මලල ක්‍රීඩා සංගමයෙන් විශේෂ තරගාවලියක්

159

මෙම සතිඅන්තයේ දී විශේෂ මීටර් 3000 බාධක දිවීමේ සහ දුර පැනීමේ තේරීම් තරගාවලියක් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සැලසුම් කර තිබෙනවා.

“3000m SC & Long Jump Challenge Competition” ලෙස හඳුන්වන මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35 දෙනෙකු සහභාගී වීමට සූදානමින් පසු වන බව මලල ක්‍රීඩා සංගමය නිවේදනය කළා.

ඒ අනුව මෙම ඉරිදා (19) පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා කාන්තා දුර පැනීම ඉසව්වේ ජාතික ශූරිය වන සාරංගි ද සිල්වා සහ මීටර් 3000 බාධක දිවීමේ ශූරී නිලානි රත්නායක සහභාගී වීමට නියමිත අතර මෙය ඔවුන්ගේ ලෝක ශූරතාවයට සුදුසුකම් ලැබීමේ ප්‍රසාද ලකුණු ඉහළ නංවා ගැනීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් ද වනවා.

ලෝක ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගන්නා ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ සාරංගි ද සිල්වා මේ වන විට 32 වැනි ස්ථානයේ පසුවන අතර තරගාවලියට තෝරාගන්නේ ක්‍රීඩිකාවන් 32ක් පමණක් වන නිසාවෙන් ඇයට ප්‍රසාද ලකුණු ඉහළ නංවා ගැනීම ඉතා වැදගත්.

මෙම තරගාවලිය F කාණ්ඩයේ තරගාවලියක් වන නිසාවෙන් විශාල ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමිනොවුනත්, සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව අවසන් වීමට තවත් ඇත්තේ දින නවයක කාලයක් වන නිසාවෙන් මෙම තරගාවලියෙන් හිමිවන ප්‍රසාද ලකුණු ඇයට ඉතා වැදගත් වනු ඇත.

බාධක දිවීමේ ශූරිය වන නිලානි රත්නායක මේ වන විට එම වර්ගීකරණයේ 37 වැනි ස්ථානයේ පසු වන අතර එම ඉසව්ව සඳහා සුදුසුකම් ලබන ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 45ක්.

ඇයගේ සුදුසුකම මේ වන විට තරමක ස්ථාවර තත්වයක පසුවූවත් ඉදිරි දිනවල දී වෙනත් රටවල්හි ජාතික ශූරතා පැවැත්වෙන නිසාවෙන් ඇයට ද ප්‍රසාද ලකුණු කිහිපයක් ලබා ගනිමින් සිය ස්ථානය තහවුරු කරගැනීම වැදගත්.

එමෙන්ම මෙම තරගාවලියට පිරිමි දුර පැනීම ඉසව්වෙන් යොවුන් ලෝක ශූරතාවයට සුදුසුකම් ලැබූ හිරුෂ හෂාන් ද සහභාගී වන අතර ඔහුට සිය රිද්මය ඉහළ නංවා ගැනීමට මෙම තරගාවලියෙන් හැකියාව ලැබෙනු ඇත.

තරගාවලියේ කාලසටහන සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්,

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<