යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවයේ පළමු දිනයේම වාර්තා රැසක්

57 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය 2021

309

අද (22) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ 57 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවයේ පළමු දිනය අවසන් වන විට සහය දිවීමේ වාර්තා හයක් අලුත් කිරීමට යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

ජාතික මලල ක්‍රීඩා පිටියේ විශාලතම මලල ක්‍රීඩා සංචිතයට හිමිකම් කියන යුද හමුදාවේ වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලිය මෙරට ක්‍රීඩා පිටියේ ප්‍රධානතම තරගාවලියක් ලෙස හැඳින්විය හැකි අතර මෙවර තරගාවලිය දින පහක් පුරාවට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

අද දිනය යුද හමුදා සහය දිවීමේ සැණකෙළිය සඳහා වෙන්වූ අතර පැමිණි ආරාධිත අමුත්තන් පිළිගැනීමෙන් අනතුරුව යුද හමුදා ධජයන් ඔසවා යුද හමුදා ගීතය ගායනා කර ගිනිසිළුව දැල්වීමෙන් අනතුරුව 57 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය නිල වශයෙන් ආරම්භ වුනා.

විවිධ කාණ්ඩ යටතේ පැවති සහය දිවීමේ ඉසව් සඳහා ජාතික තලයේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වී සිටීම නිසාවෙන් අද දිනයේ ඉතා උණුසුම් තරග නිමා කිරීම් කිහිපයක්ම දැක ගැනීමට හැකි වුනා.

දිනය පුරාවට පැවති උණුසුම් ඉසව්වන් කිහිපයකින් පසු සහය දිවීමේ සැණකෙළිය අවසන් වන විට නව තරගාවලි වාර්තා හයක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වීම කැපී පෙනුණා.

  • පිරිමි මීටර් 200 X4 – මිනිත්තු 1:23.71
  • පිරිමි medly සහය දිවීම – මිනිත්තු 1:50.14
  • කාන්තා 100 X4 – තත්පර 47.33
  • කාන්තා 200 X4 – මිනිත්තු 1:39.10
  • කාන්තා medly සහය දිවීම – මිනිත්තු 2:08.99
  • කාන්තා 1500 X4 – මිනිත්තු 19:53.56

තරගාවලියේ දෙවැනි දිනය වන හෙට දිනයේ 57 වැනි යුද හමුදා මලල ක්‍රීඩා උළෙලේ සාමාන්‍ය ඉසව් ආරම්භ වීමට නියමිතව ඇති අතර කාන්තා හා පිරිමි උස පැනීම සහ දුර පැනීම අවසන් තරග සහ කාන්තා රිටි පැනීම අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වසංගතය නිසාවෙන් එක් දිනකට පැවැත්වෙන තරග ගණන සීමා කර ඇති නිසාවෙන් මෙවර තරගාවලිය සිකුරාදා (26) දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ ඉදිරි තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<