මලියදේව දළ ඇතුන්ට එක්දින ශූරතාව

12th Battle of the Tuskers

142
12th Battle of the Tuskers

කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලය සහ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය අතර 12 වැනි වරටත් පැවැති “දළ ඇතුන්ගේ” සටන එක්දින සීමිත පන්දුවාර වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් මලියදේව ආදර්ශ විද්‍යාලය කඩුලු 3කින් ජයග්‍රහණය කළා.  

කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 173ක් ලබා ගත් අතර එම ඉලක්කය කඩුලු 7ක් පමණක් දැවී සපුරා ගැනීමට මලියදේව ආදර්ශ ක්‍රීඩකයෝ සමත් වූවා.  

දෙවිදුහල් අතර පැවැති දෙදින තරගය විසඳුමකින් තොරව අවසන් වූ අතර එහි වැඩි වාසි හිමිකර ගත්තේ මලියදේව ආදර්ශ මහා විද්‍යාලයයි.  

Battle of the Tuskers, කුරුණෑගල, 10, පෙබරවාරි 2024 

  • කාසියේ වාසිය – ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය 
  • ක්‍රීඩාංගණය – වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණය, කුරුණෑගල

කණ්ඩායම් 2 ම මෙම තරගයට එක් වුණේ එක් වෙනස්කමක් බැගින් සිදු කරමිනුයි. ඒ අනුව මලියදේව ආදර්ශ මහා විද්‍යාලය වෙනුවෙන් දෙදින තරගයට ක්‍රීඩා කළ ඉෂාන් කාන් වෙනුවට දිනූෂ අභයරත්න නම් කර තිබූ අතර ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් දෙදින තරගය හා එක් වූ කසිනු ඕදිත වෙනුවට ආකාශ් ඉඳුරංග එක් කර තිබුණා.  

මලියදේව ආදර්ශ විදයාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: නිපුන් මෙන්ඩිස් (නායක), සයුරු ජයතිලක, රජිත් සමරසිංහ (කඩුලු රකින්නා), අශිංෂ ඉඳුසර, ඉසුරු අංජන, දිනුක් රත්නායක, විහඟ විමුක්ති, මෙතුල් ජයසිංහ, බූසිත් එරංග, පුබුදිත කුමාරසිරි, දිනූෂ අභයරත්න 

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: සිතිජ විජේරත්න (නායක), එරෝෂ් පුලස්ති, සඳරු දිසානායක, පසන් සඳනායක, පසිඳු පලිපාන (කඩුලු රකින්නා), මලිත් නෙත්සිරි, භාසිත පත්මකුමාර, සත්රුක් මෙත්මිණදිනෙත් මලීෂ, යසිරු ආටිගල, ආකාශ් ඉඳුරංග. 

කාසියේ වාසිය දිනා ගත් මලියදේව ආදර්ශ විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 173ක් ලබා ගත්තා. 

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සත්රුක් මෙත්මිණ. ඔහු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා. ඔහුට අමතර ව පසිඳු පලිපාන පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ද සහ ආරම්භක පිතිකරු එරෝෂ් පුලස්ති පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා. 

එම ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක සබඳතාවක් එක් කිරීමට එරෝෂ් පුලස්ති සහ පසිඳු පලිපාන සමත් වූවා.  

කඩුලු දවා ගැනීමේ දී නිපුන් මෙන්ඩිස් ලකුණු 41කට කඩුලු 3ක් දවා ගත් අතර දිනුක් රත්නායක ලකුණු 42කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව සයුරු ජයතිලක, විහඟ විමුක්ති සහ බුසිත් එරංග කඩුල්ල බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මලියදේව ආදර්ශ මහා විද්‍යාලයීය පිතිකරුවෝ ආරම්භයේ සිට ම ස්ථාවර රිද්මයකින් පිතිහරඹයේ යෙදුණා. ඒ අතුරින් ආරම්භක පිතිකරු රංජිත් සමරසිංහ පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තා. එය මෙම තරගයේ පිතිකරුවෙක් රැස් කරනු ලැබූ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.  

ඊට අමතර ව විහඟ විමුක්ති පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා ගත්තා. ඔහු නායක නිපුන් මෙන්ඩිස් හා එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 54ක සබඳතාවක් එක් කළා.  

නිපුන් මෙන්ඩිස් පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 31ක්. ඊට අමතර ව බූසිත් එරංග පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 4ක සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා ගත්තා. 

කඩුලු දවා ගැනීමේ දී මලිත් නෙත්සිරි සහ සඳරු දිසානායක කඩුලු 2 බැගින් දවා ගත් අතර ආකාශ් ඉඳුරංග සහ යසිරු ආටිගල කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය – සියලුම දෙනා දැවී 173 (49.4) එරෝෂ් පුලස්ති 28, පසිඳ පලිපාන 30, සත්රුක් මෙත්මිණ 35, දිනුක් රත්නායක 2/42, නිපුන් මෙන්ඩිස් 3/41
  • මලියදේව ආදර්ශ මහා විද්‍යාලය – කඩුලු 7ක් දැවී 175 (45.5) රජිත් සමරසිංහ 66, විහඟ විමුක්ති නොදැවී 31, නිපුන් මෙන්ඩිස් 31, බූසිත් එරංග නොදැවී 21, සඳරු දිසානායක 3/43, මලිත් නෙත්සර 2/28

මලියදේව ආදර්ශ මහා විද්‍යාලයට කඩුලු 3ක ජයක්.  

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – පසිඳු පලිපාන (ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය) 
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – සයුරු ජයතිලක (මලියදේව ආදර්ශ මහා විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – පසිඳු පලිපාන (ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය)
  • තරගයේ වීරයා – විහඟ විමුක්ති (මලියදේව ආදර්ශ මහා විද්‍යාලය)

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<