මීටර් 100 ශූරයා මීටර් 200 ශූරයා දෙවැනි තැනට දමයි

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය 2022

271
Photo caption - 2019 වසරේ පැවති ජාතික කනිශ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ඡායාරූපයකි.

ඊයේ (13) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ “2022 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය” සඳහා සුදුස්සන් තේරීම වෙනුවෙන් පැවති පළමු ජාතික යොවුන් තේරීම් තරගාවලිය අද (14) සාර්ථකව නිමාවට පත්වුනා.

දෙවැනි දිනයේ වඩාත් අවධානයක් දිනා ගත් ඉසව්වක් වූ මීටර් 100 බාලක සහ බාලිකා තරගවලින් ප්‍රථම ස්ථානය දිනා ගන්නට ගාල්ල මහින්ද විදුහලේ අයේෂ් මිහිරංග සහ මහනුවර කොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo international school, Kandy) සේනකා ගුණරත්න සමත් වුනා.

බාලක අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගත් අයේෂ් විසින් දැක්වූ දක්ෂතාවය තත්පර 10.94ක් ලෙස සටහන් වුනා. ඔහු ඊයේ දිනයේ පැවති මීටර් 200 ඉසව්වේ දෙවැනි ස්ථානය සඳහා හිමිකම් කීවා. මීටර් 100 දෙවැනි ස්ථානය ඊයේ පැවති මීටර් 200 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත් කොළඹ ආනන්ද විදුහලේ එම්. ජේ. විජේසිංහ (11.31) විසිනුත්, තෙවැනි ස්ථානය මාතර ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ ඩී. අයි. වීරරත්න (11.48) විසිනුත් ජයග්‍රහණය කළා.

තත්පර 12.66ක් සමඟින් සේනකා විසින් මීටර් 100 බාලිකා අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගනිද්දී, රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ධනනි කොඩිතුවක්කු (12.71) විසින් දෙවැනි ස්ථානයත්, කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ රුවන්සා වීරක්කොඩි විසින් (12.99) විසින් තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

දිනයේ තවත් අවධානය දිනා ගත් ඉසව්වක් වූ මීටර් 400 ඉසව්වේ බාලක ප්‍රථම ස්ථානය දිනා ගන්නට ආර්. පී. ඩී. ඒ. ටී. රාජපක්ෂ සමත් වුනා. කෑගල්ල සර් ජෝන් කොතලාවල විදුහල නියෝජනය කරමින් ඔහු දැක්වූ දක්ෂතාවය තත්පර 50.45ක්. තර්ස්ටන් විදුහලේ පී. එස්. ජයතිලක විසින් දෙවැනි ස්ථානයත්, කුරුණෑගල සාන්ත ආනා විදුහලේ ආර්. ආර්. කේ. මදුරංග විසින් තෙවැනි ස්ථානයත් ජයග්‍රහණය කළා.

මීටර් 400 ඉසව්වේ බාලිකා අංශයේ ප්‍රථම ස්ථානය ද කෑගල්ල සර් ජෝන් කොතලාවල විදුහලෙන්ම වාර්තා වීම විශේෂත්වයක්. තත්පර 58.43ක දක්ෂතාවක් දැක්වූ ඊයේ පැවති මීටර් 200 ඉසව්ව ජයග්‍රහණය කළ ප්‍රවින්දි දුනුසිංහ විසින් ප්‍රථම ස්ථානය ඩැහැ ගනිද්දී, කරට කර සටනකින් පසු ගම්පහ වික්‍රමබාහු විදුහලේ නිර්මාලි වික්‍රමසිංහ (59.19) විසින් දෙවැනි ස්ථානයත්, වත්තල ලයිසියම් පාසලේ ශෙහාරා කරුණාරත්න (59.21) විසින් තෙවැනි ස්ථානයත් ජයග්‍රහණය කළා.

>> දෙවැනි දිනයේ සම්පූර්ණ ප්‍රතිඵල සටහන <<

මීට අමතරව අද පැවති මීටර් 400 කඩුලු මතින් දිවීමේ බාලක ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ මලිත් ශාමල් සමත් වුනා. ඔහු විසින් දැක්වූ දක්ෂතාවය තත්පර 58.59ක්. එමෙන්ම කවපෙත්ත විසි කිරීම බාලක ඉසව්වේ ප්‍රථම ස්ථානය කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ ඊ. බී. බී. සේනාරත්න (35.74) විසින් ද, මීටර් 1500 පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය ත්‍රිත්ව විදුහලේ එස්. එන්. රණවීර (4:17.35) විසින් ද ජයග්‍රහණය කළා. ඊයේ පැවති මීටර් 800 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ද රණවීර විසිනුයි.

කොරෝනා වසංගතය නිසාවෙන් දැඩි සෞඛ්‍යාරක්ෂිත නීතිරීති අනුගමනය කරමින් තරගාවලිය පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කර තිබුණේ සීමිත ඉසව්ව කිහිපයක් ඉලක්ක කර ගනිමිනුයි. තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ දී ඔවුන් 2019 වසරේ දී දැක්වූ දක්ෂතාවලට අමතරව උපන් වර්ෂය ලෙස 2005 සහ 2006 සලකා තිබුණා.

මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී පරිසාධන මට්ටම ඉක්මවා ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සෘජුවම 2022 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්නා එම ලැයිස්තුව තේරීම් කමිටුව විසින් ඉදිරියේ දී දැනුම් දෙනු ඇත.

පරිසාධන මට්ටම ඉක්මවා යෑමට නොහැකි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා එළඹෙන වසරේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය හරහා සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව හිමිවනවා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<