ඉසිපතන විද්‍යාලය අවසන් මිනිත්තුවේ දී ජනාධිපති කුසලානය තමන් සතු කර ගනී!

113

2025 Dialog පිළිමළුන් පිටු දැකීමේ පාසල් රග්බි ජනාධිපති කුසලානය දිනා ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය ඊයේ (18) සමත් වුනා. 

ගෙවුණු සතිය තුළ ජනාධිපති කුසලාන අවසන් මහා තරගය මෙන්ම, Premier කුසලාන අවසන් මහා තරගයත්, සභාපති කුසලාන අවසන් මහා තරගයත් ක්‍රියාත්මක වුනා. 

එම තරග තොරතුරු පහතින්; 

මහරගම මධ්‍ය විද්‍යාලය සහ ලලිත් ඇතුළත්මුදලි විද්‍යාලය 

සභාපති කුසලානය වෙනුවෙන් ක්‍රියාත්මක වූ මෙම තරගයේ පළමු අර්ධය තුළ එක් උත්සාහක දිනුමක් සහ එක් දඬුවම් පහරක් සාර්ථක කර ගත් ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩකයින් ලකුණු 08ක් ලබමින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වූ අතර, ඒ අතරවාරයේ මහරගම විද්‍යාල ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ අවසන් මිනිත්තු කිහිපයේ දී තරගයේ තීරණය වෙනස් කිරීමට මහරගම විද්‍යාල ක්‍රීඩකයින් විසින් සාමත් වුනේ තවත් එක් උත්සාහක දිනුමක් සහ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමිනුයි. 

  • මහරගම මධ්‍ය විද්‍යාලය 12 (2T, 1C) – ලලිත් ඇතුළත්මුදලි විද්‍යාලය 08 (1T, 1P) 

තරගයේ වීරයා වෙනූශ නිම්සර (මහරගම මධ්‍ය විද්‍යාලය) 

ආනන්ද විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 

Premier කුසලානය සඳහා පැවැත්වුණු මෙම තරගයේ පළමු අර්ධයේ පටන් ම ආනන්ද විද්‍යාල ක්‍රීඩකයින් තම ආධිපත්‍යය තරගය පුරා පතුරවාලීමට සමත් වූ අතර, ඔවුන් පළමු අර්ධය තුළ උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟ ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනා. මේ අතරතුර බෙනඩික්ට් ක්‍රීඩකයින් විසින් ලබාගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි. 

තරගයේ දෙවැනි අර්ධය තුළ ආනන්ද විද්‍යාලය විසින් තවත් ලකුණු 08ක් ලබමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා. 

  • ආනන්ද විද්‍යාලය 25 (4T, 1C, 1P) – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 10 (2T) 

තරගයේ වීරයා දෙනෙත් චමුදිත (ආනන්ද විද්‍යාලය) 

ත්‍රිත්ව විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය  

ජනාධිපති කුසලානය සඳහා මෙම පාසල් ද්විත්වය තරග බිමට පිවිසුණු අතර, මෙවර දේශීය රග්බි තරග වාරය තුළ පැවැත්වුණු වඩාත් උණුසුම් තරගය වෙනුවෙන් මෙම පාසල් සටන් වැදුණා. 

තරගයේ පළමු අර්ධයේ පටන් ම දෙපිළෙන් ම කරට කර සටනක් නිර්මාණය වූ අතර, පළමු අර්ධය තුළ ඉසිපතන විද්‍යාලය එක් උත්සාහක දිනුමක් සහ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් ලකුණු 07ක් ලබා ගැනීමට සමත් වන අතරේ, ත්‍රිත්ව විද්‍යාලය දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගනිමින් ලකුණු 06ක් ලබා ගැනීමට සමත් වුනා. 

තරගයේ දෙවැනි අර්ධය පළමු අර්ධයටත් වඩා උණුසුම් මුහුණුවරක් ගත් අතර, ත්‍රිත්ව විද්‍යාලයේ ශාන් අල්තාෆ් විසින් තරගයේ 60 වන මිනිත්තුව තුළ වාර්තා කළ විශිෂ්ට ඩ්‍රොප් ගෝලය සමඟ ත්‍රිත්ව විද්‍යාලය තරගයේ පෙරමුණට පැමිණීමට සමත් වුනා. 

කෙසේ වෙතත් තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ දී ඉසිපතන ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට සමත් වුනේ තරගයේ ජය තහවුරු කර ගනිමිනුයි. 

  • ඉසිපතන විද්‍යාලය 12 (2T, 1C) – ත්‍රිත්ව විද්‍යාලය 09 (2P, 1DG) 

තරගයේ වීරයා සෙතුම් රාජපක්ෂ (ඉසිපතන විද්‍යාලය) 

මේ අයුරින් Dialog පාසල් රග්බි පිළිමළුන් පිටු දැකීමේ තරගාවලිය නිමාවට පත් වූ අතර, එළඹෙන ජුනි මස 06 වැනි දා Dialog පාසල් රග්බි ලීගය ආරම්භ වීමට නියමිතයි. 

එම තරග තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<