2020 පාසල් රග්බි තරගාවලිය අත්හරියි? මෙන්න ඒකට සැලැස්මක්

1123

COVID-19 වසංගතයෙන් අප ඉගෙන ගත් එක් දෙයක් වේ නම් ඒ විවිධ අවස්ථාවන්ට අනුගත වීමට හා ඒවාට හැඩගැසෙමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයයි. ඒ අනුව බොහෝ ව්‍යාපාර මෙම වත්මන් තත්වයට අනුගත වෙමින් ඔවුන්ගේ කටයුතු සිදු කරගෙන යාමට හැඩගැසී ඇති අතර මේ වන විට ක්‍රීඩා කටයුතුත් එසේ හැඩගැසීමට යොමු වී ඇති බවක් හඳුනාගත හැක. 

මීට හොඳම උදාහරණයක් ලෙස සිය දේශීය කණ්ඩායම්වලට ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි වෙනස්කම් සිදු කරමින් නව තරග ආකෘතියක් යටතේ මේ වන විට පැවැත්වෙමින් තිබෙන නවසීලන්තයේ Super Rugby තරගාවලිය පෙන්වා දිය හැක. මෙහි දී යොදා ගත් නව ආකෘතිය මේ දක්වා දැඩි සාර්ථකත්වයක් ප්‍රදර්ශනය කර ඇති අතර ඒ අනුව එරට රග්බි බලධාරීන් මෑතක දී පවත්වනු ලැබූ සාකච්ඡාවල තීරණවලට අනුව ඔවුන් බොහෝ දුරට මෙම ආකෘතිය ඉදිරි වසරවල දීත් මේ අයුරින්ම ක්‍රියාත්මක කිරීමේ ඉහළ සම්භාවිතාවක් මේ වන විට හටගෙන ඇත. 

කෙසේ නමුත් ශ්‍රී ලංකාව සලකා බැලූ කල තත්වය තරමක් වෙනස් වේ. මෙරට බලධාරීන් රට සම්පූර්ණයෙන්ම COVID-19 රෝගීන්ගෙන් තොරකිරීමේ උත්සාහයක නිරතව සිටියත් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළින් හට ගත් දෙවන රැල්ලට පසුව රට නැවතත් යථාතත්වයට පත්වෙමින් ඇත. 

ඒත් සමඟම අ.පො.ස. උසස් පෙළ විභාගය ද කල් දමන්නට කටයුතු කෙරුණු අතර ඒ හරහා 2020 පාසල් රග්බි තරගාවලියට ද විශාල බලපෑමක් එල්ල වන්නට වූයේ මේ සියල්ල මධ්‍යයේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඔවුන් නැවතත් දැනුම් දෙන තුරු සියලුම විෂය බාහිර සහ ක්‍රීඩා කටයුතු නවතා දමන ලෙසට පාසල්වලට උපදෙස් නිකුත් කිරීමත් සමඟයි. 

2020 අමතක කර දැමීමට සිදු වන තරග වාරයක් වෙයි ද?

Dialog පාසල් රග්බි කුසලානයට තම පළමු ජයග්‍රාහකයා වෙනුවෙන් සමහර විට 2021 වසර දක්වා බලා සිටීමට සිදු වනු ඇත.

ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ක්‍රීඩාවේ පාලක ආයතනය වන ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය (SLSRFA) පසුගිය සතියේ දී 2020 Dialog පාසල් රග්බි ලීග් තරගාවලියේ ඉරණම පිළිබඳව සාකච්ඡා කිරීමට මුණගැසුණු අතර එහි දී අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමට තීරණය කෙරුණු යෝජනාව යෝජනා 2කින් සමන්විත වේ. එනම් නොවැම්බර් මස අග භාගයේ දී නැවතත් තරගාවලිය ආරම්භ කර එළඹෙන 2021 වසරේ පෙබරවාරි මාසය දක්වා තරගාවලිය පැවැත්වීම හෝ මෙම වසරේ තරගාවලිය අත්හැර දැමීමට යි. 

මේ අතරින් පළමු යෝජනාව තරමක් කුතුහලය දනවන සුළු එකක් වුවත් ඒ අතරින් වඩාත් ප්‍රයෝගිකම හා යථාර්තවාදී ම යෝජනාව වන්නේ මෙම වසරේ තරගාවලිය අත්හැර දැමීමේ දෙවන යෝජනාව යි. 

