The Blind Side නොදුටු පැත්ත

1282

“අපි කම්පාවට පත් වෙලා ඉන්නේ. අපි අපේ ඕනම දරුවෙකුගෙන් මුදල් උපයනවා කියලා සිතීම කණගාටුදායකයි. නමුත් අපි Michaelට අවුරුදු 16 දී ආදරය කළා වගේම අවුරුදු 37 දීත් ආදරය කරනවා.”

මෙහෙම කියන්නේ Sean Tuohy විසින්.

Touhy කියන නම අපිට ඒ තරම් නුහුරු නුපුරුදු එකක් වුනාට ඇමරිකාවට ඒක එහෙම නෙවෙයි. ඇමරිකාව ඇතුළේ Touhy නාමය ප්‍රසිද්ධ වෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා.

  1. Touhy පවුලට ඒ කියන්නේ Sean Touhy සහ ඔහුගේ බිරිඳ වන Leigh Anne Touhyට ඇමරිකාව තුළ විසිරිලා තිබුණු ආහාර ආපනශාලා (Taco bell, Pizza Hut, Kentucky Fried Chicken වගේ ලෝක ප්‍රසිද්ධ ආහාර සම්බන්ධ ශාඛා) 115ක අයිතිය හිමි වෙලා තිබුණා. මීට අමතරව Sean Touhy කියන්නේ තරමක් ප්‍රසිද්ධ ක්‍රීඩා විස්තර විචාරකයෙක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්.
  2. දෙවැනි හේතුව තමයි ඇත්තටම අපේ කතාවේ මූල බීජය වෙන්නේ. Sean Touhy සහ Leigh Anne Touhy යුගලය දරුවන් දෙදෙනෙකුට උපත ලබා දෙනවා. ඊට අමතරව ඔවුන් දෙදෙනා විසින් තවත් දරුවෙකුගේ භාරකාරත්වය ලබා ගන්නත් පියවර ගන්නවා. ඒ භාරකාරත්වය ලබා ගත්තු දරුවා තමයි අපේ කතා නායකයා වන Michael Oher කියන්නේ.

Michael Oher කියන්නේ හිටපු ජාතික (ඇමරිකන්) ෆුට්බෝල් ලීගයේ (NFL) ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔබ The Blind Side චිත්‍රපටිය නරඹලා තියෙනවා නම් අන්න ඒ චිත්‍රපටියට පාදක වෙන්නෙත් Michael Oher සහ Touhy පවුලේ කතාව.

ඇත්තටම Touhy පවුල සහ Michael Oher වැඩියෙන්ම ජනප්‍රිය වෙන්නේ මෙන්න මේ චිත්‍රපටිය නිසා කිව්වොත් නිවැරදියි.

The Blind Side කියන්නේ අතිශය ඉහළ ජනප්‍රියත්වයක් ලබපු හොලිවුඩ් චිත්‍රපටියක්.

2009 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ දී Blind Side චිත්‍රපටිය සම්මාන දෙකකට නිර්දේශ වෙනවා. එයින් හොඳම චිත්‍රපටිය සම්මානය අහිමි වුනත්, මේ චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් Sandra Bullock හොඳම නිළිය විදිහට සම්මාන දිනා ගන්න සමත් වෙනවා.

ඒ ඇරෙන්න තවත් සම්මාන උළෙල ගණනාවක දී මේ චිත්‍රපටිය සම්මානවලට නිර්දේශ වෙනවා වගේම ඒවා ජයග්‍රහණය කරන්නත් සමත් වෙනවා. ඒ හැම දෙයකින් ම තහවුරු වුනේ The Blind Side කියන්නේ අතිශය විශිෂ්ට මට්ටමේ සිනමාපටයක් බව.

මේ චිත්‍රපටියේ කතාව Feel Good විදිහේ එකක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. සතුටුදායක අවසානයක් සහිත චිත්‍රපටියක් වුනත්, අතර මැද දී ඔබව නොසෑහෙන්න සංවේදී කරවන්නත් මේ කතාවට පුළුවන් වෙනවා.

The Blind Side චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ The Blind Side: Evolution of a game කියන පොත පාදක කර ගනිමින්.

