2023 LPL තරගාවලියේ කණ්ඩායම

LPL 2023

2138

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වැනි අදියර පසුගිය ඉරිදා (20) නිමාවට පත් වූ අතර මෙම තරගාවලියට ක්‍රීඩා කළ කණ්ඩායම් පහේ ම ක්‍රීඩකයින් අතරින් විශිෂ්ටතම එකොළොස් දෙනා සමඟ තේරූ තරගාවලියේ කණ්ඩායම මෙසේයි.

මෙම තරගාවලියේ ශූරතාව දිනා ගත් B-Love Kandy සහ අනුශූරතාව දිනූ Dambulla Aura කණ්ඩායම් ද්විත්වයේ ක්‍රීඩකයින්ගෙන් තරගාවලිය පුරාවට ම විශිෂ්ට දක්ෂතා දැක ගැනීමට හැකි වූ නිසාම මෙම ක්‍රීඩකයින් එකොළොස් දෙනා අතරින් වැඩි පිරිසක් එම කණ්ඩායම් දෙකෙන් නියෝජනය වී තිබෙනවා.

1.Babar Azam (Colombo Strikers) ✈️

තරග 8 | ලකුණු 261 | ප්‍රහාරාත්මක වේගය 132.48 | වැඩිම ලකුණු 104

මෙවර තරගාවලියේ වාර්තා වූ එකම ශතකයේ හිමිකාරයා වූ පාකිස්තාන නායක Babar Azam සිය පළමු LPL තරගාවලි අත්දැකීම ඉතා විශිෂ්ට අයුරින් නිමා කිරීමට සමත් වුනා. ඔහු තරගාවලියේ දෙවැනි ඉහළම ලකුණු ලාභියා බවට ද පත් වීමට සමත් වුනා .

2.ලසිත් කෲස්පුල්ලේ (Galle Titans)

තරග 8 | ලකුණු 232 | ප්‍රහාරාත්මක වේගය 139.75 | වැඩිම ලකුණු 80

තරගාවලියේ නැගීඑන ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීමට පවා සමත් වූ කෲස්පුල්ලේ Galle Titans වෙනුවෙන් සිය පිත්ත නොකඩවා ක්‍රියාත්මක කිරීමට සමත් වුනා. Galle Titans ආරම්භක පිතිකරු භූමිකාවට පණ පෙවූ කෲස්පුල්ලේ සිය කණ්ඩායම වෙනුවෙන් තරග කිහිපයක ම වටිනා ඉනිම් දියත් කළා.

  1. දිනේශ් චන්දිමාල් (B-Love Kandy)

තරග 10 | ලකුණු 259| ප්‍රහාරාත්මක වේගය 125.12 | වැඩිම ලකුණු 50

තරගාවලියේ තෙවැනි ඉහළම ලකුණු ලාභියා බවට පත්වීමට සමත් වූ චන්දිමාල් සිය අත්දැකීම් මනා සේ කැටි කර ගනිමින් B-Love Kandy මුල් පෙළ පිතිකරුවෙකු ලෙස සිය වගකීම අකුරට ම ඉටු කිරීමට මෙවර තරගාවලියේ දී සමත් වුනා.

  1. සදීර සමරවික්‍රම (Dambulla Aura)

තරග 10 | ලකුණු 234 | ප්‍රහාරාත්මක වේගය 123.80 | වැඩිම ලකුණු 59

2022 LPL තරගාවලියේ දෙවැනි ඉහළම ලකුණු ලාභියා සහ තරගාවලියේ වීරයා බවට පත් වූ සදීර සමරවික්‍රම මෙවරත් පිතිකරණයෙන් සාර්ථක වෙමින් තරගාවලියේ ඉහළම ලකුණු ලාභීන් අතර පස්වැනි ස්ථානයට පත් වීමට සමත් වුනා.

  1. Tim Seifert (Galle Titans) ✈️

තරග 7 | ලකුණු 231 | ප්‍රහාරාත්මක වේගය 133.52 | වැඩිම ලකුණු 74

Galle Titans වෙනුවෙන් මෙවර තරගාවලියේ විශිෂ්ට ලෙස පිතිකරණයේ යෙදුණු Seifert තරගාවලියට සහභාගී වූ විදෙස් ක්‍රීඩකයින් අතරින් වඩාත් සාර්ථක වූ ක්‍රීඩකයකු ලෙස හඳුන්වා දිය හැකි.

ඔහු මෙවර තරගාවලියේ විදෙස් ක්‍රීඩකයින් අතුරින් දෙවැනියට ඉහළම ලකුණු ලබා ගත් තැනැත්තා බවට ද පත් වුනා.

  1. වනිඳු හසරංග (B-Love Kandy)

තරග 10 | කඩුලු 19 | හොඳම පන්දු යැවීම 6/9 | ලකුණු 279 | ප්‍රහාරාත්මක වේගය 189.79

තරගාවලියේ ඉහළම ලකුණු ලාභියා සහ කඩුලු ලාභියා යන කඩ ඉම් ද්විත්වයම පසු කර යෑමට සමත් වූ වනිඳු සිය හොඳම LPL තරගාවලියට මෙවර සහභාගී වූ බව සැකයකින් තොරවම සඳහන් කළ හැකි.

කණ්ඩායම් නායකයා ලෙස අවශ්‍ය මොහොතේ පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දායකත්වය ලබා දුන් වනිඳු මෙවර තරගාවලියේ පිතිකරණ අනුපිළිවෙළේ යම් උසස් වීමක් ද සමඟින් පැමිණ කලකට මතක හිටින අන්දමේ ප්‍රවේගකාරී ඉනිම් කිහිපයක් ම දියත් කිරීමට ද සමත් වුනා.

තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට වරම් නොලැබුණත් සිය කණ්ඩායම අවසන් මහා තරගය තෙක් රැගෙන ඒමේ ගෞරවය වනිඳුට හිමි වන අතරම ඒත් සමඟින් මෙම තරගාවලියේ කණ්ඩායමේ නායකත්වය ලැබිය යුතු කා හට ද යන්න පිළිබඳ නැවත නැවතත් සිතා බැලීම නම් අනවශ්‍යයි.

7.ඇන්ජලෝ මැතිව්ස් (B-Love Kandy)

තරග 11 | කඩුලු  7 | හොඳම පන්දු යැවීම 3/10 | ලකුණු 210 | ප්‍රහාරාත්මක වේගය 133.75

සිය අත්දැකීම් වල අග්‍ර ඵලය මෙවර LPL තරගාවලියේ දී තම කණ්ඩායම වෙත ලබා දීමට සමත් වූ මැතිව්ස් මෙවර තරගාවලියේ දී නැවතත් පන්දුව අතට ගැනීමට තීරණය කිරීම ද විශේෂත්වයක්.

විටින් විට ආබාධ ඇති වීම නිසා පන්දු යැවීමෙන් ඈත් වී සිටි මැතිව්ස් මෙවර තරගාවලියේ දී විශේෂයෙන්ම නව පන්දුවෙන් ප්‍රතිවාදී පිතිකරුවන් මෙල්ල කිරීමට සමත් වීම B-Love Kandy ලද විශේෂ වරප්‍රසාදයක් ලෙස සැලකිය හැකි. එමෙන්ම මෙවර මැතිව්ස් පිත්තෙන් ද සාර්ථක වීමට සමත් වූ අතර, විශේෂයෙන්ම අවසන් මහා තරගයේ වීරයා වෙමින් එම තරගය ජයග්‍රහණය කරා රැගෙන යාම වෙනුවෙන් මැතිව්ස් සිය පිත්ත ක්‍රියාත්මක කළ අයුරු අමතක කළ නොහැකි.

  1. ධනංජය ද සිල්වා (Dambulla Aura)

තරග 10 | කඩුලු  10 | හොඳම පන්දු යැවීම 4/6 | ලකුණු 192 | ප්‍රහාරාත්මක වේගය 128.85

මෙවර තරගාවලියේ දී Dambulla Aura කණ්ඩායම සතු වූ තුන් ඉරියව් තුරුම්පුව ලෙස ධනංජය ද සිල්වා හඳුන්වා දිය හැකි. අවශ්‍ය මොහොතේ පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද තම කණ්ඩායම වෙත දායකත්වය සැපයූ ධනංජය විසින් B-Love Kandy කණ්ඩායමට එරෙහිව වාර්තා කළ 4/6 පන්දු යැවීම තරගාවලියේ හොඳම ක්‍රීඩක දක්ෂතාවයන්ගෙන් එකක් ලෙස සැලකිය හැකි.

  1. Noor Ahmad (Dambulla Aura)

තරග 8 | කඩුලු 12 | ලකුණු සාමාන්‍යය 7.09 | හොඳම පන්දු යැවීම 3/27

තරගාවලියට ක්‍රීඩා කළ හොඳම විදෙස් පන්දු යවන්නකු ලෙස සැලකිය හැකි Noor ක්‍රීඩා කළ සෑම තරගයක ම පාහේ සිය වගකීම අකුරට ම ඉටු කිරීමට සමත් වූ ක්‍රීඩකයකු ලෙස හඳුන්වා දිය හැකියි

  1. නුවන් ප්‍රදීප් (B-Love Kandy)

තරග 7 | කඩුලු 14 | ලකුණු සාමාන්‍යය 8.88 | හොඳම පන්දු යැවීම 3/21

වයස යනු ඉලක්කමක් පමණක් බව ක්‍රියාවෙන් ම ඔප්පු කිරීමට 36 හැවිරිදි නුවන් ප්‍රදීප් මෙවර LPL තරගාවලියේ දී සමත් වුනා. තරගාවලියේ දෙවැනි ඉහළම කඩුලු ලාභියා මෙන්ම, වැඩිම කඩුලු ලාභී වේගපන්දු යවන්නා බවට ද පත් වීමට සමත් වූ නුවන් ශ්‍රී ලංකාවේ වේගපන්දුව වෙනුවෙන් ධනාත්මක සලකුණු පෙන්වීමට සමත් වුනා.

  1. Naseem Shah (Colombo Strikers)

තරග 7 | කඩුලු 10 | ලකුණු සාමාන්‍යය 7.32 | හොඳම පන්දු යැවීම 2/19

පාකිස්තාන යොවුන් වේගපන්දු යවන්නා මෙවර තරගාවලියේ දී Colombo Strikers වෙනුවෙන් වටිනා කාර්ය භාර්යයක් ඉටු කිරීමට සමත් වුනා. විශේෂයෙන්ම නව පන්දුවෙන් ප්‍රතිවාදී පිතිකරුවන් දමනය කිරීමට තමන්ට ඇති හැකියාව ඔහු මෙම තරගාවලියේ දීත් මනාවට ඔප්පු කිරීමට සමත් වුනා.

මේ මෙවර LPL තරගාවලිය වෙනුවෙන් ThePapare.com නම් කරන කණ්ඩායමයි. දැන් ඒ පිළිබඳ ඔබේ අදහස් දක්වන්න වගේම ඔබේ තරගාවලි කණ්ඩායමත් නම් කරන්නත් අවස්ථාව හිමි වනවා!

මෙවර LPL තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති, තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සමත් වූවා සේම, ඉදිරියේ දීත් ඔබ හා සමීපව ඔබව යාවත්කාලීන කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<