ඊට හේතුව වන්නේ නොවැම්බර් මාසයේ දී තරගාවලිය නැවතත් ආරම්භ කිරීම එක් අතකින් තරගාවලිය නැවත ආරම්භ කිරීමක් නොව, එයම නව තරග වාරයක් වන බැවිනි. මේ වන විට ක්‍රීඩකයින් හට මාස 9ක කාලයක් පුරාවට ක්‍රීඩා කිරීමට තියා කිසිදු පුහුණුවීමේ කටයුත්තක හෝ නිරත වීමට අවස්ථාවක් ලැබුණේ නැත. 

ඒ අනුව මෙහි දී ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සිදුකර යුතුව ඇත්තේ මෙම වත්මන් තත්වයට හැඩගැසීම යි. 

වයස අවුරුදු 23න් පහළ? මොකක්? ඒ කොහොමද? 

වයස අවුරුදු 23න් පහළ තරගාවලියක අදහස කිසිදු අරමුණකින් තොරව කාලයක් පුරාවට කතාබහට ලක්වෙමින් තිබූ එකකි. ඒ පිළිබඳව සාකච්ඡාවන් කිහිපයක් ද මීට පෙර පවත්වා ඇති නමුත් ඊට අදාළ සැලසුම් මේ වන තෙක් සාකච්ඡාවලින් ඔබ්බට ගොස් ප්‍රයෝගිකව ක්‍රියාවට නැංවී නොමැත. ඊට අමතරව 2000 වසරවලට පෙර එක් අවස්ථාවක දී වයස අවුරුදු 23න් පහළ තරගාවලියක් පවත්වා ඇති නමුත් එය ද දැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කර නොමැත. 

නමුත් මේ වන විට මෙවර පාසල් රග්බි තරග වාරය වැට උඩ ඇති පසුබිමක වයස අවුරුදු 23න් පහළ තරගාවලියක අදහස නැවතත් කරළියට පැමිණ ඇත්තේ එයට සුදුසුම කාලයක වන බව මෙහි දී සඳහන් කළ යුතුම ය. 

ඔබ ඔබගේ පාසල නියෝජනය කර අවසානයේ ඔබට එක් තරග වාරයක් සඳහා පාසල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා දිය නොහැකි බව යමෙකු පැවසුවහොත් එවිට එය ඔබට කෙසේ දැනෙයි ද? අනිවාර්යයෙන් ම එය ඔබට විශාල කනගාටුවක් මෙන්ම ඒ හරහා ඔබට දැඩි අසම්පූර්ණ හැඟීමක් ද ඇතිවනු ඇති බව නොඅනුමාන ය.   

ඒ අනුව COVID-19 වසංගතය හේතුවෙන් සම්මාන උළෙලක් අහිමිව යන 2020 පාසල් රග්බි කණ්ඩායමේ සම්මාන ප්‍රදානෝත්සවය බවට වයස අවුරුදු 23න් පහළ තරගාවලිය පත්කිරීමේ හැකියාව මේ වන විට උදාවී ඇත. 

පාසල්වලට එරෙහිව ක්‍රීඩා සමාජ ද? එසේත් නැත්නම් පාසලෙන් ක්‍රීඩා සමාජයට ද?

ශ්‍රී ලංකාව ගත්කල පාසල් රග්බි ක්‍රීඩාව ක්‍රීඩා සමාජ රග්බි ක්‍රීඩාවට වඩා ලාභ උපදවන්නක් බව හඳුනා ගත හැක. ඒ අනුව පාසල් රග්බි ක්‍රීඩාව විශාල අයවැයක්, විශාල ලෙස මුදල් වැයකිරීම් සහ දැවැන්ත ක්‍රීඩාලෝලී පදනමක් යන සාධකවලින් සමන්විත වුවත් වර්තමානයේ ක්‍රීඩා සමාජ රග්බි ක්‍රීඩාව තුළ එම සාධක ඒ තරම් ඉහළ තත්වයක සහ තලයක අපට දැකබලා ගැනීමට ලැබෙන්නේ නැත.  

1990 වසරවල හෝ 2000 වසරවල මුල භාගයේ දී ක්‍රීඩා සමාජ රග්බි තරගයක් නැරඹීමට රග්බි ලෝලියෙකුගේ අත්දැකීම් පිළිබඳව ඔබ විමසා සිටියහොත් ඔහු එවන් තරගයකට අදාළව ගොඩනඟනු ලබන දෘෂ්ටි රූපය වර්තමානයේ පාසල් රග්බි තරගයක අත්දැකීමට සමාන වන බව ඔබට හඳුනා ගැනීමට හැකි වනු ඇත. දහස් ගණන් ක්‍රීඩාලෝලීන්, පිරී ගිය ක්‍රීඩා මණ්ඩප සහ උද්වේගකර රග්බි තරග ඒවායේ පොදු ලක්‍ෂණ වන බවට එවිට ඔබට වැටහී යනු ඇත. 

ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසුව ශ්‍රී ලංකාව තුළ විශාල ම රසික ආකර්ෂණයක් තිබෙන්නේ පාසල් රග්බි ක්‍රීඩාවට යි.

නමුත් අද වන විට ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව දැඩි වෙනසකට භාජනය වී ඇත. 

පසුගිය දශකයක කාලය පුරාවට සලකා බැලුවහොත් මෙරට ක්‍රීඩා සමාජ රග්බි ක්‍රීඩාවේ තත්වය කෙමෙන් කෙමෙන් පහත ගොස් ඇති ආකාරය ඔබට වැටහී යනු ඇත. මෙම පසුබෑම හරහා ක්‍රීඩා සමාජ රග්බි ක්‍රීඩාවට ඉදිරිපත් වන අනුග්‍රාහකත්ව, එහි අයවැය සහ ක්‍රීඩාලෝලී පදනම වැනි සාධක වලට ද සැලකිය යුතු මට්ටමේ අහිතකර බලපෑමක් එල්ල වී ඇත. 

මෙහි ගැටලුව රැඳී පවතින්නේ පාසල් රග්බි ආකෘතියේ ය. අද වන විට ප්‍රධාන ලීග් තරගාවලියේ ක්‍රීඩා කිරීමට වරම් ලබන්නේ පාසල් රග්බි ක්‍රීඩකයින්ගෙන් 4%ක තරම් ඉතා සුළු ප්‍රතිශතයක් පමණි. ඒ අතරිනුත් තමන්ගේ පළමු වසරේ දීම පළමු පෙළ කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබන්නේ ක්‍රීඩකයින් අතළොස්සක් පමණි. 

ඉහත සඳහන් කරනු ලැබූ එම 4%ක ප්‍රතිශතයෙන් 1%ක පමණ ප්‍රමාණයක් පද්ධතිය තුළ කටයුතු කිරීමේ අපහසුතා හේතුවෙන් පළමු වසරේ දීම ඉන් ඉවත් ව යනු ලබයි. 

තරගකාරීත්වය, ශාරීරික යෝග්‍යතාවය සහ මූල්‍යමය අපහසුතා වැනි ගැටලු ඒ ආකාරයට ඉවත්ව යන 1%ක ක්‍රීඩකයින් ප්‍රමාණය මුහුණ දෙන ගැටලු ලෙස ඔවුන් සමඟ ප්‍රශ්න කිරීමෙන් හඳුනා ගෙන ඇත. පාසල් තුළ රග්බි ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින් ක්‍රීඩා සමාජ රග්බි ක්‍රීඩාවට පිවිසීමෙන් වළක්වන්නේ ද එම ගැටලුම වීම මෙහි ඛේදජනක තත්වය යි. 

නමුත් ක්‍රීඩා සමාජ සහ පාසල අතර යම්කිසි මැද භූමියක් තිබුණේ නම් තත්වය කෙසේ වේවි ද? ඒ අනුව වයස අවුරුදු 23න් පහළ තරගාවලියක් මෙම මැද භූමිය බවට පත්විය නොහැකි ද?

මේ එය ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ඉහළ නැංවීමට දායක විය හැකි ක්‍රම 5කි.

  1. සිය අවසන් වසර ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව 2020 පාසල් රග්බි ආකෘතියෙන් ඉවත්ව යන ක්‍රීඩකයින් ආකර්ෂණය කරගැනීම.
  2. පාසල් රග්බි ක්‍රීඩාවේ සිට ක්‍රීඩා සමාජ වෙත පියනඟින ඒ විශාල ඉදිරි පියවර තැබීමට පෙර තරග තුළ ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් ලබාගනිමින් ප්‍රධාන ලීග් තරගාවලියට හොඳ සූදානමක් ලබා ගැනීම. මෙය පාසල් දිවියෙන් පසුව ක්‍රීඩාවට සමුදෙන ක්‍රීඩකයින් ප්‍රතිශතය අඩුකර ගැනීමට උපකාර වනු ඇත. 
  3. අනුග්‍රාහකයින් ආකර්ෂණය කරගැනීම සඳහා ක්‍රීඩා සමාජවලට වයස අවුරුදු 23න් පහළ තරගාවලියෙන් ප්‍රයෝජන ලබාගත හැක.
  4. ක්‍රීඩකයින් පාසල් තුළින් පැමිණෙන ක්‍රීඩකයින් බැවින් ක්‍රීඩාලෝලීන් නැවතත් ක්‍රීඩා සමාජ තුළට පැමිණෙනු ඇත.
  5. පුහුණුකරුවන්ට ඔවුන්ගේ සංචිත තෝරාගැනීම සඳහා වයස අවුරුදු 23න් පහළ තරගාවලියේ දක්‍ෂතා සලකා බැලීමට හැකි වීම. 

සුභවාදී අනාගතයක්?

ක්‍රීඩා සමාජ රග්බි පිටියට පිවිසෙන්නේ පාසල් ක්‍රීඩකයින් අතරින් ඉතා අතළොස්සක් පමණි.

මීට සති දෙකකට පෙර ශ්‍රී ලංකා රග්බි ආයතනය නිල වශයෙන් නිවේදනය කර සිටියේ Rizly Illyas ඔවුන්ගේ මීළඟ සභාපතිවරයා වනු ඇති බවත් ඔහු මෙම අගෝස්තු මස අවසානයේ එම ධුරයේ වැඩ බාරගන්නා බවත් ය. 

Sunday Special with Boa Athu විශේෂාංගය සමඟ එක්වෙමින් Rizly ඔහුගේ ධුර කාලය තුළ වයස අවුරුදු 20න් පහළ හා 24න් පහළ තරගාවලි ද්විත්වයක් ආරම්භ කිරීම පිළිබඳව ධනාත්මකව කතා කරන්නට විය. 

“1990 ගණන්වල අග භාගයේ වයස අවුරුදු 24න් පහළ තරගාවලිය ආරම්භ කරපු පුද්ගලයින් අතරින් කෙනෙක් මම. ඉතින් මම හිතනවා අපි නැවතත් වයස අවුරුදු 20න් හා 24න් පහළ තරගාවලි ආරම්භ කරන්න ඕනේ කියලා. මේ කාලේ පුරාවටම ගැටලුවක් වෙලා තිබ්බේ අනුග්‍රාහකයෝ හොයාගන්න එක. ඒත් මට මේකට අනුග්‍රාහකයින් අරන් එන්න හැකියාව තියෙනවා.”

ඒ අනුව පැවති ආකාරයට ම එම තරගාවලි ද්විත්වයම ආරම්භ කිරීම කුතුහලය දනවන සුළු කරුණක් වුවත් එම තරගාවලි දෙකෙන් එකක් හෝ ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට විශාල ජයග්‍රහණයක් වනු ඇති බව නොඅනුමාන ය. 

තවත් කියවන්න:

අවසාන වශයෙන්

වයස අවුරුදු 23න් පහළ තරගාවලියක යථාර්ථය වන්නේ ඒ හරහා ලැබෙන ඵල ප්‍රයෝජන වේ. මෙම වයස අවුරුදු 23න් පහළ තරගාවලිය පාසල් සහ ක්‍රීඩා සමාජ ආකෘතීන් වල සුසංයෝගයක් වනු ඇති අතර එම තලයන් දෙකේ වාසි සහගත තත්වයන් එක්කාසු කිරීමෙන් මෙම දෙමුහුම් තරගාවලිය නිර්මාණය වේ.

ඒ අනුව පාසල් රග්බි ක්‍රීඩාව තුළ ගොඩනැඟී ඇති ක්‍රීඩාවට ඇති ළැදියාවට මද වෘත්තීය බවක් එක්වීම ඉතා අගනා මුසුවීමක් වනු ඇත. අප මෙහි දී එය සර්ව සම්පූර්ණ බව පවසන්නේ නැත. නමුත් එය ඒ සර්ව සම්පූර්ණ බව ඉතා ආසන්නයේ පවතින බව නම් පිළිගත යුතුම ය. 

නවසීලන්තයේ දේශීය Super Rugby තරගාවලිය COVID-19 වසංගතයෙන් පසුව ඔවුන් ඇතිකරගත් සාර්ථක අනුවර්තනයක් පමණක් නොව, එය පසුගිය වසර කිහිපය ගත්කල එරට රග්බි ක්‍රීඩාව තුළ ගනු ලැබූ හොඳම තීරණ අතරින් එකක් වන බව නොඅනුමාන ය. 

ඒ අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 23න් පහළ තරගාවලිය මෙරට Super Rugby Aotearoa තරගාවලිය බවට පත්වීමට විශාල ඉඩකඩක් ඇති බව අප වටහා ගත යුතුය. 

No Schools Rugby 2020? Here’s Plan B! ලිපියේ පරිවර්තනයකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<