“එක් රෝගියෙක් නිසා IPL තරගාවලියම විනාශ වෙන්න පුළුවන්”

191

එළඹෙන සැප්තැම්බර් මස 19 වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ වන විට පුවත් මවමින් සිටී. 

කොරෝනා වයිරසයත් සමඟින් දෙවතාවක්ම කල්දැමූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට තමන් සැලසුම් කරන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් පසුගිය සතියේ දී නිවේදනය කළේය. ඒ අනුව තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක හා සෞඛ්‍ය නිර්දේශයන් ද ඔවුන් විසින් පසුගිය දා නිකුත් කළේය. 

 “IPL යන්න බැරි වුනා කියලා පසුතැවිල්ලක් නැහැ”

තරගාවලියේ අනුග්‍රාහකත්වය හා මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව කිංග්ස් XI පන්ජාබ්හි සම හිමිකරු නේස් වාඩියා පසුගිය දා මාධ්‍ය හමුවක දී අදහස් දක්වා තිබුණි. ඔහු පවසා සිටියේ මෙම තරගාවලිය අතරතුර එක් COVID-19 රෝගියෙක් හෝ වාර්තා නොවීමට වග බලා ගත යුතු බවයි.

චීන ජංගම දුරකථන නිෂ්පාදක විවෝ (vivo) ආයතනය මෙම තරගාවලිය සඳහා හිමිකම් අනුග්‍රාහකත්වයෙන් ඉවත් වී ඇති බව ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් මෙතෙක් නිල වශයෙන් සනාථ කර නොමැත. නමුත් චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික ආතතීන් හේතුවෙන් එම ආයතනය මෙලෙස අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බව මාධ්‍ය කීපයක්ම වාර්තා කර තිබුණි.

පසුගිය වසර කීපය තුල දී Vivo ආයතනය හා ඉන්දීය ක්‍රිකට් ආයතනය වසරකට ඉන්දීය රුපියල් කෝටි 440ක ගිවිසුමකට එක්ව සිටියේය.

“IPL තරගාවලිය ගැන ගොඩක් අනුමාන කෙරෙමින් තියනවා. මම හිතන්නේ ඒවා නිෂ්ඵලයි. කණ්ඩායම් හිමිකරුවන් විදිහට අපේ එකම අවධානය තරගාවලියේ ක්‍රීඩකයන්ගේ සහ ඊට සම්බන්ධ අනෙකුත් සියලු දෙනාගේ ආරක්ෂාව. ඒ ගැන අපි ඉතාමත් සැලකිලිමත් වෙනවා. එක් රෝගියෙක් හෝ හමුවුනොත් මුළු තරගාවලියම ඒකෙන් අවදානමට ලක්වෙනවා. මුළු තරගාවලියම විනාශ වෙන්න පුළුවන්” වාඩියා පසුගිය බදාදා පැවති කණ්ඩායම් හිමිකරුවන්ගේ රැස්වීමෙන් පසු PTI වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

Vivo ආයතනයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් අනාගතය කුමක් වුවත් නව අනුග්‍රාහකයන් සඳහා අවශ්‍යතාවක් ඇති වුවහොත් චීන සමාගම වෙනුවට වෙනත් අනුග්‍රාහකයන් සොයාගැනීම එතරම් අපහසු නොවන බව වාඩියා පැවසීය.

“මේ තරගාවලියේ හිමිකම් අනුග්‍රාහකත්වය ගැන ඉන්දීය ක්‍රිකට් ආයතනයේ තීරණය ගැන මම දන්නේ නැහැ. අපි කණ්ඩායම් හිමිකරුවන් විදිහට සියලු දෙනාම එකතු වෙලා ඵලදායී සාකච්ඡාවක් තිබ්බා. අපි හැමෝම තරගාවලිය සාර්ථකව පවත්වන්න එකම අරමුණක ඉන්නවා. අපි ඉන්දීය ක්‍රිකට් ආයතනයට වගේම තරගාවලියේ සංවිධායකයන්ට අපේ උපරිම සහයෝගය ලබා දෙනවා. ඒ වගේම අපි ඉක්මනින් ඔවුන් හමුවෙලා ඉදිරි වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කරනවා.” 

මෙවර IPL සඳහා තරග 60ක්; ක්‍රීඩාංගණ 3ක්!

වර්තමාන ආර්ථික වාතාවරණය තුළ කණ්ඩායම් අනුග්‍රාහකයන් හා ඉන්දීය ප්‍රිමියර් ලීග් සන්නාම අනුග්‍රාහකයන් දැඩි ගිවිසුම් කොන්දේසි පනවනු ඇතැයි වාඩියා පවසා තිබේ. 

“සියලුම අනුග්‍රාහකයින් ඔවුන්ගේ අනුග්‍රාහකත්වය ගැන දැඩි නීති ගැන සාකච්ඡා කරන්න වගේම කොන්දේසි පනවන්න පෙලඹෙනවා. මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වැඩිම ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් බලපු තරගාවලිය වේවි. මේ තරගාවලිය ඉතිහාසයේ හොඳම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වේවි. මගේ ඒ ප්‍රකාශය මතක තියාගන්න. අනුග්‍රාහකයින් මේ වසරේ තරගාවලියේ සාමාජිකයෙකු නොවීම මෝඩකමක් කියලා මම හිතනවා.” 

“ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාමාජිකයෙකු නොවීම ඔවුන්ගේ පැත්තෙන් වැරදි වාණිජමය තීරණයක් වේවි. මම තරගාවලියේ අනුග්‍රාහකයෙකු නම් මම මේ තරගාවලියට උපරිම සහයෝගය ලබා දෙනවා.” 

කෙසේ වෙතත් ඉන්දියාව තුල පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර තරගාවලිය දැඩි සෞඛ්‍ය ආරක්ෂක නීති සමඟින් පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සූදානමින් සිටී. මීට පෙර පැවැත්වූ තරගාවලිවලට වඩා වෙනස් මුහුණුවරක් ගන්නා මෙවර තරගාවලිය සඳහා වන සෞඛ්‍ය නිර්දේශ අඩංගු නීති මාලාවක් ද එම ආයතනය විසින් නිකුත් කර තිබේ.

“ඉන්දීය ක්‍රිකට් ආයතනය පිටු 16ක නීති හා උපදෙස් මාලාවක් අපිට දැනුම් දීලා තියනවා. ඒ නීතිවලට අනුව ක්‍රීඩකයින්, සහායක කාර්ය මණ්ඩලය, කණ්ඩායම් නිලධාරීන් සහ හිමිකරුවන් ජෛව ආරක්ෂිත පරිසරයක කොටසක් ලෙස තරගාවලිය පුරාම ඉන්න ඕනේ.” 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා තමන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යෑම පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බව වාඩියා පවසා සිටියේය. නමුත් එහි ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු අඩුපාඩුවක් සිදුවීමට ඉඩ නොතබන බව ඔහු තවදුරටත් පැවසීය. 

IPL කණ්ඩායම් හිමිකරුවන්ගේ ගැටලුවට BCCIයෙන් උත්තර

“අපි ජෛව ආරක්‍ෂිත පරිසරයට හැඩගැසිය යුතුයි. එක් රෝගියෙක් හෝ හමුවුනොත් තරගාවලිය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. තරගාවලිය සාර්ථකව පවත්වන්න අපි බාහිර සමාජයෙන් වෙන්වෙලා යම් කැපකිරීමක් කරන්න වෙනවා.”

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී එළඹෙන සැප්තැම්බර් 19 සිට නොවැම්බර් 10 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<