ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙක් කැනඩා ලෝක කුසලානයට

අවුරුදු 60න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානය

858

සැප්තැම්බර් 02 සිට 15 දක්වා ඕස්ට්‍රේලියාවේ Sunshine Coast හී පැවැත්වෙන අවුරුදු 60න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානය නියෝජනය කරන කැනේඩියානු ජාතික කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 4 දෙනෙකු නම් කර තිබෙනවා.

එලෙස කැනඩා කණ්ඩායමට ඇතුළත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ රොහාන් ජයසේකර, පිලිප් නවරත්න, ඒ. ඩී. ජයවර්ධන සහ මොහොමඩ් රමීසුයි.

එම කණ්ඩායමට ඇතුළත් වන මොහොමඩ් රමීස් ThePapare.com වෙත අදහස් දක්වමින් අවුරුදු 60න් ඉහළ ලෝක කුසලානය පිළිබඳව ප්‍රකාශ කළේ,

“මේක අවුරුදු 60න් ඉහළ ක්‍රීඩකයින් සහභාගී වන ලෝක කුසලානයක්, අප කණ්ඩායම බලාපොරොත්තු වන්නේ මෙම තරගාවලියට සහභාගි වෙමින් ප්‍රබල කණ්ඩායම්වලට හොඳ අභියෝගයක් දීලා ශූරයන් වෙන්නයි.

මෙම තරගාවලියට සහභාගී වන බොහෝ ක්‍රීඩකයින් 1970 – 1990 කාලයේ දස්කම් දැක්වූ ප්‍රබල ක්‍රීඩකයින් වේ. Peter Kirsten සහ Omar Henry වැනි ක්‍රීඩකයින් ද එයට ඇතුළත්.”

Queensland Veterans Cricket කණ්ඩායම විසින් සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් ඇතුළත්,

  • ඉන්දියාව
  • නවසීලන්තය
  • ඕස්ට්‍රේලියාව
  • පාකිස්තානය
  • ශ්‍රී ලංකාව
  • දකුණු අප්‍රිකාව
  • සිම්බාබ්වේ
  • කැනඩා
  • ඇමරිකාව
  • වේල්ස්
  • ලෝක කණ්ඩායම

ප්‍රාන්ත තරගාවලි සමඟ ගැටීම නිසාවෙන් මෙම තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායමක් සහභාගී වන්නේ නැහැ. එමෙන්ම තම ක්‍රීඩා දිවිය පිළිබඳව සහ කැනඩා කණ්ඩායමට තේරී පත්වීම පිළිබඳව අදහස් දක්වමින් රමීස් ප්‍රකාශ කළේ,

“මම වසර 4ක් යාපනය මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් උතුරු සටනට සහභාගී වුනා. 1977 වසරේ මම පාසල් කණ්ඩායමේ නායකත්වය දැරූ අතර යාපනය දිස්ත්‍රික් කණ්ඩායම ද මම නියෝජනය කළා.

1977 වසරෙන් පසුව මම කොළඹ වෙත පැමිණීමෙන් අනතුරුව Saracens කණ්ඩායම සහ දමිල ක්‍රීඩා සමාජ කණ්ඩායම් නියෝජනය කරමින් පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩා කළ අතර පසුව American Lloyds, Commercial Bank සහ Bank of America යන කණ්ඩායම් සඳහා ද මම ක්‍රීඩා කළා.

1987 වසරේ දී මම කැනඩාවට පිටත්ව එහි ප්‍රධාන ක්‍රිකට් ලීගයක් වන Toronto ලීග් තරගාවලිය නියෝජනය කිරීමෙන් අනතුරුව අවුරුදු 50න් ලීගයේ දස්කම් දැක්වූ දස්කම් නිසාවෙන් ජාතික කණ්ඩායම තේරෙන්නට ඇතයි මම විශ්වාස කරනවා.

මම කැමතියි K.M.Shanthi Kumar, Sivabalasingham, Rajiv Benedict ඇතුළු මට මෙතනට එන්න උදව් කරපු හැමෝටම ස්තූතිය පුද කරන්න.”

කැනඩාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ,

“ක්‍රිකට් කියන්නේ කැනඩාව තුළ වේගයෙන් වර්ධනය වන ක්‍රීඩාවක්. මෙහි (කැනඩාව) තුළ ගොඩක් තරගකාරී ලීග් කිහිපයක් තියෙනවා. Toronto ලීගය එහි ප්‍රධාන එකක්. ඊට අමතරව Markham සහ Scarborough ලීගයනුත් ටිකක් තරගකාරී තරගාවලි.

ඒ වගේම කැනේඩියානු කණ්ඩායම අවස්ථා කිහිපයකම ලෝක කුසලානයටත් සුදුසුකම් ලැබුවා. ඒත් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙහි අපේ තරගකාරීත්වය තරමක් පහළ වැටිලයි තිබුණේ. නමුත් බොහෝ දෙනාට ස්තූතිවන්ත වෙන්න නැවතත් අපගේ ක්‍රිකට් ක්‍රීඩාව ඔලුව ඔසවමින් සිටිනවා.

ඔබට දැක ගන්න පුළුවන් ඉන්දීය උප මහද්වීපයේ ශිෂ්‍යයන් මෙම ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයට විශාල දායකත්වය සපයනවා. ඒ වගේම කැනඩාවේ බොහෝ තැන් වල දැන් ක්‍රිකට් ක්‍රීඩා කරන්න පටන් අරන් තියෙන්නේ.”

මීට අමතරව කැනඩාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලාංකිකයන්ගෙන් හිමි වන දායකත්වය ගැන අදහස් දක්වමින් රමීස් මහතා ප්‍රකාශ කළේ,

“කැනේඩියානු කණ්ඩායම මට්ටම් කිහිපයක දී නියෝජනය කළ ක්‍රීඩකයින් රැසක් සිටිනවා. රොහාන් ජයසේකර, ශාන්ත ජයසේකර,  රුවිඳු ගුණසේකර, මනෝජ් ඩාවිඩ්, ධනුක පතිරණ, Easan Sinnathamby, Arvind Kandappah, Trevin Bastiampillai, Ravishankar Puvendran, Brian Rajadurai, Sanjayan Thuraisingam,Shanthikumar Kantharatnam සහ මෙම ලෝක කුසලානය ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සිව්දෙනා එම ලැයිස්තුවට ඇතුළත්.

ඒ වගේම කැනඩා කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස කටයුතු කරන්නෙත් ශ්‍රී ලාංකිකයෙක් වන පුබුදු දසනායකයි.”

අවසාන වශයෙන් 60න් ඉහළ ලෝක කුසලානය ගැන අදහස් දක්වමින් රමීස් මහතා ප්‍රකාශ කළේ,

“කැනේඩියානු පුරවැසිභාවය තියෙන ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙක් මේ ලෝක කුසලානය නියෝජනය කරනවා. අපි කැන්ඩාව නියෝජනය කරන තරමටම ශ්‍රී ලංකාවත් නියෝජනය කරනවා. අපි ඒ රටවල් දෙකට දක්වන ආදරය අසීමිතයි. මම සුබ පතනවා.

ඒ වගේම කැනේඩියානු අවුරුදු 60න් ඉහළ කණ්ඩායම වෙනුවෙන් මම ThePapare.com වෙත ස්තූතිය පුද කරනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<