ශ්‍රී ලංකා කණ්ඩායමේ නවතම ආරම්භක පිතිකරණ සුසංයෝගය වූ නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති තුන්වන එක්දින තරගයේ කඩුලු 8ක ජයග්‍රහණයක් වෙත ශ්‍රී ලංකා කණ්ඩායම ගෙන යාමේ නියමුවන් විය.
ධනුෂ්ක – දික්වැල්ල වික්‍රමය නිසා ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්
අද (06) සූරියවැව දී ඇරඹුණු තෙවැනි එක්දින තරගයේ දී ප්‍රතිවාදී සිම්බාබ්වේ පිතිකරුවන් මුලින් පන්දුවට පහර දෙමින් ලකුණු 310ක් රැස් කලද ඊට ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම…
පසුගිය දශකය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මුල්පෙළ ලකුණු රැස් කිරීමේ වගකීම වැඩි වශයෙන් ඉටු කළේ සනත් ජයසුරිය, ටී. එම්. දිල්ශාන් සහ උපුල් තරංග වැනි ක්‍රීඩකයන් කිහිප දෙනෙකි. කෙසේ වෙතත් ඔවුන්ගේ සමුගැනීම් සහ පිතිකරණ ලැයිස්තුවේ පහළට වැටීම් හමුවේ නිසි ආරම්භක සුසංයෝගයක් සොයා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට දැඩි හිසරදයක් වූ කරුණකි. 2019 ක්‍රිකට් තරගාවලියට වසර 2කටත් අඩු කාලයක් ඉතිරිව ඇති මොහොතක අවසානයේ දී ශ්‍රී ලංකාව සොයමින් සිටි යොවුන්, ජවසම්පන්න නිවැරදි ආරම්භක පිතිකරු යුගලය සොයා ගන්නට හැකි වී ඇති බවක් දක්නට ලැබේ.

ආරම්භක පිතිකරණ සගයන් වීමට අමතරව ගුණතිලක සහ දික්වැල්ල පිටියෙන් එපිටද ඉතා සමීප මිතුරන් වෙයි. ඔවුන් දෙදෙනා එකිනෙකාගේ සමාජ ජාලා මාධ්‍ය වෙබ් අඩවි ඔස්සේ නිතර දක්නට ලැබෙන්නේ සිය විවේක කාලයන් පවා එක්ව ගත කරන අයුරුයි.
”මගේ කුඩා කාලයේ සිටම දික්වැල්ල මගේ හොඳම මිතුරන් 4 දෙනා අතුරින් එක්කෙනෙක්. අපි පිටියෙන් එපිටත් හොඳ මිතුරන් වීම නිසා පිටිය තුල ඔහු සමඟ එක්ව ක්‍රීඩා කිරීම ඉතාම පහසුයි. මම සතුටු වෙනවා අපි දෙදෙනාටම එකම තරගයේ දී මංගල ශතක වාර්තා කිරීමට ලැබීම පිළිබඳව. ඔහුගේ පිතිකරණයටත් හොඳ ඇගයීමක් ලැබිය යුතුයි, මොකද එය ඉතාම විශිෂ්ට ඉනිමක්.” ඊයේ තරගයෙන් පසු ගුණතිලක පැවසීය.
මෙම තරගයට පෙර ඔවුන් දෙදෙනාටම විචාරකයන්ගෙන් එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වුණේ වේගවත් ආරම්භයන් ලබා ගත්ත ද දිගු ඉනිම් ගොඩ නැගීමට අවධානය යොමු නොකිරීමයි. මීට පෙර ඔවුන් දෙදෙනාම කිසිදු ජාත්‍යන්තර ශතකයක් වාර්තා කර නොමැති අතර දෙදෙනා ක්‍රීඩා කර ඇති ඉනිම 58ක දී අර්ධ ශතක 12ක් (දෙදෙනාගේම එකතුව) පමණක් වාර්තා කර තිබුණි.
”අපි අවස්ථා කිහිපයක දී ම සාර්ථක ආරම්භයන් ලබා ගෙන තිබුනත් ඒවා තරග දිනවිය හැකි දිගු ඉනිම් බවට පරිවර්තනය කර ගැනීමට අසමත් වුනා. අපි මේ පිළිබඳ ළඟදී සාකච්ඡා කරලයි තිබුණේ. අපි දෙදෙනාටම ලොකු උවමනාවක් තිබුණා මංගල ශතක වාර්තා කරන්නට. මම විශ්වාස කරනවා මේ ඉනිම දෙක තුලින් අපි ඉගෙන ගත්තා කියලා දිගු ඉනිම් ගොඩනගන ආකාරය ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේ දී ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගනිමින් පිතිකරණයේ යෙදෙන්නට.” දිගු ඉනිම් ගොඩනැගීමේ වැදගත්කම පිළිබඳ ගුණතිලක අදහස් දැක්වූයේ එලෙසින්.

”ඔවුන් පන්දුවට පහර දෙන ආකාරය දෙස බලා සිටීම ඇත්තෙන්ම සතුටක් වුනා. ප්‍රධානම කරුණ තමයි ඔවුන් ලකුණු 50ක් 60ක් ලබා ගෙන අවස්ථාව අපතේ නොහරින තත්ත්වයට පත්ව ඇති බව දැකීම. ඔවුන් තමන්ට අවශ්‍ය වූ දස්කම දැක්වුවා. ඔවුන්ට තරගය අවසන් කරන්නට නොහැකි වීම තමයි කනගාටුවට කරුණක් වුණේ. නමුත් එය විශිෂ්ට පිතිකරණ දක්ෂතාවක්. නිරෝෂන් කිසිම විටෙක බියට පත් නොවන ක්‍රීඩකයෙක්. ඔහුට අවශ්‍ය හැම පන්දු යවන්නේකුටම පහර දීමට. එය පිතිකරුවෙකුට සුදුසු ආකල්පයක්.” නායක ඇන්ජලෝ මැතිව්ස් තම යොවුන් ආරම්භක පිතිකරුවන් පිළිබඳ ප්‍රශංසාත්මක මුඛයෙන් අදහස් පල කරන ලදි.
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට






















