අකලංක සහ විනෝලිගෙන් දස්කම්

662

43 වන වයස් කාණ්ඩ පිහිනුම් ශූරතා තරගාවලියේ දෙවන දිනයේ වැඩි ගෞරව හිමිකර ගන්නට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ අකලංක පීරිස් සහ විනෝලි කළුආරච්චි සමත් විය. තරගාවලියේ දෙවන දිනය අවසානය වන විටත් සමස්ත ලකුණු සටහනේ පෙරමුණේ පසුවූයේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ විසාකා විද්‍යාලය යි.

>> මධ්‍යම පළාත් කායවර්ධන ශූරතාවලිය සති අන්තයේ

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මඟින් අඛණ්ඩව 43 වන වරටත් සංවිධානය කරනු ලබන වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලිය ජුනි මස 01 වන දින සුගතදාස පිහිනුම් තටාකයේ දී ආරම්භ විය. ශ්‍රී ලංකා ජාතික වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලිය වන මෙම තරගාවලිය සඳහා පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට අධික සංඛ්‍යාවක් සහභාගී වේ.

එතරම් උද්වේගකර නොවූ පළමු දිනයකින් අනතුරුව ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙවන දිනයේ පැවති ඉසව් වලට සහභාගී වීම නිසා තරගාවලියේ දෙවන දිනය වඩාත් උද්වේගකර දිනයක් විය. ආසියානු පාසල් පිහිනුම් ශූර සාන්ත පීතර විද්‍යාලයේ අකලංක පීරිස් සාර්ථක දිනයක් අවසන් කරමින් රන් පදක්කම් 03 ක් දිනාගැනීමට සමත් වූ අතර විනෝලි කළුආරච්චි සහ දිලංක ෂෙහාන්ගේ දක්ෂතා ද තරගාවලියේ දෙවන දිනයේ දී කැපී පෙනුණි.

අවුරුදු 18න් පහළ පිරිමි; මීටර 50 පසුපස ආර, මීටර 200 පසුපස ආර සහ මීටර 100 නිදහස් ආර ඉසව් වල රන් පදක්කම් දිනා ගැනීමට අකලංක සමත් විය. පසුපස ආර තරග ඉසව්ව සඳහා ප්‍රබලම ක්‍රීඩකයෙක් වන ඔහු මීට පෙර ජාතික පිහිනුම් තරගාවලියේ මීටර 50 පසුපස ආර ඉසව්වේ ද රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.  

නැගී එන පිහිනුම් ක්‍රීඩිකාවක් වන සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විනෝලි කළුආරච්චි ද රන් පදක්කම් 03ක් දිනා ගනිමින් අකලංක සමඟ දෙවන දිනයේ හොඳම දක්ෂතා වලට හිමිකම් කියන්නට සමත් විය.

අවුරුදු 18න් පහළ කාන්තා; මීටර 200 පසුපස ආර, මීටර 100 නිදහස් ආර සහ මීටර 50 පසුපස ආර ඉසව් වල රන් පදක්කම් දිනා ගැනීමට විනෝලි සමත් විය. ඇය මීටර 200 පසුපස ආර තරග ඉසව්ව 2:37.31කින් සහ මීටර 100 නිදහස් ආර තරග ඉසව්ව 1:02.93ක කාලයක් වාර්තා කරමින් අවසන් කරන්නට සමත් විය.

පසුගිය මාසයේ අවසන් වූ ජාතික පිහිනුම් තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව වූ රමුදි සමරකෝන් දෙවන දිනයේ දී එක් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූයේ අවුරුදු 18න් පහළ නිදහස් ආර තරග ඉසව්වේ 3 වන ස්ථානය දිනා ගැනීමත් සමඟයි. තරගාවලියේ පළමු දිනයේ දී ඇය අවුරුදු 18න් පහළ කාන්තා; මීටර 200 ළය ආර සහ මීටර 50 ළය ආර තරග ඉසව් වල රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය. ඒ අනුව රමුදි දිනා ගත් රන් පදක්කම් 2 සහ එක් ලෝකඩ පදක්කම විසාකා විද්‍යාලයට සමස්ත ලකුණු සටහනේ පෙරමුණේ රැඳීමට ඉවහල් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් වරම් ලැබූ මැතිව් අබේසිංහ හට අවුරුදු 18 සහ ඉන් ඉහළ පිරිමි; මීටර 100 නිදහස් ආර තරග ඉසව්වේ දී කොළඹ නාලන්ද විද්‍යාලයේ දිලංක ෂෙහාන්ගෙන් ප්‍රබල අභියෝගයක් එල්ල විය. කෙසේ වුවත් අවසානයේ තත්පර 53.46ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට මැතිව් සමත් වූ අතර ඉතා තියුණු තරගයකින් අනතුරුව තත්පර 53.92 ක කාලයක් වාර්තා කළ දිලංක රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

18 හැවිරිදි නාලන්ද විද්‍යාලයේ දිලංක ඉන් අනතුරුව අවුරුදු 18 සහ ඉන් ඉහළ පිරිමි; මීටර 400 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් මේ වන විට තරගාවලිය තුළ පදක්කම් 03කට හිමිකම් කියන්නට සමත් වී ඇත. තරගාවලියේ පළමු දිනයේ දී මීටර 800 නිදහස් ආර තරග ඉසව්වේ ද රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත් විය.

ජෝසප් සහ විසාකා තවමත් පෙරමුණේ    

තරගාවලියේ දෙවන දිනය අවසානයේ පිරිමි සහ කාන්තා තරග අංශ වල සමස්ත ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට පිළිවෙළින් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ විසාකා විද්‍යාලය සමත් වී ඇත. විසාකා විද්‍යාලයීය ලකුණු 256ක් ලබා ගනිමින් පළමු ස්ථානයේ පසුවන අතර පසුගිය මාසයේ අවසන් වූ ජාතික පිහිනුම් තරගාවලියේ දී කාන්තා ජාතික කනිෂ්ඨ පිහිනුම් ශූරතාවය දිනා ගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 210 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසුවෙයි. ලකුණු 136 කට හිමිකම් කියන සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය මේ වන විට තුන්වන ස්ථානයේ පසුවෙයි.

පිරිමි අංශයේ පෙරමුණ හිමිකර ගැනීමට සමත් වී සිටින්නේ ලකුණු 243 ක් ලබාගෙන ඇති සාන්ත ජෝසප් විද්‍යාලය යි. ලකුණු 209 ක් ලබාගෙන ඇති කොළඹ ආනන්ද විද්‍යාලය සහ ලකුණු 142 ක් ලබාගෙන ඇති වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල පිළිවෙළින් පිරිමි තරග අංශයේ දෙවන හා තුන්වන ස්ථාන වල පසුවෙයි.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට