කමිඳු ලෝක වාර්තා පොත අලුත් කරයි!

Sri Lanka Tour of Bangladesh 2024

102

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (31) අවසන් වුනේ තරගයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාව වෙත විවර කර දෙමිනුයි.

ඊයේ (30) දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 314ක් ලබා සිටි අතර, ඒ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ධනංජය ද සිල්වා සහ දිනේශ් චන්දිමාල් අද අර්ධ ශතක වාර්තා කර ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාට ද ඊයේ දිනයේ දිමුත්, නිශාන් සහ කුසල්ට සිදු වූවා මෙන්ම සිය ශතක කරා යාමට අවස්ථාවක් හිමි නොවූ අතර, චන්දිමාල් ලකුණු 59කට සහ ධනංජය ලකුණු 70කට පිටියෙන් ඉවත් කිරීමට බංග්ලාදේශය සමත් වුනා.

මින් පසුව මෙම තරගාවලියේ සාර්ථකම පිතිකරුවා වූ කමිඳු මෙන්ඩිස් නැවතත් සිය සුපුරුදු රිද්මයේ රැඳෙමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 500 සීමාව ඉක්මවා රැගෙන යාමට සමත් වීම විශේෂත්වයක්.

මෙහි දී ඔහු විසින් ඉනිමේ පසු පෙළ පිතිකරුවන් සමඟ ඉනිමට ලකුණු 120ක් එකතු කිරීමට සමත් වුනා.

ඉනිමේ කඩුලු 9ක් බිඳ වැටී තිබූ අවස්ථාවේ දී ඔහු Taijul Islam විසින් යොමු කළ 159 වැනි පන්දුවාරයේ දී අලංකාර හයේ පහර දෙකක් එල්ල කරමින් සිය ලකුණු තත්වය 92ක් කරා රැගෙන ඒමට සමත් වුනත්, පන්දුවාරයේ අවසන් පන්දුවට ලකුණක් ලබා ගනිමින් අසිත ප්‍රනාන්දු සමඟ පැති මරු කර ගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වීම නිසා අසිත දුවද්දී දැවී යාමකට ලක් වුනා.

මේ අනුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 531කින් නතර වූ අතර, කමිඳු නොදැවී ලකුණු 92ක් ලබමින් පිටියේ තනි වුනා. එම නිසාම ඔහුට සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ නොකඩවා ලබා ගැනීමට තිබූ තෙවන ශතකය ද අවාසනාවන්ත ලෙස අහිමි වුනා.

බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Shakib Al Hasan කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

කෙසේ වෙතත් මෙම ඉනිමත් සමඟින් කමිඳු විසින් තවත් ලෝක වාර්තා දෙකකට මග පාදා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

මෙහි දී කමිඳු විසින් ටෙස්ට් වරම් ලැබීමෙන් පසු ක්‍රීඩා කළ පළමු ටෙස්ට් ඉනිම් හතර තුළ ලකුණු 419ක් ලබා ගැනීමට සමත් වී ඇති අතර, ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිය මංගල ටෙස්ට් ඉනිම් 4 තුළ වැඩිම ලකුණු ලබා ගැනීමේ වාර්තාව සම කිරීමට කමිඳු ඒත් සමඟින් ම සමත් වුනා. 1976 වසරේ දී Javed Miandad විසින් පාකිස්තානය වෙනුවෙන් ද සිය පළමු ටෙස්ට් ඉනිම් හතර තුළ ලකුණු 419ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

එමෙන්ම ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියක අංක හත හෝ ඊට පහළ පිතිකරණ ස්ථානයක රැඳෙමින් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව ද මේ වන විට කමිඳු විසින් සිය නම ඉදිරියෙන් සටහන් කර ගැනීමට සමත් වී තිබෙනවා.

මීට අමතරව ටෙස්ට් තරගාවලියක අංක හත පිතිකරණ ස්ථානයේ හෝ ඊට පහළ ස්ථානයක සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ලකුණු ලබා ගැනීමේ වාර්තාව ද කමිඳු විසින් මෙම තරගයේ දී සියතට ගත්තා. මීට පෙර එම වාර්තාවට හිමි කම් කීවේ ධනංජය ද සිල්වා (2016 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක) විසිනුයි.

මෙම තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ එකඳු ශතකයක් හෝ වාර්තා නොවූ නමුත් පිතික්රුවන් හය දෙනෙකු විසින් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

මෙහි දී ශ්‍රී ලංකා පිළිගත් පිතිකරුවන් හත් දෙනාගෙන් අර්ධ ශතකයක් හිමි නොවුනේ ඇන්ජලෝ මැතිව්ස්ට පමණක් වන අතර, ඔහු ද අර්ධ ශතකයක් වෙත සමීප වූවා නම් එය ද සම ලෝක වාර්තාවක් වීමට ඉඩ තිබුණා.

කෙසේ වෙතත් ටෙස්ට් ඉනිමක එකඳු ශතකයක් හෝ වාර්තා නොවී කණ්ඩායමක් ලබා ගත් ඉහළම ලකුණු ප්‍රමාණයේ වාර්තාව අද ශ්‍රී ලංකාව සතු වීමත් විශේෂත්වයක්. මීට පෙර මෙම වාර්තාව ඉන්දියාව සතුව තිබූ එකක් වන අතර 1976/77 තරග සමයේ නවසීලන්තයට එරෙහිව ඔවුන් එකඳු ශතකයක් හෝ නොමැතිව ලකුණු 524ක් ලබා ගැනීමට සමත් වුනා.

මේ අනුව ලෝක වාර්තා රැසක් ද සමඟින් ශ්‍රී ලංකා පළමු ඉනිම නිමාවට පත් වූ අතර, බංග්ලාදේශය ඊට පිළිතුරු ලෙස අද දිනය නිමා වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වී සිටියා. බංග්ලාදේශයේ දැවී ගිය එකම කඩුල්ල ලහිරු කුමාර සතු වුනා.

තරගයේ තෙවැනි දිනය හෙට (01) ක්‍රියාත්මක වීමට නියමිත අතර එහි සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<