිල්ලක් නැහැ”

“මේ මොහොතේ පසුබිම තුළ විශාල වැඩ ප්‍රමාණයක් සිදුවෙමින් පවතිනවා. එය ඉතා සංකීර්ණයි. ගිම්හානයේ ක්‍රිකට් තරග ගැන ගත්තම අපි ගොඩක් ආකෘති දිහා බලන්න ඕනේ. ඒ සියල්ලේම විශාල සංකීර්ණතාවයක් තියෙනවා. මේ සියලු තරග අන්තර් ප්‍රාන්ත ගමන් මත රඳා පවතිනවා. ක්‍රිකට් නැවත ආරම්භ කරන්න අවශ්‍ය මූලික දේ වෙන්නේ මේ කාලසටහන් ස්ථීර කරගන්න එක. ඒ පිළිබඳව තමයි අපි මේ වෙද්දී කටයුතු කරගෙන යන්නේ. යයි නික් හොක්ලි තවදුරටත් පවසා තිබේ. 

ඕස්ට්‍රේලියාවේ නැවතත් කොරෝනා අවදානමක් පවතින අතර මේ වන විට දිනකට රෝගීන් 500කට ආසන්න පිරිසක් වාර්තා වෙමින් තිබේ. 

Cricbuzz ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<