කවදාවත් දරුවන්ගෙන් මුදල් උපයන්න අවශ්‍ය නැහැ කියලා Touhy කියපු කතාව එක පැත්තකින් බැලුවා ම සාධාරණයි. මොකද Touhy පවුලට හොඳ ශක්තිමත් පාදමක් තිබුණා.

ඒ වගේම Touhyට මෙහෙම ප්‍රකාශයක් සිදු කරන්න හේතුවකුත් තියෙනවා.

The Blind Side පොත රචනා කරන්නේ Michael Lewis කියන කතුවරයා. ඔහු විසින් The Blind Side පොතට අමතරව රචනා කළ තවත් පොත් දෙකක් තමයි Moneyball: The art of winning an unfair game සහ Big Short: Inside the Doomsday Machine කියන්නේ. මේ පොත් දෙක ම පසු කාලයක චිත්‍රපටි විදිහටත් එළියට එනවා.

Sean Touhy කියන්නේ Lewisගේ කුඩා කළ මිතුරෙක්. ඒ යාළුකම සහ Touhy පවුල විසින් සිදු කළ පුදුමාකාර කැප කිරීමක් ගැන විස්තර දැන ගත්තු Lewis විසින් The Blind Side පොත රචනා කරනවා. මේ පොතේ තියෙන්නේ Touhy පවුල විසින් Michael Oher කියන වයස අවුරුදු 18ක් වුන තරුණයා වෙනුවෙන් කරන කැපකිරීම් ගැන.

Michael Oher උපත ලබන්නේ ඇමරිකාවේ Memphis, Tennessee වල දී 1986 මැයි මාසේ 28 වැනිදා. සහෝදර සහෝදරියන් 11 දෙනෙකුගෙන් සමන්විත පවුලක උපත ලබපු Oherගේ මව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන කෙනෙක්. පියා සිරගත ව හිඳිද්දී ඝාතනය කරනවා.

Oher පාසල් සිසුවෙක් විදිහට ගත කරපු මුල් අවුරුදු නමය තුළ පාසල් එකොළහකට මාරු වෙලා තියෙනවා. ඒ වගේම වයස අවුරුදු 7 ඉඳලා ඔහුට විවිධ භාරකාරයින් යටතේ හැදිලා වැඩෙන්න සිදු වෙනවා. ඒ වගේම ඉන්න නිවසක් නැති කාල පරිච්ඡේද පවා ඔහුගේ ජීවිතයේ සෑහෙන්න තිබිලා තියෙනවා.

මෙහෙම කාල පරිච්ඡේදයක් පහු කර ගෙන ආව Michael Oher හට හොඳ අධ්‍යාපනයක් නොලැබුණු බව අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් ඔහු මේ කාලසීමාව ඇතුළේ පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස (American Football) ක්‍රීඩා කරනවා සහ ඔහු එයින් සාධනීය දක්ෂතා පෙන්වන්නත් සමත් වෙනවා.

මේ අතරේ 2004 වර්ෂයේ දී Touhy පවුලට Michael Oherව මුණ ගැහෙනවා. ඔවුන් කැමති වෙනවා Oher ව තමන්ගේ භාරයේ තියා ගන්න. ඒ වගේම ඔවුන් ඔහුට ඉතා හොඳින් උගන්වනවා. පෞද්ගලික ගුරුවරියන් පවා යොදවමින් ඔහුට උගන්වමින් Michael Oher ක්‍රීඩාවෙන් වගේම අධ්‍යාපනික පැත්තෙනුත් ඉදිරියට යවන්න Touhy පවුල පියවර ගන්නවා.

Touhy පවුලෙන් ලැබෙන අපරිමිත සහයත් සමඟින් Oher තමන්ගේ අධ්‍යාපනය ඉතා සාර්ථකව අවසන් කරන්න සමත් වෙනවා. 2008 වසරේ දී තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කළ Michael Oher 2009 වර්ෂයේ දී NFL සමඟ එක් වෙනවා.

2009 දී ඔහු Baltimore Ravens කණ්ඩායම සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 13.8කට වසර පහක ගිවිසුමක් අත්සන් කරනවා.

ඔහු විසින් Baltimore සමඟින් 2012 වසරේ දී Super Bowl XLVII ශූරතාව ජයග්‍රහණය කරන්නත් සමත් වෙනවා.

2014 වර්ෂයේ දී ඔහු Tennessee Titans සමඟ ඩොලර් මිලියන 20ක ගිවිසුමක් අත්සන් කරනවා. ඒ වගේම Oher විසින් 2015 දී Carolina Panthers සමඟ ගිවිසුම් ගත වෙනවා. ඒ තමයි ඔහුගේ අවසන් කණ්ඩායම බවට පත් වෙන්නේ. 2017 දී Panthers විසින් ඔහුව නිදහස් කරනවා.

Oherගේ කතාව මීට වඩා සවිස්තරාත්මක ව කිව යුතු වුනත් ලිපිය අනවශ්‍ය ලෙස දිග වැඩි වීම වළක්වා ගත යුතු නිසා වගේම The Blind Side චිත්‍රපටිය නොබලපු කෙනෙකුට* චිත්‍රපටිය රස විඳින්න ඉඩ ඉතුරු කරන්නත් අපිට සිදු වෙනවා.

*.The Blind Side පොත ප්‍රකාශයට පත් කරන්නේ 2006 වසරේ දී. චිත්‍රපටිය තිරගත වෙන්නේ 2009 වර්ෂයේ දී. මේ පොතට සහ චිත්‍රපටියට අන්තර්ගත වෙන්නේ Touhy පවුලට Oherව මුණ ගැසීම, ඔහුගේ භාරකාරත්වය ලබා ගැනීම සහ Oher තමන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගන්න කොටස පමණයි.

මේ චිත්‍රපටියට ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම Touhy පවුල Oher සමඟ ඇති කරගන්න බැඳීම (මෙතන කළු සුදු භේදය වගේම ඇති නැති පරතරයත් සෑහෙන්න තියෙනවා.) පිළිබඳව බොහෝ දෙනෙක් අතිශය ප්‍රශංසාත්මක ව අදහස් පළ කරනවා.

ඒත් Touhy පවුලට ලැබෙන මේ හැම ප්‍රශංසාවක් ඉදිරියෙන් ම ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරවන අන්දමේ ප්‍රකාශයක් පසුගිය සතියේ දී Michael Oherගේ පාර්ශවයෙන් සිදු කරනවා.

ඇත්තටම ඔවුන් ප්‍රකාශයක් නිකුත් කරනවාම නෙවෙයි, පසුගිය සඳුදා (14) විදෙස් මාධ්‍ය විසින් මේ සිදුවීම ලෝකයට මුදා හරිමින් පවසන්නේ හිටපු NFL ක්‍රීඩක Michael Oher විසින් තමන් ගැන නිර්මාණය වුනු කතාවේ අන්තර්ගතය සාවද්‍ය බවට චෝදනා කරමින් උසාවියට පෙත්සමක් ඉදිරිපත් කළ බව.

මේක එක් ක්ෂණයකින් ලොව පුරාම වැඩි අවධානයක් දිනා ගන්න සමත් වුන පුවතක් බවට පත් වුන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

මෙම පෙත්සම මඟින් Oher විසින් චෝදනා කරන්නේ චිත්‍රපටියේ/පොතේ සඳහන් වෙන විදිහට Touhy යුවල විසින් තමන්ව හදා වඩා නොගත් බව. ඔවුන් ඒ වෙනුවට තමන්ට වයස අවුරුදු 18 සම්පූර්ණ වීමෙන් මාස තුනකටත් වඩා අඩු කාලයක දී තමන්ව රවටා ගෙන ඔවුන් තමන්ගේ සංරක්ෂණ කරුවන් (Conservators) බවට පත් කරවා ගන්න ලියවිල්ලකට පමණක් අත්සන් කරවා ගත් බවට Oher විසින් චෝදනා කරනවා.

ඒ වගේම මේ ගිවිසුම මගින් ඔවුන්ට ඔහුගේ නමින් ව්‍යාපාරික ගනුදෙනු කිරීමට නීතිමය අවසර ලැබුණු බවයි Oher විසින් හෙළිදරව් කරන්නේ.

“2004 වසරේ අගෝස්තු මාසයේ සිට සංරක්ෂණ කරුවන් (Touhy යුවල) Michaelව හදා වඩා ගත් බවට Michael මෙන්ම මහජනතාව ද විශ්වාස කරවීමට සැලැස්වුවා. එමෙන්ම එම අසත්‍යය මගින් ඔවුන් මූල්‍ය වාසි ලබාගෙන තිබෙනවා.”

