යොවුන් රග්බි ශූරයින්ට අනුශූරතාවය

660

වයස අවුරුදු 20න් පහළ ආසියානු යොවුන් සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල හොං කොං කණ්ඩායම හමුවේ අමිහිරි පරාජයකට මුහුණ දීමට සිදු වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය වසරේ දී ජයග්‍රහණය කළ ශූරතාවය මෙම වසරේ දී ද ජයග්‍රහණය කිරීමට තිබූ අවස්ථාව අහිමිව ගියේය.

ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් මහා තරගයට

වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලිය පසුගිය සිකුරාදා (04) හොං කොං රාජ්‍යයේ කිංග්ස් පාක් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර ඊට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම…

ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවත් අවසන් මහා තරගයේ සම්පූර්ණ මිනිත්තු 14ක කාලය පුරාවටම ඔවුන්ගේ සුපුරුදු ක්‍රීඩා විලාශයට අවතීර්ණ වන්නට ඔවුන් අපොහොසත් විය. හොං කොං කණ්ඩායම වැනි ප්‍රබල කණ්ඩායමක් හමුවේ තරග වැදීම අපහසු කාර්යයක් වුවත් අවාසනාවන්තදායක තත්වය වන්නේ තරගය තුළ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එකඳු උත්සාහක දිනුමක් හෝ වාර්තා කර ගැනීමට අපොහොසත් වීමයි.

සම්පූර්ණ කාලය: ශ්‍රී ලංකාව 00 – 36 (6T 3C) හොං කොං

තරගයේ ආරම්භක මොහොතේ පටන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉතා දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර ඒ අනුව අවශ්‍යම මොහොතේ දී දක්‍ෂතා අතරට පැමිණෙන්නට ඔවුන් අපොහොසත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා රටාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් හොං කොං ක්‍රීඩකයින් තරගයේ පළමු මිනිත්තු 5ක කාලය තුළ දී පමණක් උත්සාහක දිනුම් 3ක් වාර්තා කර ගැනීමට සමත් විය.

අනතුරුව තරගයේ පළමු අර්ධයේ අවසාන මිනිත්තු කිහිපයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දිනුක් අමරසිංහ ‘sin-bin’ කලාපය වෙත යොමු කෙරුණු අතර පළමු අර්ධය නිමාවට පත්වූයේ හොං කොං කණ්ඩායම ලකුණු 26-00ක් ලෙස තරගයේ පෙරමුණ ගනිමිනි.

තරගයේ දෙවන අර්ධයේ දී ද එතරම් වෙනසක් සිදුවූයේ නැත. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගය කණපිට පෙරළන්නට ඔවුන්ට හැකි සෑම උත්සාහයක්ම දැරුවත් ඒවා කිසිවක් සාර්ථක වූයේ නැත. දෙවන අර්ධයේ දී හොං කොං කණ්ඩායම වෙනුවෙන් පෝල් අල්ටයර් සහ ඩාෆී ඔලිවර් උත්සාහක දිනුම බැගින් වාර්තා කරගත් අතර ඒ අනුව 2017 වසරේ වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික යොවුන් රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට හොං කොං කණ්ඩායම සමත් විය.

ඒ අනුව සත්කාරක හොං කොං කණ්ඩායම තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම වසරේ දී අනුශූරතාවයෙන් සෑහීමකට පත්වන්නට සිදුවිය.

කෙසේ නමුත් ගියවර ජයග්‍රහණය කළ ශූරතාවය මෙවර ද ආරක්‍ෂා කර ගැනීමට නොහැකි වුවත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් තරගාවලිය පුරාවට දැක්වූ දක්‍ෂතා පිළිබඳව සතුටට පත්විය හැක.

නවීන් හේනකන්කානම්ගේ – දෙවැනි වැඩිම උත්සාහක දිනුම් ලාභියා

Asia Un20ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ නවීන් හේනකන්කානම්ගේ තරගාවලිය අවසන් කරනු ලැබුවේ තරගාවලියේ දෙවැනි වැඩිම උත්සාහක දිනුම් ලාභියා බවට පත්වෙමිනි. තරගාවලිය පුරාවට උත්සාහක දිනුම් 9ක් වාර්තා කරගන්නට ඔහු සමත් වූ අතර ඔහු දෙවැනි වූයේ උත්සාහක දිනුම් 11ක් වාර්තා කරගත් හොං කොං කණ්ඩායමේ ෆොන්ග් ෆුන්ග් හට පමණි. ඒ අනුව තරගාවලියේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජීවනාලිය බවට පත්වූයේ නායක නවීන් හේනකන්කානම්ගේ ය.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට