200m පළමු තැන සර් ජෝන් කොතලාවල සහ ආනන්ද විදුහල්වලට

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය 2022

162

2022 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සුදුස්සන් තේරීම වෙනුවෙන් පැවැත්වෙන පළමු ජාතික යොවුන් තේරීම් තරගාවලිය අද (13) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

කොරෝනා වසංගතය නිසාවෙන් තරගාවලිය දැඩි සෞඛ්‍යාරක්ෂිත නීතිරීති අනුගමනය කරමින් පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කර තිබුණේ සීමිත ඉසව්ව කිහිපයක් ඉලක්ක කරගනිමිනුයි.

තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ දී ඔවුන් 2019 වසරේ දී දැක්වූ දක්ෂතාවලට අමතරව උපන් වර්ෂය ලෙස 2005 සහ 2006 සලකා තිබුණා.

දිනයේ පැවති උණුසුම් තරග ඉසව්වක් වූ මීටර් 200 බාලක සහ බාලිකා තරගවලින් ප්‍රථම ස්ථාන දිනා ගන්නට පිළිවෙළින් කොළඹ ආනන්ද විදුහල නියෝජනය කළ එම්. ජේ. විජේසිංහ සහ සර්. ජෝන් කොතලාවල විදුහල නියෝජනය කළ ප්‍රවින්දි දුනුසිංහ සමත් වුනා. ඔවුන් දෙදෙනා වාර්තා කළ දක්ෂතාවය දැක්වුණේ පිළිවෙළින් තත්පර 23.28ක් සහ 26.03ක්.

මීටර් 200 බාලිකා ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ධනනි කොඩිතුවක්කු (26.93) සහ මාතර සාන්ත තෝමස් විදුහලේ ගිමන්සා ශෂිනි (27.31) විසින් ජයග්‍රහණය කළා.

ගාල්ල මහින්ද විදුහලේ අයේෂ් මිහිරංග (23.86) සහ මහනුවර ත්‍රිත්ව විදුහලේ ඩබ්. එම්. එස්. ආර්. වනසේකර (23.90) විසින් මීටර් 200 බාලක ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා හිමිකම් කීවා.

මීටර් 800 බාලක සහ බාලිකා අවසන් ඉසව් ද අද දිනයේ පැවැත්වූ අතර එහි දී ගම්පොල වික්‍රමබාහු මධ්‍ය මහා විදුහල නියෝජනය කළ නිර්මාලි වික්‍රමසිංහ මිනිත්තු 2:14.45 දක්ෂතාවක් සමඟ ප්‍රථම ස්ථානය දිනා ගත්තා. බලවත්ගම මහා විදුහලේ පී. ජී. එන්. මදුමාධවී (2:30.43) සහ වත්තල ලයිසියම් විදුහලේ සෙත්මි කෞෂිකා (2:31.90) විසින් පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගත්තා.

මීටර් 800 බාලක අංශයේ ප්‍රථම ස්ථානය මිනිත්තු 2:04.12 දක්ෂතාවයක් දැක්වූ මහනුවර ත්‍රිත්ව විදුහලේ එස්. එන්. රණවීර විසින් ජයග්‍රහණය කරද්දී, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විදුහලේ එම්. එන්. වයි. පී. එම්. සේනානායක (2:05.38) සහ මහනුවර ශ්‍රී සුමංගල විදුහලේ ලලන්ත හේරත් (2:05.63) දෙවැන්නා සහ තෙවැන්නා ලෙස ඉසව්ව නිමා කළා.

මෙම ඉසව්වලට අමතරව අද පැවති අනෙකුත් ඉසව්වලින්;

  • රිටි පැනීම බාලිකා: එස්. ස්වර්ණා – මීටර් 2.60 (යාපනය මහජන විදුහල)
  • දුර පැනීම බාලක: හංසක සංදීප – මීටර් 6.67 (වත්තල ලයිසියම් විදුහල)
  • දුර පැනීම බාලිකා: මදුෂානි හේරත් – මීටර් 5.73 (මොනරාගල නාන්නපුරාව මහා විදුහල)
  • යගුලිය දැමීම බාලක: රන්හිඳ අල්විස් – මීටර් 17.74 (පානදුර රාජකීය විදුහල)
  • යගුලිය දැමීම බාලිකා: නෙෂාදි කරුණාරත්න – මීටර් 11.81 (හොරණ තක්ෂිලා මධ්‍ය මහා විදුහල)
  • හෙල්ල විසිකිරීම බාලක: සක්‍ය කුමාර – 52.67 (වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විදුහල)
  • මීටර් 100 කඩුලු පැනීම බාලක: හිරුණ ද සිල්වා – තත්පර 15.38 (මරදාන සාන්ත ජෝසප් විදුහල)
  • උස පැනීම බාලක: ජී. එල්. අරතවිඳු – මීටර් 1.96 – (කොළඹ ඩී. එස්. සේනානායක විදුහල)

ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් වුනා.

>>දිනයේ සම්පූර්ණ ප්‍රතිඵල වාර්තා සඳහා පිවිසෙන්න <<

තරගාවලියේ දෙවැනි දිනය හෙට (14) පැවැත්වීමට නියමිතයි. ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය 2022 මාර්තු 01 වැනිදා සිට 04 වැනිදා දක්වා කටාර් හීදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟන්ම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<