මාතර පුරවරයෙන් පාසල් ක්‍රිකට් කරලියට පිවිස එහි ඉහලම ජයග්‍රහණයක් වෙනුවෙන් සටන් වදින මාතර සාන්ත සර්වේශස් ක්‍රීඩකයන් මෙවරද සමස්ත ලංකා 19න් පහල පළමු කාණ්ඩයේ පාසල් ක්‍රිකට් තරගාවලිය තුල පෙරලියක් කිරීමේ සූදානමින් පසුවෙයි.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් වංශ කතාවේ කලු අශ්වයෝ – ලුම්බිණි විද්‍යාලය

ක්‍රිකට් ඉතිහාසයෙන් බිඳක්.

1897 වසරේ ආරම්භ වූ සාන්ත සර්වේශස් විද්‍යාලය සියවසකට අධික කාලයක් තුල සීඝ්‍ර දියුණුවක් ලබමින් මේ වනවිට මාතර ප්‍රදේශයේ ප්‍රධානතම සිප්හලක් බවට පත්ව තිබේ.

මෙරට පමණක් නොව ලෝක ක්‍රිකට් කරලියද නව මානයකට යොමු කිරීමේ පුරෝගාමියෙක් වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක සනත් ජයසූරිය අභිමානවත් සර්වේශස් ආදී සිසුවෙකි. ඊට අමතරව ජාතික කණ්ඩායමට එක්වූ නවක වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත සහ ICC තරග විනිසුරු රුචිර පල්ලියගුරුගේ ද සාන්ත සර්වේශස් විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ සිසුන් වෙයි.

අශේන් දීමන්තගේ නායකත්වයෙන් පසුගිය තරගවාරයේ සිංගර් කුසලාන 19න් පහල ක්‍රිකට් තරගාවලියට එක්වූ ශාන්ත සර්වේශස් කණ්ඩායම එහි අර්ධ අවසන් පූර්ව වටය දක්වා ඉදිරියට පැමිණෙන්නට සමත් විය. අවසන් කණ්ඩායම් 16 වටයේදී කොළඹ තර්ස්ටන් විද්‍යාලයද පරාජය කරමින් ඉදිරියට පැමිණි ඔවුන්ට අර්ධ අවසන් පූර්ව තරගයේදී මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට නිතරග ජයක් ප්‍රදානය කරන්නට සිදුවීම හේතුවෙන් ඔවුන්ගේ ඉදිරි ගමන නිමා විය.

2016/17 තරග සමය

තරමක් අපහසු කාණ්ඩයක තරග වැදීමට සිදු වුවත් සාන්ත සර්වේශස් කණ්ඩායම සියලුම අභියෝග වලට අභියෝග කරමින් අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට උත්සාහ දරනු ඇත. මෙවර තරග වාරයට හොඳ ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වුවත් ඔවුන් මුහුණ දුන් පළමු ඉනිමේ පරාජයන් 2 තුලින් උගත් පාඩම් ඔවුන්ගේ ඉදිරි ගමනට උදව්වක් කර ගැනීමට ඔවුන්ට අවස්තාව පවතියි.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟ සාම්ප්‍රදායික සටනකින් මෙවර තරග වාරය ආරම්භ කල සාන්ත සර්වේශස් විද්‍යාලය එහිදී ත්‍රිත්ව කණ්ඩායමට ඉතා ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට සමත් විය. ඉතිහාසගත පළමු ඉනිමේ ජයක් ආසන්නයටම පැමිණි නමුත් ලකුණු 20ක් පසුපසින් නවතින්නට සිදුවුවත් ප්‍රබල ත්‍රිත්ව කණ්ඩායමට එල්ල කල අභියෝගය ඉතා ප්‍රශංසනීය උත්සාහයකි.

සාන්ත ජෝසප් විද්‍යාලය සමඟ පැවති තරගයේ පළමු ඉනිමේදී පිතිකරණය ඉතා පහල මට්ටමක පැවතුනත් දෙවන ඉනිමේදී මුදිත හෂාන් නොදැවී ලකුණු 96ක් ලබා ගත්තේ සිය කණ්ඩායම පූර්ණ තරග පරාජයකින් ගලවා ගනිමිනුයි. ඊට අමතරව එම තරගයේ ඉනිමකදී කඩුලු 5ක් දවා ගත් ශෂික දුල්ශාන් පන්දුවෙන්ද දස්කම් දක්වන්නට සමත් විය.