Oher පාර්ශවයෙන් උසාවිය වෙත ඉදිරිපත් වුන පෙත්සමේ ඒ විදිහට සඳහන් වෙනවා.

ඒ වගේම The Blind Side චිත්‍රපටිය වෙනුවෙන් තමන්ට කිසිම මුදලක් නොලැබුණු බවටත් Oher විසින් චෝදනා කරනවා. නමුත් ඩොලර් මිලියන 300ක් ඉක්මවපු මුදලක් උපයපු The Blind Side චිත්‍රපටියෙන් ලැබුණු මුදලෙන් ලද ආදායමෙන් කොටසක් වගේම කතෘ භාගයත් Touhy පවුල වෙත ලැබුණු බවත්, ඒ මුදල Touhy යුවල සහ ඔවුන්ට දාව උපන් දරුවන් දෙදෙනා අතර පමණක් බෙදා ගෙන ඇති බවත් Oher විසින් චෝදනා කරනවා.

ඒ විතරකුත් නෙවෙයි, 2007 වසරේ දී තමන්ගේ කතාවේ අයිතිය කිසිදු ගෙවීමකින් තොරව 20th Century Fox චිත්‍රාගාරයට ලබා දීම සඳහා තමන් ගිවිසුමක් අත්සන් කර ඇති නමුත් තමන්ට ඒ පිළිබඳ කිසිම ආකාරයක මතකයක් නොමැති බවත් Oher පවසනවා. මේ අතර Leigh Anne Touhy විසින් තමන්ගේ සමාජීය සුබ සාධක වැඩවල දී ඇයගේ පදනම ප්‍රවර්ධන කිරීම වෙනුවෙන් තමන්ගේගේ නම අවභාවිත කරපු බවටත් Oher විසින් චෝදනා කරනවා.

මේ විදිහේ චෝදනා රැසක් එක්ක පිටු 14කින් සමන්විත පෙත්සමක් Oher විසින් මෙතෙක් කල් තමන්ව හදාවඩාගත් දෙමාපියන් බව විශ්වාස කළ Touhy පවුලට එරෙහිව ඉදිරිපත් කරනවා.

ඔහු මේ පෙත්සම මගින් ඉල්ලා සිටින්නේ Touhy නමට ඇති මේ සංරක්ෂණය අවසන් කරමින් තමන්ගේ නම භාවිත කිරීම නතර කරමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස. ඒ වගේම තමන්ගේ නම භාවිත කරමින් උපයා ගත් මුදල් පිළිබඳ නිසි මූල්‍යමය වාර්තා සහ වන්දිත් ඔහු මෙහි දී බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මීට පෙර 2011 වර්ෂයේ දී Oher විසින් සඳහන් කරලා තිබුණේ දරුකමට හදා ගැනීම හෝ සංරක්ෂණය කිරීම අතරේ ඒ තරම් වෙනසක් නැති බව Touhy යුවල විසින් ඔහුට සඳහන් කළා කියලයි.

නමුත් ඔවුන් Oherව දරුකමට හදා ගත්තා නම් Oher ඔවුන්ගේ පවුලේ නීත්‍යනුකූල සාමාජිකයෙකු බවට පත් කරගන්න Touhyලාට සිදු වෙනවා විතරක් නෙවෙයි තමන්ගේ මූල්‍ය කටයුතු හසුරුවා ගැනීමේ බලයත් Oherට ම හිමි වෙනවා. නමුත් මේ සංරක්ෂණය යටතේ ඒ සියලු දේ පාලනය කිරීමේ බලය Touhy යුවලට හිමි වෙනවා.

සරලවම වයස අවුරුදු 18 පැන්නත් Oher ඉන්නේ Touhyලාගේ යටතේ වගේ දෙයක්!

සිදුවීමෙන් අවුරුදු 20ක් පමණ ගත වුනායින් පසුව ඇයි මේ වගේ කතාවක් කියන්නේ, නැත්නම් දැන් ද තේරෙන්නේ කියලා කවුරු හරි අහනවා නම් Oher පාර්ශවයෙන් ඊට ලැබෙන්නේ මෙහෙම පිළිතුරක්.

