2024 වසර වෙනුවෙන් ශ්‍රී ලංකා දැල්පන්දුවේ බලාපොරොත්තු

Sri Lanka Netball 2024

210

මෙම වසරේ ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාවේ ඉදිරි තරග බලාපොරොත්තු පිළිබඳ සඳහන් කරමින් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ අනුව 2024 ජාතික දැල්පන්දු ශූරතාව එළඹෙන 20 සහ 21 යන දෙදින තුළ වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙහි දී එක් අනුබද්ධ දිස්ත්‍රික් සංගමයකින් කණ්ඩායම් දෙකක් මෙවර තරගාවලියට එක් කළ හැකි බවයි දැල්පන්දු සම්මේලනය නිවේදනය කරන්නේ. මේ වන විට ඒ සඳහා කණ්ඩායම් 34ක් සිය සහභාගීත්වය තහවුරු කර තිබෙනවා.

තරගාවලියේ විශිෂ්ට දක්ෂතා දක්වන ක්‍රීඩිකාවන් අතුරින් දක්ෂතම මැදපෙළ ක්‍රීඩිකාව, රකින්නිය, විදින්නිය සහ දැල්පන්දු රැජින යනුවෙන් ජාතික මට්ටමේ ඇගයීම් සිදු කිරීමට ද බලාපොරොත්තු වන බවයි දැල්පන්දු සම්මේලනය සඳහන් කරන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා දැල්පන්දුවේ සියවස් සැමරුම වෙනුවෙන් සම්පාදිත විශේෂ ග්‍රන්ථයක් ද මෙම වසරේ එළිදැක්වීමට නියමිතයි.

මේ අතර 2024 ජාතික කනිෂ්ඨ දැල්පන්දු ශූරතාව එළඹෙන මාර්තු මස මුල් සතියේ කුරුණෑගල හෝ බදුල්ලේ දී* පැවැත්වීමට නියමිත අතර 2024 අන්තර් සංගම් තරගාවලිය පෙබරවාරි මස තුන් වැනි සතියේ දී කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

*. පවතින කාලගුණ තත්වය අනුව ප්‍රදේශ දෙකෙන් එකක් තෝරා ගනු ඇති.

එමෙන්ම 2025 වසරේ දී පැවැත්වීමට නියමිත ලෝක යොවුන් දැල්පන්දු ශූරතාව වෙනුවෙන් මෙන්ම ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාව ද ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික්ක වශයෙන් වයස අවුරුදු 19න් පහළ දැල්පන්දු සංචිත ක්‍රියාත්මක කිරීමට ද බලාපොරොත්තු වන බව දැල්පන්දු සම්මේලනය විසින් තහවුරු කර තිබෙනවා.

මෙම වසරේ දී ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකා දැල්පන්දුවට ඇති විශාලතම බලාපොරොත්තුව ලෙස එළඹෙන සැප්තැම්බර් මස 27 වැනි දා සෞදි අරාබියේ දී ආරම්භ වීමට නියමිත අසියානු ශූරතාව හඳුන්වා දිය හැකි. මේ වන විටත් එම තරගාවලිය ඉලක්ක කර ගනිමින් පී.ඩී.එන්. ප්‍රසාදි මහත්මියගේ පුහුණුකාරීත්වය යටතේ ක්‍රීඩිකාවන් 18 දෙනෙකුගෙන් සමන්විත ජාතික දැල්පන්දු සංචිතය පුහුණුවීම් කටයුතු අරඹා තිබෙනවා.

විශේෂයෙන්ම ගෙවුණු 2023 වසරේ දී ශ්‍රී ලංකා දැල්පන්දුව ජාත්‍යන්තර වශයෙන් තරගාවලි කිහිපයකට ම සහභාගී වූ අතර ඒවායේ දී සැලකිය යුතු මට්ටමේ ජයග්‍රහණ මෙන්ම නොසිතූ පරාජයන්ට ද මුහුණ දීමට සිදු වුනා.

මේ අතර ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන්ට අමතරව දේශීය විනිසුරුවරුන් කිහිප දෙනෙකු ද ගෙවුණු වසරේ දී විශේෂ කඩඉම් පසු කළා. මේ අතරින් ලෝක දැල්පන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා විනිසුරු එරංග සිතාරව ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වන විනිසුරුවරයකු ලෙස පිළිගනිමින් ITID තත්වය පිරිනැමීම විශේෂත්වයක්.

ගෙවුණු වසරේ දී දේශීය දැල්පන්දුවේ විශේෂ අවස්ථා සියල්ලක් පිළිබඳවම තොරතුරු ඔබ වෙතට සමීප කිරීමේ වගකීම අකුරට ඉටුකළ ThePapare මෙම වසරේ දී ද එම වගකීම ඉටු කිරීමට සූදානමින් සිටිනවා, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<