56 වසරකට පසුව සුනිල මහා සංග්‍රාමයේ කිරුළ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට

53 වැනි සුනිල මහා සංග්‍රාමය 2022

1083
53rd Battle of the Blues
Image Credits - Range Eye Photography

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ ශ්‍රී දේවානන්ද විද්‍යාලය අතර පැවැත්වෙන සුනිල මහා පාසල් ක්‍රිකට් සංග්‍රාමය මෙවර 53 වැනි වරටත් අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී නිමා වුනේ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට ජය හිමි කරදෙමින්.

ඒ අනුව 1966 වසරට පසුව (වසර 56කට පසුව) ශ්‍රී දේවානන්ද විද්‍යාලය සුනිල සංග්‍රාමයේ දෙදින තරගයක් ජය ගත් පළමු අවස්ථාව මෙයයි.

1963 වසරේ සිට පැවත එන මේ මහා ක්‍රිකට් ගැටුමේ තරග 52න් තරග 10ක ජය ධර්මාශෝක විද්‍යාලය සතු වන විට, එක් තරගයක් (1966 දී එන්. යූ. අමරදාසගේ නායකත්වයෙන්) ශ්‍රී දේවානන්ද විද්‍යාලය ජයගෙන තිබුණු අතර ඔවුන් අද දිනයේ දී එම තරග ජයග්‍රහණයට තවත් එක් ජයග්‍රහණයක් එක් කරගත්තා. ඒ ශෙහාන් වික්‍රමසිංහගේ නායකත්වය යටතේයි.

රටේ පැවති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අවසන් වරට පාසල් දෙක මෙම දෙදින මහා තරගය සඳහා ක්‍රීඩා කළේ 2019 වසරේ දීයි. එම 52 වැනි සුනිල මහා සටන ලකුණු 240කින් ජය ගැනීමට ධර්මාශෝක විද්‍යාලය සමත් වුවත්, මෙවර පැවති තරගයේ දී තරගයේ ජය දෝලනාත්මක ස්වභාවයක් ගත්තේ කණ්ඩායම් දෙකම දක්ෂ ලෙස ක්‍රීඩා කළ නිසයි.

තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ධර්මාශෝක විද්‍යාලය තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා පන්දුවාර 43කුත් එක් පන්දුවක් තුළ සියල්ලන් දැවී ලකුණු 204ක් රැස් කරගැනීමට සමත් වුනා.

එහි දී නවීන් රසාංජන පන්දු 56ක දී ලකුණු 55ක් රැස් කිරීමට සමත් වන විට සෙනිත හැලඹගේ ලකුණු 42ක් ධර්මාශෝක ලකුණු පුවරුවට එක් කළා. හසිත රාජපක්ෂ ලකුණු 33ක් වාර්තා කරගත්තා.

පන්දු යැවීමේ දී ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් හසිඳු ප්‍රබෝද සහ වනිත් ද සිල්වා කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් වුනා. හසිඳු කඩුලු 4 දවා ගත්තේ ලකුණු 50කට වූ අතර වනිත් කඩුලු 4 දවා ගත්තේ ලකුණු 56කටයි.

පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී දේවානන්ද විද්‍යාලය සිය ඉනිමට සියල්ලන්ම දැවි ලකුණු 314ක් රැස් කිරීමට සමත් වුනා. එහි දී කාංචන ද ලිවේරා අගනා පිතිකරණයක නිරත වෙමින් පළමු දිනය තුළම තරගයේ වැඩි ගෞරවය ශ්‍රී දේවානන්ද විද්‍යාලය දෙසට නතු කර දුන්නා.

කෙසේ නමුත් ඔහු ඉතාමත් අවාසනාවන්ත ලෙස සිය ශතකය පෙනි පෙනී ලකුණු 98කට දැවී ගියා. ඔහුගේ එම සුපිරි ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 5ක් ඇතුළත් වුනු අතර කවීශ කල්පන සහ ලසිඳු ලක්ෂාන් අර්ධ ශතක රැස් කිරීමට සමත් වුනා.

ලකුණු 110ක අවාසියක් සහිතව සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ධර්මාශෝක විද්‍යාලය එම ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 207ක් වාර්තා කරගත්තා. එම ඉනිමේ දී ධර්මාශෝක විද්‍යාලයේ කිසිදු ක්‍රීඩකයෙකු හට අර්ධ ශතකයක් වාර්තා කරගැනීමට නොහැකි වීම කැපී පෙනුණා.

මනීශ රශ්මික ලකුණු 48කටත්, සෙනිත ලකුණු 43කටත් දවා ගැනීමට දේවානන්ද පන්දු යවන්නන් සමත් වුනු අතර එහි දී කවීශ සහ වනිත් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුනා.

ලකුණු 97ක පහසු ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු ශ්‍රී දේවානන්ද ක්‍රීඩකයින්ට හොඳ අභියෝගයක් එල්ල කිරීමට ධර්මාශෝක ක්‍රීඩකයින් සමත් වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස එක් අවස්ථාවක දී ලකුණු 49/6ක් ලෙස ඉතාමත් අසීරු තත්වයක පසුවන්නට දේවානන්ද ක්‍රීඩකයින්ට සිදු වුනා.

කෙසේ නමුත් ඉරූශ ආකාශ් ශ්‍රී දේවානන්ද ලකුණු සටහන නැවතත් ගොඩනංවමින් තම විද්‍යාලය ජයග්‍රහණය වෙත රැගෙන යමින් සිටිය දී උඩ පන්දුවක් හමුවේ ලකුණු 36කට දැවී ගියා. අවසානයේ දී ශ්‍රී දේවානන්ද විද්‍යාලය පන්දුවාර 21කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 85ක් රැස් කරගෙන සිටි අවස්ථාවේ දී ක්‍රීඩා පිටිය තුළට තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් පැමිණ ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් තරගය නවතාලීමට සිදු වුනා.

ඉන් අනතුරුව තරග තීරකවරයා, විනිසුරුවරුන් සහ විදුහල් දෙකේ විදුහල්පතිවරුන් අතර සිදු වූ සාකච්ඡාවෙන් පසුව ජයග්‍රහණය සඳහා ලකුණු 13ක් අවශ්‍යව සිටි ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙත තරගයේ ජය ලබා දීමට තරග සංවිධායකයින් කටයුතු කළා.

තරග සාරාංශය,

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම – 204 (43.1): නවීන් රසාංග 55, සෙනිත හලබගේ 42, හසිත රාජපක්ෂ 33, මලිත මෙන්ඩිස් 22, හසිදු ප්‍රබෝද 4/50, වනිත් ද සිල්වා 4/26.

ශ්‍රී දේවානන්ද විද්‍යාලය පළමු ඉනිම – 314 (47.5): කාංචන ද ලිවේරා 98, කවීශ කල්පන 64, ලසිදු ලක්ශාන් 55, මිතිල ප්‍රනාන්දු 23, මලිත මෙන්ඩිස් 3/37, මනීශ රශ්මික 3/68, සෙනිත හැලඹගේ 2/74.

ධර්මාශෝක විද්‍යාලය දෙවන ඉනිම – 207 (57.3): මනීශ රශ්මික 48, සෙනිත හැලඹගේ 43, චනක ජනංග 32, මලිත මෙන්ඩිස් 30*, කවීශ කල්පන 3/27, වනිත් ද සිල්වා 3/69, මිතිල ප්‍රනාන්දු 2/09.

ශ්‍රී දේවානන්ද විද්‍යාල දෙවන ඉනිම – 85/7 (21.5): ඉරූශ ආකාශ් 36, ඉශාන් අනුරාධ 3/17, මනීශ රශ්මික 3/44.

ශ්‍රී දේවානන්ද විද්‍යාලයට කඩුලු 3ක ජයක් (තරග ජය ප්‍රධානය කළා)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<