රෝස එක්දින තරගයේදී දකුණු අප්‍රිකානුවන් තරගාවලි ජය සමරයි

395
Sri Lanka vs South Africa

දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියේ තරග තුනක් පුරාවට තම පිතිකරණ රිද්මය හඳුනාගත නොහැකිව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නිසා ශ්‍රී ලංකාවට තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම තරගාවලි පරාජය භාර ගැනීමට ඊයේ (04) සිදුවිය. ශ්‍රී ලංකා කණ්ඩායමට නිමාවුනු තරග තුනේදීම ලකුණු 200 සීමාවටවත් ලඟා වීමට නොහැකි වීම සැබවින්ම කණගාටුවට කරුණක් විය.

ශ්‍රී ලංකා යොවුන් පිළට නැවතත් කුරුමානම වරදියි

තුන්කොන් තරගාවලියේ ජයග්‍රහණයත් සමගින් සත්කාරක දකුණු අප්‍රිකානු යොවුන් පිළ සමගින් එක්දින තරගාවලියකට එක්වුනු ශ්‍රී ලංකා යොවුන් පිළ මේ වනවිට

ඊයේ ජොහැන්ස්බර්ග් හි වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුනු තෙවැනි එක්දින තරගය රෝස එක්දින තරගයක් (Pink Day ODI) ලෙස ක්‍රියාත්මක විය. ඒ අනුව සමස්ත වොන්ඩර්ස් ක්‍රීඩාංගණය මෙන්ම දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් ද රෝස පැහැයෙන් සැරසී සිටියේ පියයුරු පිළිකාව පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ උදාරවූ පරමාර්ථයෙනි. එමෙන්ම දකුණු අප්‍රිකානුවන් මින් පෙර රෝස පැහැයෙන් සැරසුනු අවස්ථා හතරේදීම අපරාජිතව සිටීම ශ්‍රී ලංකාවට අමතර හිසරදයක් බවට පත්විය.

ශ්‍රී ලංකා පිළේ පිතිකරණ දුර්වලතාව මේ වන විට හඳුනාගෙන සිටින දකුණු අප්‍රිකානු නායක ඒ. බී. ඩිවිලියර්ස් තරගය ජය ගැනීමට ඇති පහසුම ආකාරය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින් පන්දුවට පහර දීම සඳහා ඇරයුම් කළේය. ඒ අනුව ඉනිම ඇරඹූ නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක් එක්කලේ ශ්‍රී ලංකාවට යම් සැනසිලිදායක වාතාවරණයක් නිර්මාණය කරමිනි. නමුත් පන්දුවාර 50 තරගයක ඉනිමක් ඇදගෙන යාහැකි ආකාරයේ පිතිකරුවන් විරල ශ්‍රී ලංකාවට සිය ඉනිම අවසානයේදී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 163ක් පමණි.

නිරෝෂන් දික්වැල්ල පමණක් යම් සාධනීය පිතිකරණ රටාවක් පෙන්නුම් කරමින් හතරේ පහර 7ක් සමගින් ලකුණු 74ක් රැස් කළේය. නායක උපුල් තරංග ලකුණු 31යි. ඔවුන් දෙදෙනා ද ඇතුළුව ශ්‍රී ලංකා පිළේ ලකුණු 10 සීමාව පවා ඉක්මවූයේ පිතිකරුවන් සිව් දෙනෙකු පමණි. මුල්පෙළ කඩුලු බිඳ වැටී ශ්‍රී ලංකාව අසරණ වී සිටි අවස්ථාවක දිනේෂ් චන්දිමාල් සහ අසේල ගුණරත්න වැනි පිතිකරුවන් තම වටිනා කඩුලු නිකරුනේ පූජා කරමින් එල්ල කල අපරීක්ෂාකාරී පහරවල් ජයග්‍රහණය ශ්‍රී ලංකා පිළෙන් තව තවත් ඈත් කරවන්නට හේතු විය. පන්දු යැවීමේදී තවමත් ජාත්‍යන්තර පිටියට කෝඩුකාරයෙකු වන ඩ්වේන් ප්‍රිටෝරියස් කඩුලු 3ක් බිඳ හෙලීය.

ඒ අනුව ලකුණු 164ක පහසු ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානුවන් අදාළ ඉලක්කය පන්දුවාර 32ක් තුලදී කඩුලු 3ක් පමණක් දැවී සපුරා ගන්නට සමත් විය. ඒ වෙනුවෙන් වොන්ඩර්ස් පිටියේ කවදත් සුපිරි දක්ෂතා දක්වා ඇති නායක ඒ. බී. ඩිවිලියර්ස් නොදැවී ලකුණු 60ක් රැස් කළේය. ඒ හතරේ පහර 5ක් සමගිනි. හෂීම් අම්ලා ලකුණු 34යි. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක නොබිඳුණු සබඳතාවයක් පිහිටවූ ඩිවිලියර්ස් සහ ජේ. පී. ඩුමිනි දකුණු අප්‍රිකාව සුරැකිව ජය කණුව කරා රැගෙන ගියහ. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල එක්දින තරගයට ක්‍රීඩා කල ලහිරු කුමාර සහ ලහිරු මධුශංක එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

Photos: Sri Lanka v South Africa | 3rd ODI

Photos of the Sri Lanka v South Africa | 3rd ODI 2017

තම කෙටි ජාත්‍යන්තර දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කල ඩ්වේන් ප්‍රිටෝරියස්ට තරගයේ වීරයා සම්මානය හිමිවිය. දෙරට අතර සිව්වැනි එක්දින තරගය ලබන 7 වැනිදා කේප්ටවුන් හිදී ආරම්භ වීමට නියමිතය. තරගාවලි ජය දකුණු අප්‍රිකානුවන් සතු වූවත් ගෞරවය බේරා ගැනීමේ සටන තවමත් නිමාවී නොමැති නිසා ඉතිරි එක්දින තරග දෙක හෝ ශ්‍රී ලංකාවට ජයගත හැකිනම් එය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට යම් තරමක හෝ සැනසීමට කරුණක් වනු ඇත.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 163 (පන්දුවාර 39.2): නිරෝෂන් දික්වැල්ල 74, උපුල් තරංග 31, සචිත් පතිරණ 18, ධනංජය ද සිල්වා 16, ඩ්වේන් ප්‍රිටෝරියස් 3/19, ඉම්රාන් තහීර් 2/21, අන්ඩිල් පෙලුක්වායෝ 2/26, කාගිසෝ රබාඩා 2/39.

දකුණු අප්‍රිකාව – කඩුලු 3ක් දැවී ලකුණු 164 (පන්දුවාර 32): ඒ. බී. ඩිවිලියර්ස් 60*, හෂීම් අම්ලා 34, ජේ. පී. ඩුමිනි 28*, ෆැෆ් ඩු ප්ලෙසිස් 24, ලහිරු මධුශංක 1/15, ලහිරු කුමාර 1/49.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට