ක්‍රිශාන්, විශ්ව සහ කවිඳු මොරටු රන් සටන වර්ණවත් කරයි

72nd Battle of the Gold

133
72nd Battle of the Golds - Day 1

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර 72 වැනි වරටත් පැවැත්වෙන රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී අර්ධ ශතක ත්‍රිත්වයක් රැස් කිරීමට ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වුනා.  

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී සුමංගල විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 282ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් තරගයේ පළමු දිනය අවසන් වන විට මොරටු විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 23ක් ලබා සිටිනවා.   

72nd Battle of the Gold, මොරටුව, 29-30 මාර්තු 2024 

  • කාසියේ වාසිය – මොරටු විද්‍යාලය 
  • ක්‍රීඩාංගණය – ද සොයිසා ක්‍රීඩාංගණය, මොරටුව.  

ශ්‍රී සුමංගල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: විදූශ පීරිස් (නායක), ක්‍රිශාන් එරංග, දුරංක සිල්වා, රුසිත් ජයවර්ධන, විශ්ව ලහිරු, කවිඳු ගයාත්‍ර (කඩුලු රකින්නා), නේක්ෂ ඉද්දමල්ගොඩ, සෙනිර ලිත්මින්, රසික ඩිල්ශාන්, මන්මිත දුල්රාන්, මෙවිඳු කුමාරසිරි. 

මොරටු මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: මහිත් අප්පුහාමි, විහඟ නිම්සර, ෂෙහාර සංදේශ්, හිමෂ් තරුශ්ක, ඉසුරු නිදර්ශන, දෙනෙත් සිතුමිණ (කඩුලු රකින්නා), නිශිත දුලාංජන, මලිත් පෙරේරා, සංජන සෙනෙවිරත්න, කාංචන නිම්ශාන් සඳනෙත් යහම්පත්. 

කාසියේ වාසිය දිනා ගත් මොරටු ක්‍රීකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පිටියට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 282ක් ලබා ගනිමින් අත්හිටවූවා.  

ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක සබඳතාවක් සමඟින් එක් වූ මෙම ඉනිමේ දී ක්‍රිශාන් එරංග, විශ්ව ලහිරු සහ කවිඳු ගයාත්‍ර අර්ධ ශතක ඉනිම් එක් කිරීම කැපී පෙණුනා. 

ආරම්භක පිතිකරු ක්‍රිශාන් එරංග පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තා. ඊට අමතර ව විශ්ව ලහිරු පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 52ක් ද සහ කවිඳු ගයාත්‍ර පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 84ක් ද ලබා ගත්තා. 

ඊට අමතර ව දුරංක සිල්වා ද පන්දු 44ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.  

ශ්‍රී සුමංගල විද්‍යාලයීය ඉනිම පාලනය කිරීම සඳහා මොරටු විද්‍යාලයීය පන්දු යවන්නෝ 9 දෙනෙක් ම පිටියට කැඳවූ අතර ඒ අතුරින් නිශිත දුලංජන සහ සංජන සෙනෙවිරත්න කඩුලු 2ක් බැගින් ද සහ කාංචන නිම්සර, ඉසුරු නිදර්ශන සහ නායක මහිත් අප්පුහාමි කඩුල්ල බැගින් බිඳ හෙලුවා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මොරටු විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 23ක් ලබා සිටියා.  

නායක මහිත් අප්පුහාමි (1) එහි දී අසාර්ථක වූ අතර මේ වන විට විහඟ නිම්සර (12) සහ ෂෙහාර සංදේශ් (9) නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා. දැවී ගිය කඩුල්ලේ හිමිකාරීත්වය විශ්ව ලහිරු සතු වුනා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 282 (82.3) ක්‍රිශාන් එරංග 63, දුරංක සිල්වා 32, විශ්ව ලහිරු 52, කවිඳු ගයාත්‍ර 84, නේක්ෂ ඉද්දමල්ගොඩ 23, නිශිත දුලාංජන, 2/53, සංජන සෙනෙවිරත්න 2/73 

 

මොරටු විද්‍යාලය – පළමු ඉනිම කඩුල්ලක් දැවී 23 (15.0) විහඟ නිම්සර 12 

තරගයේ දෙවැනි දිනය (30) ක්‍රියාත්මක වේ.