රොෂේන් නැවත ගැලවුම්කරු වෙයි; ශ්‍රී ලංකාව ලකුණු 312ක් ඉදිරියෙන්

1240
AFP PHOTO

මිර්පූර් පිටිය නැවත වතාවක් පන්දු යවන්නන්ටම යෝග්‍ය පිටියක් බැව් අනාවරණය කරමින් බංග්ලාදේශ – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (09) දිනයේ දී ද දෙපිලේම කඩුලු 14ක් බිඳ වැටුණ අතර පිතිකරුවන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 254ක් පමණි. ඉන් ලකුණු 200කම හිමිකාරීත්වය දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සතු වූහ.

[rev_slider LOLC]

පළමු ඉනිමේ සේ ම නැවත වතාවක් ශ්‍රී ලංකා ඉනිම කඩා වැටෙමින් තිබිය දී එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකා පිලේ ගැලවුම්කරු වීමට රොෂේන් සිල්වා සමත් විය. දෙවැනි දිනයට බේල්ස් ඉවත් කෙරෙන විට රොෂේන් පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් ද සමඟින් නොදැවී ලකුණු 58ක් ලබා සිටියේය. තම තෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වන රොෂේන් අද රැස් කළේ තම පෞද්ගලික තෙවැනි අර්ධ ශතකයයි. ශතකයක් සහ ලකුණු 0 ලෙසින් වන ඔහුගේ අනෙක් ටෙස්ට් පිතිකරු ඉනිම්වල එකතුවත් සමඟින් මේ වෙද්දී ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 99.0කි.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළ ලකුණු 222ට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ ක්‍රීඩකයෝ අද දිවා විවේකයට ප්‍රථම සියලු දෙනාම දැවී ලබා ගත්තේ ලකුණු 110ක් පමණි. ඒ අනුව තවත් ලකුණු 112ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කඩුලු 8ක් දැවී ලකුණු 200ක් ලබා සිටියහ. හෙට දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිටියට පිවිසෙන්නේ තවත් කඩුලු 2ක් අතැතිව බංග්ලාදේශයට වඩා ලකුණු 312ක් ඉදිරියෙන් සිටිමිනි.  

කඩුලු 4ක් දැවී ලකුණු 56ක් ලබා සිටිය දී දෙවැනි දිනය ආරම්භ කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ දිනයේ යැවුණ 24 වැනි පන්දු වාරයේ දී තම පළමු ඉනිම නිමා කර ගත්තේ ලකුණු පුවරුව 110ක්ව තිබිය දී ය.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එකට එක කරති

ඩකා නුවර මිර්පුර් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බංග්ලාදේශ – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ (08) දී දෙපිලේ ම ක්‍රීඩකයෝ කුණාටුවකට මැදිව තම තමන්ගේ කණ්ඩායම්…

දිනයේ යැවුණ 7 වැනි පන්දු වාරයේ සිට බංග්ලාදේශ කඩුලු දඩයම ආරම්භ කළේ සුරංග ලක්මාල් ය. ඒ එතෙක් සාර්ථකව පන්දුවට පහර දෙමින් සිටි ලිටන් ඩාස් (25) දවා ගැනීමෙනි. එහෙත් ඒ දඩයම යම් තරමකට පමා කිරීමට හය වැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ මෙහෙදි හසන් සහ නායක මහමුදුල්ලා සමත් විය. ඔවුන් ඉතා මන්දගාමී ලෙසින් ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබීමට උත්සාහ කළ ද දිනයේ යැවුණ 20 වැනි පන්දු වාරයේ දි මහමුදුල්ලා (17) ගේ කඩුල්ල ලබා ගනිමින් එම ගමන වලකා දැමීමට අකිල ධනංජය සමත් වන්නේය.

අකිල තම මංගල ටෙස්ට් ගොදුර ලෙසින් බංග්ලාදේශ නායකයාගේ කඩුල්ල දවා ගත්තේ පන්දුව කෙළින්ම කඩුල්ලේ ගැටීමට සැලැස්වීමෙනි. එම පන්දු වාරයේ දී නැවත වතාවක් සාර්ථක ඵල නෙලා ගැනීමට අකිල සමත් වන්නේ දිනේෂ් චන්දිමාල්ගේ සහයෝගයෙන් සබීර් රහමන්ගේ කඩුල්ල ද දවා ගනිමිනි.

බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 3ක් තුළ බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වීම කැපි පෙණුනි. ඉන් කඩුලු 3ක්ම දවා ගත්තේ තම මංගල ටෙස්ට් තරගයට එක් වූ අකිල ධනංජය විසිනි.

එක් අන්තයක් විනාශ වෙමින් යද්දී අනෙක් අන්තයෙන් හුදකලා වූ මෙහෙදි හසන් බංග්ලාදේශ ඉනිම අවසන් වන විට නොදැවී ලකුණු 38ක් ලබා සිටියේය. ඒ වෙනුවෙන් ඔහු පන්දු 78කට මුහුණ දී සිටි අතර හතරේ පහර 2ක් සහ හයේ පහරක් එල්ල කර තිබුණි.

කඩුලු ලබා ගැනීමේ දී සුරංග ලක්මාල් සහ අකිල ධනංජය කඩුලු 3 බැගින් දවා ගනිද්දී දිල්රුවන් පෙරේරා කඩුලු 2ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ වන්නේ දිවා විවේකයට පන්දුවාර දෙකක් ඉතිරිව තිබිය දී ය. සුපුරුදු ලෙසින් දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ඉනිම ආරම්භ කළ අතර පළමු කඩුල්ලේ සබඳතාව දිවා විවේකයෙන් අනතුරුව යැවුණ පස්වැනි පන්දු වාරයේ දී නිමා කිරීමට අබ්දුර් රසාක් සමත් විය. ඒ කුසල් මෙන්ඩිස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමෙනි.

අකිලගේ අලුත් කසාදය

කසාදය යනු තනිකඩයාට මැජික් එකකි. විවාහකයාට කැපකිරීම් කිරීම අනිවාර්ය කරන්නකි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවත් එසේමය. තරුණ මදය වැනි සීමිත පන්දුවාර ක්‍රිකට් සැණකෙළි පසෙක ලා, පරිණතභාවය…

අනතුරුව දිමුත් සමඟ එක් වූ ධනංජය ද සිල්වා දෙවැනි කඩුල්ලට ලකුණු 33ක සබඳතාවක් ගොඩ නැගූහ. තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ ගැටීමෙන් ධනංජය තම ඉනිම ලකුණු 28 දී නිමා කර ගත්තේය. තරමක් වේගයෙන් ලකුණු රැස් කළ ධනංජය තම ඉනිමට හතරේ පහර 5ක් එක් කළේ පන්දු 24කට පමණක් මුහුණ දෙමිනි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 80ක් වෙද්දී තෙවැනි කඩුල්ල ලෙසින් ධනුශ්ක ගුණතිලක (17) දැවී ගියේ මුස්ටෆිසුර් රහමන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමිනි. සවස තේ පානයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී 87ක් තිබුණි. මිර්පූර් තණතිල්ල පන්දු යවන්නන්ට කොතරම් හිතකර වූවාද යත් එම කාර්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට රැස් කර ගත හැකි වූයේ පන්දු වාර 28ක දී ලකුණු 76ක් පමණි.

තේ පානයෙන් පසුව යැවුණ තෙවැනි පන්දු වාරයේ දී දිමුත් කරුණාරත්නගේ ඉනිම ද නිමා විය. දිමුත් පන්දු 105කට මුහුණ දෙමින් සීමා ලකුණු කිසිවක්ම නොමැතිව රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 32කි. පිතිකරුවන්ට ඉතා අසීරු තණතිල්ලේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ලකුණු 100 රැස් කිරීමට පන්දු 207ක් වැය කරද්දී කඩුලු 4ක් ද ලබා දී තිබුණි.

5 වැනි කඩුල්ල වෙනුවෙන් නායක දිනේෂ් චන්දිමාල් සහ රොෂේන් සිල්වා ලකුණු 51ක සබඳතාවක් ගොඩ නැගූ අතර එය දිනයේ හොඳම කඩුලු සබඳතාව ද විය. පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් ද සමඟින් ලකුණු 30ක් ලබා සිටිය දී මෙහෙදි හසන්ගේ පන්දුවකට ස්විප් පහරක් එල්ල කිරීමට ගොස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව චන්දිමාල් තම කඩුල්ල අහිමි කර ගත්තේය.

නිරෝෂන් දික්වැල්ලට ද පිතිකරුවෙක් ලෙසින් යමක් කිරීමේ අවස්ථාව දෙවැනි ඉනිමේ දී ද අහිමි වූයේ ලකුණු 10ක් ලබා සිටිය දී දැවී යෑම නිසා ය. අනතුරුව පිටියට පිවිසි දිල්රුවන් පෙරේරා (07) ට ද පිතිකරණයෙන් වැදගත් යමක් කිරීමට හැකි වූයේ නැත.

දිල්රුවන් මුස්ටෆිසුර් රහමන්ගේ පන්දුවකට දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි අකිල ධනංජය තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ මුස්ටෆිසුර් වෙත කඩුලු ත්‍රිත්වයකට යෑමට ඉඩකඩ සලසමිනි. එහෙත් එම අවස්ථාව ලබා නොදීමට සුරංග ලක්මාල් සමත් විය. දිනයට අවසන් වන විට සුරංග ලක්මාල් නොදැවී ලකුණු 07ක් ලබා සිටියේය.

දිනයේ පිතිකරුවන්ට සාර්ථකම කාර්තුව වූයේ තේ පානයෙන් පසුව යැවුණ පන්දු වාර 32යි. එම කාලයේ දී ඔවුන් ලකුණු 113ක් ලබා ගත්හ. එහෙත් දැවී ගිය කඩුලු සංඛ්‍යාව 5කි. ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු බිඳ දැමීමේ දී මුස්ටෆිසුර් රහමන් කඩුලු 3ක් ද, තයිජුල් ඉස්ලාම් සහ මෙහෙදි හසන් කඩුලු 2 බැගින් ද දවා ගෙන තිබුණි.   

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 222 (65.3) කුසල් මෙන්ඩිස් 68, ධනංජය ද සිල්වා 19, රොෂේන් සිල්වා 56, දිල්රුවන් පෙරේරා 31, අකිල ධනංජය 20, අබ්දුර් රසාක් 4/63, තයිජුල් ඉස්ලාම් 4/83, මුස්ටෆිසුර් රහමන් 2/17

බංග්ලාදේශය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 110 (45.4) ඉම්රුල් කයිස් 19, ලිටන් ඩාස් 25, මෙහෙදි හසන් 38,  සුරංග ලක්මාල් 3/25, දිල්රුවන් පෙරේරා 2/32, අකිල ධනංජය 3/20

ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 200 (62.0) දිමුත් කරුණාරත්න 32, ධනංජය ද සිල්වා 28, දිනේෂ් චන්දිමාල් 30, රොෂේන් සිල්වා නොදැවී 58, මුස්ටෆිසුර් රහමන් 3/35, තයිජුල් ඉස්ලාම් 2/72, මෙහෙදි හසන් 2/29

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<