2009 දී චිත්‍රපටිය සාර්ථක වෙනවාත් සමඟම තමන්ට කිසිම ලාභයක් නොලැබුණත් අන් අය එමගින් ලාභ ලබන බව Oher හට වැටහුනත්, 2009 දී ම NFL වරම් ලැබීම නිසා Oherට ඒ පිළිබඳ ව හොයන්න බලන්න වෙලාවක් නොවුනු බව ඔහුගේ නීතිඥයා පවසනවා. ඒ වගේම 2016න් පසුව ඔහු මේ දේවල් ගැන සෙවීම ආරම්භ කළ බවත්, මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ දී Oher සහ Touhy සම්බන්ධ වෙන සංරක්ෂණ ලියවිල්ල සොයා ගැනීමෙන් පස්සේ මේ දේවල් අනාවරණය වුනු බවත් නීතිඥයා විසින් සඳහන් කරලා තියෙනවා.

“Mike ස්ථාවර පවුල් ජීවිතයක් සමඟ වැඩුණු කෙනෙක් නෙවෙයි. Touhy පවුලේ අය Mikeට ආදරය කරන බව කිව්වා. ඔහුව හදා ගැනීමට අවශ්‍ය බව කිව්වා. එය ඔහුගේ ජීවිත කාලය පුරාවටම තිබුණු රික්තයක් පිරෙව්වා. නමුත් ඔහුව ඇත්තටම හදා ගෙන නැති බව දැන ගැනීමෙන් පසුව Mike දරුණු ලෙස බිඳ වැටුණා.”

Touhy පවුල විසින් Oherගේ ක්‍රීඩා දක්ෂතා දැකීමෙන් පසුව ඔහු සමඟ සමීප සබඳතාවක් ගොඩ නගා ගන්න උත්සාහ කළ බවත්, එම සබඳතාව ගොඩ නගා ගැනීමෙන් පසුව Touhy යුවල විසින් ඔහුට තමන් වෙත “අම්මා” සහ “තාත්තා” යනුවෙන් ආමන්ත්‍රණය කරන්න දිරි ගැන්වූ බවත්, පසුව ඔහුව හදා වඩා ගැනීමට බලාපොරොත්තු වන බව දැන් වූ බවත් Oher විසින් ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් වෙනවා.

Touhy පවුල විසින් Oherගේ ක්‍රීඩා දක්ෂතා දැකීමෙන් පසුව ඔහුව රවටා ගනිමින් තමන්ගේ පවුලට එකතු කර ගත්තු බවත්, පසුව එමගින් මුදල් උපයපු බවත් තමයි මේ චෝදනාවේ සරල සාරාංශය වෙන්නේ.

Oher ගේ පාර්ශවයෙන් කියන මේ කතාව ඇත්ත නම්!

The Blind Side චිත්‍රපටියේ එක් තැනක දී Oherට එක් නීතිඥවරියක් විසින් ඉඟි කරනවා Touhy යුවල විසින් ඔහුව පාවිච්චි කරන බව. නමුත් චිත්‍රපටියේ අපි දකින කතාවේ දී Oher විසින් ඒ නීතිඥවරියව අවිශ්වාස කරලා, Touhy යුවලව විශ්වාස කරනවා. එ නිසාම The Blind Side චිත්‍රපටියේ කතාව නම් ලස්සන තැනකින් නිමා වෙනවා අපි දකිනවා.

ඒත් චිත්‍රපටියේ දී Oher විශ්වාස නොකරපු දේ අද Oher විසින් තමන්ගේ සැබෑ ජීවිතයේ දී සැබෑවක් බව විශ්වාස කරමින් මේ පෙත්සම උසාවියට ඉදිරිපත් කරනවා.

The Blind Side චිත්‍රපටිය පෙර කීවා සේ ම අතිශය සංවේදී සිදුවීම් ඇතුළත් චිත්‍රපටියක්. ඒකට විශේෂ හේතුවක් තමයි චිත්‍රපටයෙන් පෙන්වන Oher එතරම් ම සහජ ඥානය නැති (සමහර පැති වලින් පමණයි) අයෙක් ලෙස උලුප්පලා පෙන්වීම. නමුත් ඇත්තම Michael Oher නම් මේකට කැමති වෙන්නේ නැහැ.

ඔහු ඒ ගැන තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කළේ මෙහෙම,

“මිනිසුන් මා දෙස බලනවා. චිත්‍රපටියක් නිසා ඔවුන් මගෙන් දේවල් උදුර ගන්නවා.

2015 දී ESPN සමඟ සාකච්ඡාවක දී Oher විසින් මේ බව සඳහන් කරනවා.

The Blind Side චිත්‍රපටියේ පෙන්වපු Oher නිසා තමන් ගැන NFL වල දී තීරණ ගත්තෙත් චිත්‍රපටියේ මට්ටමින් ම තමන් දෙස බලමින් බව ඔහු පවසනවා. ඒ නිසා තමන්ට බොහෝ දේවල් අහිමි වුනු බවයි Oher කියන්නේ.

චිත්‍රපටියේ Oher එතරම් ම බුද්ධිමත් නැති පුද්ගලයෙක් බව පෙන්වීම Touhy පවුල සහ Oher අතර ඇති සබඳතාව පළුදු වෙන්න මුල්ම හේතුව වුනු බවයි Oherගේ නීතිඥයා විසින් සඳහන් කරන්නේ.

මේ හැම දෙයකින් ම පසුව ඔබට හිතෙන්නේ The Blind Side චිත්‍රපටියෙන් අපි දැකපු කතාව හෝ Michael Oher ඇත්ත කියලා ද?

Michael Oherගේ මේ පෙත්සමින් පසුව තමයි Touhy පවුල වෙනුවෙන් Sean Touhy අර පිළිතුර ලබා දෙන්නේ.

“අපි කම්පාවට පත් වෙලා ඉන්නේ. අපි අපේ ඕනම දරුවෙකුගෙන් මුදල් උපයනවා කියලා සිතීම කණගාටුදායකයි. නමුත් අපි Michaelට අවුරුදු 16 දී ආදරය කලා වගේම අවුරුදු 37 දීත් ආදරය කරනවා.”

ඒ අතරේ Sean සහ Leigh Touhyගේ නීතිඥයා විසින් මේ ගැටලුව ගැන නිල  වශයෙන් නිවේදනයක් නිකුත් කරනවා.

“Touhy පවුල ගැන Michael Oher විසින් සිදු කළ ප්‍රකාශ වේදනාකාරී සහ විකාර අන්දමේ ඒවා බව සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනම කෙනෙකුට තේරෙනවා ඇති.

යථාර්ථය වන්නේ, Touhy විසින් ඔවුන්ගේ නිවස Oher වෙත විවර කිරීමයි. ඔහුට කොන්දේසි විරහිත ආදරය ලබා දීමයි. ඔවුන් ඔහුට නිරන්තරයෙන් ම ඔවුන්ගේ දරුවන් තිදෙනාගෙන් එක් අයකුට සේ සැලකීමයි.

නමුත් ඒ වෙනුවෙන් ඔහුගේ ප්‍රතිචාරය වූයේ ඔවුන් ඔහුට ඩොලර් මිලියන 15ක් නොගෙවන්නේ නම් ඔවුන් ගැන සෘණාත්මක පුවත් පවසන බව කියමින් තර්ජනය කිරීමයි.”

මීට අමතරව The Blind Side චිත්‍රපටයෙන් ලැබුණු මුදල් සියල්ලම අන්තිම සතය තෙක් නිවැරදිව පවුලේ පස්දෙනා අතර (Oher ද ඇතුළුව) බෙදා ගත් බවත් මෙහි සඳහන් වනවා.

ඊට අමතරව මෙම ගැටලුව විසඳී කවදා හෝ දෙපාර්ශවයට ම සමාදාන වීමට හැකි වෙතැයි තමන් බලාපොරොත්තු වන බවත් මෙම නිවේදනයේ සඳහන් වෙනවා.

මේ කතාවේ හරි හෝ වැරදි කවුද කියන්න ඇත්තටම දන්නේ Oher සහ Touhy පාර්ශ්ව දෙක විතරයි.

ඒ ගැන තවම නිසි පිළිතුරක් ලැබිලා නැහැ. නමුත් නුදුරු අනාගතයේ දී මේ පිළිබඳ සත්‍ය තොරතුරු එළියට ඒවී කියලා අපිට අනුමාන කරන්න පුළුවන්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<