අද (06) සූරියවැව දී ඇරඹුණු තෙවැනි එක්දින තරගයේ දී ප්‍රතිවාදී සිම්බාබ්වේ පිතිකරුවන් මුලින් පන්දුවට පහර දෙමින් ලකුණු 310ක් රැස් කලද ඊට ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48ක් ගතවීමටත් මත්තෙන් එම ඉලක්කය පසුකර ගියහ. එහිදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂක මනදොළ සපුරාලමින් ආරම්භ පිතිකරුවන් දෙදෙනා වාර්තා කළ මංගල ශතක දෙක සුවිශේෂී ලෙස කැපී පෙනුණි.

තෙවැනි තරගයේ දී ශ්‍රී ලංකාවේ ඉරණම කෙසේ වේවි ද?

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන..

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි. හම්බන්තොට පැවැත්වෙන තරග කිහිපයට පෙර ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් කිහිපයක් සිදු කළද අද තරගය සඳහා දෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම කිසිදු වෙනස්කමකින් තොරවම සහභාගි කරවා තිබුණි. නමුත් පෙර තරගයේ දී අතිශයින්ම අසරණ වූ සිම්බාබ්වේ කණ්ඩායම වෙනස්කම් දෙකක් සමඟින් අද තරගයට පිවිසියහ. ඒ ඩොනල්ඩ් තිරිපානෝ සහ රයන් බර්ල් වෙනුවට දකුණත් පිතිකරු ටෙරිසායි මසකන්ඩා සහ දකුණත් මද වේග පන්දු යවන ක්‍රීඩක කාල් මුම්බා කැඳවමිනි.

නිමාවුණු බොහෝ තරග වලදී සිදුවුනු පරිදි අද දිනයේදීත් ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් පළමු දඩයම වාර්තා කළේ නුවන් ප්‍රදීප් විසිනි. ඔහුගේ පන්දුවක් හමුවේ සොලමන් මියර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ ලකුණු 13ක් පමණක් ලබා සිටියදීය. කෙසේවෙතත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වුණු හැමිල්ටන් මැසකඩ්සා සහ ටෙරිසායි මසකන්ඩා වේගවත් ශතක සබඳතාවයක් පිහිටුවමින් තරගයේ පාලනය සියතට ගැනීමට සමත් වූහ. එහිදී සිම්බාබ්වේ ප්‍රහාරය නතර කිරීමේ අරමුණින් නායක මැතිව්ස්, ලක්ෂාන් සඳකැන් සහ වනිඳු හසරංග යොදා ගත්තද ඔවුන්ටත් හොඳ සංග්‍රහයක් මෙම ප්‍රහාරාත්මක පිතිකරුවන් දෙදෙනාගෙන් හිමිවිය.

පසුගිය කාලයේ දී පිත්තෙන් අසමත් වීම නිසා කණ්ඩායමේ තම ස්ථානය ගැන පවා අහිමි වීමේ අවදානමකට මුහුණ දී සිටි හැමිල්ටන් මැසකඩ්සා අද තම එක්දින දිවියේ පස්වැනි ශතකය ලෙසින් ලකුණු 111ක් වාර්තා කිරීමට සමත් විය. පන්දු 83කින් ඔහු වාර්තා කරගත් ශතකය සටහන් වූයේ සිම්බාබ්වේ පිතිකරුවෙකු ලබාගත් තෙවැනි වේගවත්ම ශතකය ලෙසයි. පන්දු 79කින් ශතකයක් රැස් කරගත් සුපිරි පිතිකරු බ්‍රෙන්ඩන් ටේලර් මෙම සටහනේ පළමු ස්ථානයේ තවමත් පසුවෙයි.

මැසකඩ්සා ශතකය වාර්තා කරගෙන වැඩි වේලාවක් ගතවීමට පෙර ටෙරිසායි මසකන්ඩා එල්ල කළ පහරක් උපුල් තරංග රැක ගැනීමත් සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම ගොඩ නැගූ ලකුණු 127ක දැවැන්ත සබඳතාවය නිමාවට පත්විය. ඒ වනවිට මසකන්ඩා පන්දු 57කින් ලකුණු 48ක් රැස් කරගෙන තිබුණි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පිළට හිසරදයක් බවට පත්ව තිබූ හැමිල්ටන් මැසකඩ්සා දවා ගැනීමට වනිඳු හසරංගට හැකියාව ලැබුණි. ඒ නුවන් ප්‍රදීප් විසින් දුවගොස් රැකගත් විශිෂ්ට උඩපන්දුවක් නිසාවෙනි.

මෙම දැවී යාමත් සමඟ සිම්බාබ්වේ කණ්ඩායමේ ලකුණු වේගය තරමක් පහළ වැටුනද ඔවුන් සෑම කඩුල්ලක් වෙනුවෙන්ම කුඩා ලකුණු සබඳතා ගොඩ නැගීම නිසා අවසන් පන්දුවාරයේ දී ලකුණු 300 ඉලක්කය ඉක්මවා යෑමට අවස්ථාව උදාවිය. එහිදී නවක ක්‍රීඩක වනිඳු හසරංග සහ අර්ධ කාලීන පන්දු යවන්නෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන අසේල ගුණරත්න කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වූ අතර අනෙක් පන්දු යවන්නන්ට දැවැන්ත ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවිය.

තරගය අතරතුරදී ආබාධයකට ලක්වුණු නුවන් ප්‍රදීප් ඉන් අනතුරුව පන්දු යැවීමෙන් ඉවත් වීමද ශ්‍රී ලංකා පිළේ මෙම පසුබෑමට හේතුවක් විය. ඔහු ඒ වනවිට පන්දුවාර 6කදී ලකුණු 28කට එක් කඩුල්ලක් දවාගෙන තිබුණි. ශෝන් විලියම්ස් මැදපෙළ පිතිකරුවෙකු ලෙස රැස්කළ ලකුණු 43ත්, සිකන්ඩර් රාසා සහ පීටර් මුවර් ඉනිමේ අවසන් කොටසේදී දියත් කළ වේගවත් පිතිකරණ රටාවත් නිසා ඔවුන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 310ක් ලබා ගැනීමට හැකියාව උදාවිය.

ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන්ට මෙම තරගය ජය ගැනීම වෙනුවෙන් හිමිවූයේ සුළුපටු අභියෝගයක් නොවේ. ඒ ඕනෑම පිතිකරණ පාරාදීසයක දී වුවද ලකුණු 300කට වඩා වැඩි ඉලක්කයක් යනු සැබෑම අභියෝගයක් වන බැවිනි. කෙසේවෙතත් සුවහසක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා අද වාර්තාගත සබඳතාවයක් ගොඩ නංවමින් ශ්‍රී ලංකාවට සුපිරි ජයග්‍රහණයක් හිමිකර දුන්හ.

වාසනාවත්, දක්ෂතාවයත් එක සේ කැටිවුණු ඉනිමක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල අද තම මංගල එක්දින ශතකය ලෙස ලකුණු 102ක් වාර්තා කර ගත්තේය. ඒ හතරේ පහර 14ක් සමඟිනි. අද 16වැනි පන්දුවාරයේ දී කාල් මුම්බා යැවූ පන්දුවක් දික්වැල්ලගේ අත් ආවරණයේ දැවටී කඩුලු රකින්නා අතට ඇදී ගියත් විනිසුරු රැන්මෝර් මාර්ටිනස් එය දැවී යාමක් ලෙස සටහන් කළේ නැත. ඊට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායම පවා DRS අවස්ථාව ලබා නොගත්තේ දික්වැල්ල සතු වාසනා ගුණය මොනවට කියා පාමිනි. මීට අමතරව 18 වැනි පන්දුවාරයේ දී ශෝන් විලියම්ස්ගේ පන්දුවකට ලකුණු 64ක් ලබාසිටි දික්වැල්ල ලබාදුන් පහසු උඩපන්දුවක් ද සිම්බාබ්වේ පන්දු රකින්නන් නිවැරදිව රැකගත්තේ නැත.

තම සගයාගේ ඉනිමට නොදෙවෙනි සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක ද පුල් පහරවල් සහ ඩ්‍රයිව් පහරවල් රැසකගෙන් සමන්විත වූ අතිශය දර්ශනීය ඉනිමක් ක්‍රීඩා කළේය. හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සමඟින් ඔහු අද ලකුණු 116ක් ලබා ගැනීමට සමත් විය. ඒ ඔහුගේ මංගල එක්දින ශතකය ලෙසයි. 38 වැනි පන්දුවාරයේ දී සොලමන් මියර්ගේ හිසට ඉහළින් හයේ පහරක් එල්ල කළ ධනුෂ්ක ඉන් සෑහීමකට පත් නොවී නැවතත් හයේ පහරකට උත්සාහ දැරීමේදී ලැබුණු පහසු උඩපන්දුව කාල් මුම්බා බිම අත හැරීමෙන් පසු මීලඟ පන්දුවේදී ඔහුගේ කඩුල්ලම බිඳ දැමීමට ශෝන් විලියම්ස් සමත් විය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් රැස්කළ මෙම ලකුණු 229ක සුපිරි සබඳතාවය සූරියවැව ක්‍රීඩාංගණයේදී ගොඩ නැගුණු ඉහළම ලකුණු සබඳතාවය බවට ද පත්විය. ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් අනතුරුව තරගය ජයග්‍රහණය කරා ගෙන යෑමේ වගකීම භාරගත් කුසල් මෙන්ඩිස් සහ උපුල් තරංග නොබිඳුනු ලකුණු 75ක සබඳතාවයක් ගොඩ නංවමින් ජය තහවුරු කළහ. පසුගිය තරග කිහිපයේදීම ලකුණු අතර සිටිමින් ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් මිල කළ නොහැකි සේවයක් ඉටු කළ උපුල් තරංග අදත් නොදැවී ලකුණු 44ක් රැස් කළේය. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 28යි.

ශ්‍රී ලංකාව අද ලබාගත් මෙම සුපිරි ජයග්‍රහණය ඔවුන් මව්බිමේ දී ලකුණු 300ට වැඩි ඉලක්කයක් හඹාගොස් ජයගත් ප්‍රථම අවස්ථාව ලෙස ද වාර්තා පොතේ පිටු අතරට එක්විය. එම ඓතිහාසික තරගයේ වීරයා සම්මානය හිමිවූයේ ප්‍රහාරාත්මක පිතිකරු ධනුෂ්ක ගුණතිලකටයි. ශ්‍රී ලංකා පිළ මේ වනවිට සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේදී ද තරග 2 – 1ක් ලෙස ඉදිරියෙන් පසුවෙයි. තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට උපකාරී විය හැකි සිව්වැනි එක්දින තරගය ලබන 8 වැනිදා සූරියවැව ක්‍රීඩාංගණයේදීම ආරම්භ වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට 

Zimbabwe - BattingToss: Sri Lanka
Hamilton Masakadzac Pradeep b Hasaranga111 (98)
Solomon MireLBW b Pradeep 13 (21)
Tarisai Musakandac Tharanga b Gunarathne48 (57)
Craig ErvineLBW b Hasaranga16 (24)
Sean Williamsb Gunarathne43 (47)
Malcolm WallerLBW b Malinga17 (24)
Sikandar RazaNot Out25 (17)
PJ Moorc Mendis b Sandakan24 (11)
Graeme CremerRun Out0 (0)
Carl MumbaNot Out2 (2)
Tendai Chatara
TotalExtras (11)310/8 (50 Overs)
Sri Lanka - BowlingOMRW
Lasith Malinga90711
Nuwan Pradeep61281
Dushmantha Chameera70340
Lakshan Sandakan100731
Wanindu Hasaranga70442
Asela Gunarathne 101532
Danushka Gunathilaka1050
Sri Lanka - BattingToss: Sri Lanka
Niroshan Dickwellac Williams b Waller102 (116)
Danushka Gunathilakab Williams116 (111)
Kusal MendisNot Out28 (25)
Upul TharangaNot Out44 (32)
Angelo Mathews
Asela Gunarathne
Wanindu Hasaranga
Dushmantha Chameera
Lakshan Sandakan
Lasith Malinga
Nuwan Pradeep
TotalExtras (22)312/2 (47.2 overs)
Zimbabwe - BowlingOMRW
Carl Mumba6.20360
Tendai Chatara60470
Sikandar Raza100550
Graeme Cremer70540
Sean Williams80631
Malcolm Waller80321
Solomon Mire20190