නාවික හමුදාවට කාන්තා ක්‍රිකට් ශූරතාවයක්

SLC ආරාධිත අන්තර් සමාජ කාන්තා T20 තරගාවලිය 2022

144

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය අද (15) කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර පැවති එම තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් ලබා ගත් නාවික හමුදාව ශූරතාවය දිනා ගන්නට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් නාවික හමුදාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 121ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම දියත් කළ ගුවන් හමුදාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 113ක් පමණයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • නාවික හමුදාව – උමේෂා තිමාශිනි, ප්‍රසාදිනී වීරක්කොඩි (කඩුලු රකින්නිය), සත්‍ය සංදීපනී, හංසිමා කරුණාරත්න (නායිකාව), නිලක්ෂනා සඳමිණි, තාරිකා සෙව්වන්දි, මදුරි සමුදිකා, මෙනුකා හේරත්, චන්දිමා ගුණරත්න, චේතනා විමුක්ති, එච්. කේ. දැහැමි.
  • ගුවන් හමුදාව – යසෝදා මෙන්ඩිස්, චමරි පොල්ගම්පොල, ලිහිණි අප්සරා, ඩිලානි මනෝදරා (කඩුලු රකින්නිය), මලකි මදාර, සඳුනි අබේවික්‍රම, ඉනෝශි ප්‍රනාන්දු, චතුරාණි ගුණවර්ධන (නායිකාව), හර්ෂනී විජේසූරිය, තාරුකා ෂෙහානි, රුචී සමරසිංහ.

පළමුව පන්දුවට පහර දුන් නාවික හමුදා කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 39ක් තුල දවා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් වුනා. අංක 4 පිතිකාරිණිය ලෙස පිටියට පැමිණි හංසිමා කරුණාරත්න (ලකුණු 25ක්) සහ නිලක්ෂනා සඳමිණි (ලකුණු 21ක්) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවයක් ගොඩනැංවූවා. එම සබඳතාවය මේ තරගය තුල නාවික හමුදා ඉනිමේ වාර්තා වුනු හොඳම සබඳතාවය වුනා.

ඔවුන්ගේ පසුපෙළ සවිමත් කළ මදුරි සමුදිකා පන්දු 14ක් තුල වේගවත් ලකුණු 23ක් ලබාගෙන නාවික හමුදා ලකුණු සටහන 121ක් දක්වා රැගෙන ගියා. නාවික හමුදාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ආරම්භක පිතිකාරිණිය ලෙස ක්‍රීඩා කළ උමේෂා තිමාශිනි පන්දු 28ක් තුල 4 පහර 4ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 30ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී රුචී සමරසිංහ ලකුණු 19කට කඩුලු 3ක් දවා ගන්නා විට හර්ෂනී විජේසූරිය ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 122ක ඉලක්කයක් හඹා ගිය ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පන්දුවාර 13කුත් එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 68ක් ලබාගෙන සිටියා.

ඔවුන්ගේ මැදපෙළ පිතිකාරිණියක් වන ඩිලානි මනෝදරා පන්දු 34ක් තුල ලකුණු 40ක් ලබාගෙන හොඳ ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් ක්‍රීඩා කළත්, ඇයගේ එම හුදකලා ඉනිම පමණක් ඔවුන්ගේ ජය තහවුරු කිරීමට ප්‍රමාණවත් වුනේ නැහැ. ඇයගේ එම ඉනිම සඳහා 4 පහර 6ක් ඇතුළත් වුනා.

පන්දු යැවීමේ දී මදුරි සමුදිකා සහ සත්‍යා සංදීපනී කඩුලු 2ක බැගින් දවාගෙන නාවික හමුදා ජය තහවුරු කිරීම වෙනුවෙන් පන්දු යැවීමෙන් දස්කම් අතරට පැමිණියා.

  • නාවික හමුදාව – 121/6 (20): උමේෂා තිමාශිනි 30, හන්සිමා කරුණාරත්න 25, මදුරි සමුදිකා 23*, නිලක්ෂනා සඳමිණි 21, රුචී සමරසිංහ 3/19, හර්ෂනී විජේසූරිය 2/19
  • ගුවන් හමුදාව – 113/7 (20): ඩිලනි මනෝදරා 40, මදුරි සමුදිකා 2/21, සත්‍යා සංදීපනී 2/23

නාවික හමුදාවට ලකුණු 8ක තියුණු ජයක්

  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – මදුරි සමුදිකා (නාවික හමුදාව)
  • තරගාවලියේ හොඳම පන්දු යවන්නිය – හංසිමා කරුණාරත්න (නාවික හමුදාව)
  • තරගාවලියේ හොඳම පිතිකාරිණිය – ඉමල්කා මෙන්ඩිස් (යුද හමුදා ක්‍රීඩා සමාජය)
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – සත්‍යා සංදීපනී (නාවික හමුදාව)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<