ටෝකියෝ සිහිනය අභියස සිටින උස පැනීමේ වීරයා

583

උෂාන් තිවංක පෙරේරා කිව්වම මේ දවස්වල කවුද කියලා නොදන්න කෙනෙක් නැති තරම්. වර්තමාන මලල ක්‍රීඩා පිටියේ වඩාත්ම අවධානය දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන උෂාන් 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට ඉතා ආසන්නව සිටින ක්‍රීඩකයෙක්.

උස පැනීම ඉසව්වෙන් මේ දිනවල ඉහළ දස්කම් අතර සිටින උෂාන් දශක දෙකකට පසුව මෙරටට ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුවක් ගෙන ඒමට ද උෂාන් සමත්ව තියෙනවා.

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ උෂාන් 2019 පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේ උස පැනීමේ ඉසව්වේ ජාතික ශූරයා වීමට සමත් වූ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ ද ඔහුයි.

පසුව සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඇමරිකාව බලා පිටත්වූ උෂාන් තිවංක A&M University of Commerce හී මලල ක්‍රීඩා කණ්ඩායම සමඟ එක්ව සිය ක්‍රීඩා පුහුණුවීම් කටයුතු නැවත ආරම්භ කළා.

බොහෝ මලල ක්‍රීඩකයන්ට අපහසු වසරක් වූ 2021 වර්ෂය අභියෝග මධ්‍යයේ අතිසාර්ථක වසරක් කර ගත් උෂාන් මාස පහක කාලයක් තුළ වාර්තාගත දක්ෂතා පහක් සිය නාමයට එක්කර ගත්තේ මංජුල කුමාරගෙන් පසු මෙරට උස පැනීමේ නාමය ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට තමන් සූදානම් බවට ඉඟි සපයමින්.

උෂාන් 2021 ආරම්භ කරන්නේ උස පැනීම ඉසව්වෙන් මීටර් 2.21ක දස්කමක් දක්වලා ජයග්‍රහණයක් සමඟින්. පසුව පෙබරවාරි මාසයේ පැවති Lone Star Conference ගෘහස්ථ තරගාවලියට සහභාගි වුන උෂාන් මීටර් 2.25ක දක්ෂතාවයක් දක්වලා මංජුල කුමාර පිහිටුවා තිබ්බ ගෘහස්ථ ජාතික වාර්තාව බිඳ හෙළනවා.

එම වාර්තාව පිහිටුවා මාසයක් ගතවීමටත් පෙර නැවතත් ක්‍රියාත්මක වූ උෂාන් තවත් ගෘහස්ථ තරගාවලියක දී උස පැනීම ඉසව්වේ මීටර් 2.26ක දස්කමක් පෙන්නුම් කරමින් තමන්ගේම වාර්තාව අභිබවා යන්නේ මෙරට ක්‍රීඩකයෙකු උස පැනීමේ ඉසව්වේ වාර්තා කළ දෙවැනි හොඳම දක්ෂතාවය ද සටහන් කරමින්.

එම දස්කම් නිසාවෙන් උෂාන් හට ඇමරිකානු ජවන/පිටිය සහ රට හරහා දිවීමේ පුහුණුකරුවන්ගේ සංගමය විසින් පිරිනමන දෙවැනි කාණ්ඩයේ ගෘහස්ථ පිටිය ක්‍රීඩකයා (Division II Indoor National Men’s Field Athlete of the Year) සම්මානය ද හිමි වුනා.

ගෘහස්ථ කාලසීමාවෙන් පසු මාර්තු මාසයේ පැවති Texas Relays Championship හී උස පැනීමේ තරගාවලියට සහභාගි වූ උෂාන් තිවංක මීටර් 2.28ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් වසර 17කට පෙර මංජුල කුමාර විසින් පිහිටුවා තිබූ එළිමහන් ජාතික වාර්තාව බිඳ හෙළීමට ද සමත් වුනා.

මාස කිහිපයක් තුළ ඉතා ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ උෂාන් ඊයේ (09) පැවති Lone Star Conference එළිමහන් තරගාවලියේ උස පැනීමේ ඉසව්ව මීටර් 2.30ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් ජයග්‍රහණය කිරීමට සමත් වුනේ තමන්ගේම ජාතික වාර්තාව අභිබවා යමින්.

එමෙන්ම එම දක්ෂතාවයට ළඟා වූ පළමු දකුණු ආසියාතික ක්‍රීඩකයා වීමට ද උෂාන් සමත් වූ අතර මීට පෙර දකුණු ආසියානු ක්‍රීඩකයෙකු දැක්වූ ඉහළම දස්කම ලෙස සටහන්ව තිබුණේ 2018 දී ඉන්දීය ක්‍රීඩක ශංකර් විසින් මීටර් 2.29ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් පිහිටුවා තිබූ වාර්තාවයි.

උෂාන් මෙම වසර තුළ දැක්වූ වාර්තාගත දස්කම්,

  • උස පැනීම ගෘහස්ථ ජාතික වාර්තාව බිඳ හෙළීම – 2.25m 
  • උස පැනීම ගෘහස්ථ ජාතික වාර්තාව නැවත බිඳ හෙළීම – 2.26m 
  • උස පැනීම ජාතික වාර්තාව බිඳ හෙළීම – 2.28m 
  • උස පැනීම ජාතික වාර්තාව නැවත බිඳ හෙළීම – 2.30m 
  • දකුණු ආසියානු වාර්තාව බිඳ හෙළීම – 2.30m

උෂාන් දැක්වූ දක්ෂතා මෙම වසර තුළ ලොව වාර්තා වූ තෙවැනි හොඳම දස්කම සමකිරීමට සමත් වීම ද මෙරට ක්‍රීඩකයෙකු ලැබූ විශාල ජයග්‍රහණයක්. 

නමුත් උෂාන් හට ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට සිය දක්ෂතාවයන් තවත් වැඩි දියුණු කරගැනීමට සිදු වෙනවා. ලෝක දස්කම් අතර තෙවැනි තැන පසුවූවත් ඔලිම්පික් ප්‍රසාද ලකුණු සටහනේ උෂාන්ට හිමිවන්නේ 61 වැනි ස්ථානයයි.

තවත් ක්‍රීඩා පුවත්:

ඔහුට ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවමින් සුදුසුකම් ලබා ගැනීමට තවත් මීටර් 0.03ක එනම් මීටර් 2.33ක උසක් තරණය කිරීමට සිදු වන අතර ප්‍රසාද ලකුණු මත සුදුසුකම් ලබා ගැනීමට නම් අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය විසින් ශ්‍රේණිගත කළ ඉහළ ශ්‍රේණියේ තරගාවලියක දී ඉහළ දස්කමක් දැක්විය යුතුයි.

නමුත් මාස 05 වැනි කෙටි කාලයක් තුළ දී උෂාන් අත්කරගත් ප්‍රගතිය බලන විට ඔහුට ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවමින් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට හැකිවෙතැයි යන විශ්වාසය බොහෝ දෙනා තුළ ඇත.

මෙම අභියෝගය ජය ගැනීමට උෂාන්ට ඇත්තේ තවත් මාස දෙකකටත් වඩා අඩු කාලයක් වන අතර ඔහු මෙම මාසය තුළ දී තවත් මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගී වීමට නියමිතව ඇත.

ඔහුගේ ඉදිරියේ ඇති අභියෝග සියල්ල ජය ගනිමින් 2021 ටෝකියෝ ඔලිම්පික් වරම් ලබා ගැනීමට උෂාන් හට අවශ්‍ය සියලූම ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අප සුබ පතන්නෙමු.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<