ප්‍රධාන ක්‍රීඩකයන්

ඩේල් ස්ටෙයින්යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන ශ්‍රී ලංකා 19න් පහල ජාතික කණ්ඩායමද නියෝජනය කල වේග පන්දු යවන්නෙකු වන තිලාන් ප්‍රසාන් මෙවර සාන්ත සර්වේශස් විදුහල නියෝජනය කරන ප්‍රධානතම බල කණුවක් ලෙස හැඳින්විය හැකියි. සිව්වන වසරේ ක්‍රීඩකයෙක් වන ඔහු පසුගිය වසරේ දවාගත් කඩුලු 30ක එකතුව අභිබවා යාමට මෙවර උත්සාහ දැරීම ප්‍රතිවාදී පිතිකරුවන්ට සුබදායී නොවනු ඇත. ඔහුගේ පන්දුවේ වේගය සහ දෝලනයට අමතරව ප්‍රසාන් පිත්තෙන් දක්වන දස්කම්ද කණ්ඩායමට වටිනාකමක් එක් කරයි. පසුගිය වසරේ ලකුණු 440ක් ලබාගෙන ඇති ඔහු මෙවර පිත්තෙන්ද වැඩි දායකත්වයක් සපයනු ඇති බව පුහුණුකරුවන්ගේ විශ්වාසයයි.

සිව්වන වසරේ ක්‍රීඩකයෙක් වන නායක ඉසුරු උදයංග මැදපෙළ පිතිකරුවෙක් ලෙස කටයුතු කරයි. සර්වේශස් පිතිකරණ ලැයිස්තුවට ස්ථාවරත්වයක් ගෙන දෙමින් පසුගිය වසරේ ලබා ගත් ලකුණු 220 මෙවර තවත් ඉහල දමා ගැනීමට ඔහු උත්සාහ දරනු ඇත.

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ සිට මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට පැමිණි මුදිත හෂාන්ගේ අත්දැකීම් මෙවර සර්වේශස් කණ්ඩායමට විශාල ශක්තියක් වනු ඇත. පසුගිය තරග වාරයේදී සාන්ත සිල්වෙස්තර විද්‍යාලය වෙනුවෙන් ලකුණු 670ක් ලබා ගෙන ඇති මුදිත මෙවර තරග වාරය ආරම්භයේදීම නොදැවී රැස්කළ ලකුණු 96 තවත් සාර්ථක තරග වාරයක පෙර ලකුණක් ලෙස හැඳින්විය හැකියි.

Photo Album: St. Servatius’ College Cricket Team Preview 2016/17

පුහුණු කාර්ය මණ්ඩලය

හිටපු ගුවන් හමුදා පුහුණුකරු රොෂාන් ආරියතිලක මෙවර සාන්ත සර්වේශස් විද්‍යාලයේ පුහුණුකරු ලෙස කටයුතු කරයි. විනය පිලිබඳ දැඩි සැලකිල්ලක් දක්වන පුහුණුකරුවකු ලෙස ප්‍රකට ඔහු මෙවර කණ්ඩායම පසුගිය තරග වාරයේ නැවතුනු ස්ථානයෙන් ඉදිරියට ගෙන යාමට ඉහල උත්සාහයක් දරනු ඇත. ගුවන් හමුදා කණ්ඩායම සහ මාතර රාහුල විද්‍යාල කණ්ඩායම පුහුණු කරමින් ඔහු ලද අත්දැකීම් සහ විනයවත් ක්‍රමවේද භාවිත කරමින් ඔහු තම ආධිපත්‍ය සර්වේශස් කණ්ඩායම ඉදිරියට ගෙන යාමට භාවිත කරන බවක් දක්නට ලැබේ.

2011/12 තරග වාරයේ සිට සාන්ත සර්වේශස් කණ්ඩායම් භාර ආචාර්ය වරයා ලෙස කටයුතු කරන G.H. නයනානන්ද ද සිල්වා මහතා මේ වසරේද එම තනතුරේ වගකීම දරයි.

සාරාංශය

ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා සමබර සංචිතයකින් සමන්විත ශාන්ත සර්වේශස් කණ්ඩායමට දැඩි විනයක් අපේක්ෂා කරන පුහුණුකරුවකුගේ මගපෙන්වීම ලැබීමත් සමඟ වඩාත් ගුණාත්මක භාවයකින් යුත් බල ඇණියක් ලෙස ඉදිරියට යමින් සාර්ථක මූලික වටයකින් අවසන් වටයට සුදුසුකම් ලබා පෙර වසරට වඩා ඉදිරියට යාමට උත්සාහ දරනු ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට