සුනිල සටනේ පළමු දිනය නන්දියන්ස්ලා වෙන්කර ගනී

55th Battle of the Blues

65

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර 55 වැනි වරටත් පැවැත්වෙන “සුනිල සංග්‍රාම” වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනයේ සියලු ගෞරව ලබා ගැනීමට සත්කාරක ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූවා. 

අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී (30) ආරම්භ වූ මෙම තරගයේ දී ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 94ක් පමණක් වන අතර තරගය පළමු දිනයට නතර කරන විට ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 149ක් ලබා සිටියා. ඒ අනුව දැනටමත් ඔවුන් ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 55ක් ඉදිරියෙන් සිටිනවා.   

Battle of the Blues, අම්බලන්ගොඩ, 30-31 මාර්තු 2024 

  • කාසියේ වාසිය – ශ්‍රී දේවානන්ද විද්‍යාලය 
  • ක්‍රීඩාංගණය – මහජන ක්‍රීඩාංගණය, අම්බලන්ගොඩ. 

ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: වනිත් ද සිල්වා (නායක), මයුර මල්ශාන්, දනිඳු ඉනෝෂ (කඩුලු රකින්නා), රවිඳු ද සිල්වා, සවීන් තියුනුවන්, සිතුම් විහඟ, චමෝද් චන්දූප, විහඟ මලිත්, සඳලු රශ්මික, මිනිඳු ඔෂද, කවීෂ් හංසක. 

ධර්මාශෝක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: රන්දුල් සමරහේවා (නායක සහ කඩුලු රකින්නා), ආකාශ් මෙන්ඩිස්, පසිඳු ජයකොඩි, සෙනිත හැළඹගේ, චානුක ද සිල්වා, සෙනුර සඳයුරු, ජිතිර සංසික, විශ්ව දිමුතු, පැතුම් මලිත, නෙතුජ බාසිත, ඉෂාන් අනුරාධ. 

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය කණ්ඩායමේ නායක වනිත් ද සිල්වා ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායමේ පළමු ඉනිම 37 වැනි පන්දුවාරය වෙද්දී අවසන් කිරීමට ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත් වූවා.  

එහි දී වැඩි වගකීමක් දැරුවේ ආරම්භක වේග පන්දු යවන්නන් දෙදෙනායි. දකුණතින් වේග පන්දු යැවූ විහඟ මලිත් සහ මිනිඳු ඔෂද දහවල් විවේකය වෙද්දී ධර්මාශෝක ඉනිමේ කඩුලු 7ක් ලකුණු 63ක් වෙද්දී නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූවා.  

දිවා විවේකයෙන් පසුව යැවුණ 12 වැනි පන්දුවාරයේ දී ධර්මාශෝක විද්‍යාලයීය ඉනිම ලකුණු 94කින් සීමා වූ අතර ඒ වෙද්දී මිනිඳු ඔෂද ලකුණු 34කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා බවට පත් වූවා. අනෙක් පසින් පන්දු යැවු විහඟ මලිත් ට හිමි වූ කඩුලු සංඛ්‍යාව 3ක්. ඒ සඳහ ඔහු ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 12ක් පමණයි.  

ඉනිමේ අනෙක් කඩුලු ද්විත්වය නායක වනිත් ද සිල්වා සහ රවිඳු ද සිල්වා අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.  

ධර්මාශෝක ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ මැදි පෙළින් පිටියට පිවිසි සෙනුර සඳයුරු. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා. ඊට අමතර ව පැතුම් මලිත ලකුණු 14ක් ද, නායක රන්දුල් සමරහේවා ලකුණු 13ක් ද සහ නෙතුජ බාසිත් ලකුණු 12ක් ද ලබා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ තේ විවේකය සඳහා තරගය නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 68ක් ලබා සිටියා. එම විවේකයෙන් අනතුරු ව යැවුණ 10 වැනි පන්දුවේ දී ඔවුන්ගේ පළමු කඩුල්ල අහිමි වූවා. 

ඒ වෙද්දී ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි මයුර මල්ශාන් සහ දනිඳු ඉනෝෂ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක සබඳතාවක් කර තිබුණා. ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් දැවී යන්නේ දනිඳු ඉනෝෂ. ඒ වෙද්දී ඔහු පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 42ක් ලබා සිටියා.  

තමන් මුහුණ දුන් 83 වැනි පන්දුවේ දී අර්ධ ශතකය වාර්තා කළ මයුර මල්ෂාන් ඉනිමේ 2 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 70ක් ලබා සිටියා.  

මයුර මල්ෂාන් සහ රවිඳු ද සිල්වා එක් ව 2 වැනි කඩුල්ලට ද ලකුණු 70ක සබඳතාවක් එක් කර තිබීම කැපී පෙනුනා. තරගය පළමු දිනයට අවසන් වෙද්දී රවිඳු ද සිල්වා (23) සහ සවීන් තියුනුවන් (0) නොදැවී පිටියේ රැදී සිටියා.  

ශ්‍රී දේවානන්ද ඉනිම පාලනය කිරිමට ධර්මාශෝක නායකයා පන්දු යවන්නෝ 8 දෙනෙක් ම යොදා ගත් අතර දැවී ගිය කඩුලු ද්විත්වයේ හිමිකාරීත්වය විශ්ව දිමුතු සහ සෙනිත හැළඹගේ සතු වූවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ධර්මාශෝක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 94 (36.1) සෙනුර සඳයුරු 31, පැතුම් මලිත 14, විහඟ මලිත් 3/12, මිනිඳු ඔසද 5/34 

ශ්‍රී දේවානන්ද විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 149 (43.0) මයුර මල්ෂාන් 70, දනිඳු ඉනෝෂ 42, රවිඳු ද සිල්වා නොදැවී 23, විශ්ව දිමුතු 1/20 

තරගය (31) දෙවැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.  

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<