සිදත්.. ඔව් ඔහු ශ්‍රේෂ්ඨතමයෙක්…

559

ලෝඩ්ස් පිටියේ දීර්ඝතම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කිරීමේ වාර්තාව උසුලන්නේ ශ්‍රී ලාංකිකයෙකු විසින් යැයි මා කිවහොත් ඔබ මවිතයට පත් වනු ඇත. ඒ වාර්තාව 1984 වර්ෂයේ පිහිටවූ එකක් බවත්, මේ දක්වා වසර 35ක් අඛණ්ඩව එම වාර්තාව නොබිඳී පවතින බවත් මා කිවහොත් ඔබ වඩාත් මවිතයට පත්වනු ඇත..

මෙම සුවිශේෂී වාර්තාවට හිමිකම් කියන ක්‍රීඩකයා සිදත් වෙත්තමුනි ය.

මහත්වරුන් අතර මහත්මයෙකු ලෙස ක්‍රිකට් ලොවෙහි පමණක් නොව ව්‍යාපාරික ලෝකය තුළත් ඉතා ඉහළින් පිළිගන්නා සිදත් ජන්ම ලාභය ලැබුවේ 1956 වසරේ අගෝස්තු මස 12 වන දින කොළඹ දී ය.

තම පාසල් දිවිය කොළඹ ආනන්ද විද්‍යාලයේ ගත කළ ඔහු ආනන්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම්වල සාමාජිකත්වය දැරීමෙන් අනතුරුව 1975 වසරේ දී ආනන්දීය පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරමින් සුලෝහිත සංග්‍රාමයේ දී නාලන්දා කණ්ඩායමට එරෙහිව ආනන්ද කණ්ඩායම මෙහෙයවීය.

හදිසියේම පහළ වුණු ඉසුරු උදානය

මෑත කාලේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ලබලා …..

ආනන්දයට ආනන්දයක් වෙමින් පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වීමෙන් පසුව 1975/76 තරග සමය වෙනුවෙන් පළමු පෙළ පිටියට පිවිසි සිදත් 1982 වසරේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සමත් විය. 1982 වසරේ පෙබරවාරි මස 13 වැනිදා එංගලන්ත කණ්ඩායමට එරෙහිව සිය පළමු එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගී වූ ඔහු පෙබරවාරි 17 වැනිදා එංගලන්තය සමඟින් තම මංගල ටෙස්ට් තරඟයට සහභාගී විය. සිදත්ට පමණක් නොව මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටම මෙම තරගය සුවිශේෂී එකක් වූයේ මෙය ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමි වූ තරගය වූ බැවිනි.

සිදත්ගේ ක්‍රිකට් දිවියේ ස්වර්ණමය අවස්ථාව එළඹෙන්නේ 1984 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී ය. එවකට ශ්‍රී ලංකා කණ්ඩායම එතරම් ප්‍රබල කණ්ඩායමක් වශයෙන් නොසැලකුන අතර විදේශ සංචාරවල දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණේ එක ටෙස්ට් තරගයක් පමණි.

මේ හේතුව නිසාම එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සිටියේ තරමක කණස්සල්ලෙනි. ඔවුන්ට ලැබී තිබුණ පිළිගැනීමට වඩා වැඩි පිළිගැනීමක් ජාත්‍යන්තර පිටිය තුළ ලැබිය යුතුව තිබුණු බව ඔවුන්ගේ විශ්වාසය විය. මේ හේතුව නිසාම 1984 එංගලන්ත සංචාරයට එක් වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් සිටියේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට තමාට අවස්ථාවක් ලැබෙන තෙක් ය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේ එවකට ටෙස්ට් පිටියේ ප්‍රභලතම වේගපන්දු යවන්නන් වූ පිලිප් ඇග්නව්, ඉයන් බොතම් ප්‍රමුඛ පන්දු යැවීමේ බලඇණියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් අඩපණ කිරීමේ අරමුණ සහිතවය.

නමුත් ආරම්භක පිතිකරුවෙක් ලෙස පිටියට පැමිණි සිදත් වෙත්තමුනි විසින් 1984 එංගලන්ත ගිම්හාන සමයේ පිතිකරුවෙකු ක්‍රීඩා කළ විශිෂ්ටතම ඉනිම තම නම ඉදිරියෙන් සනිටුහන් කරගනිද්දී ඔහු ඉදිරියෙන් ලකුණු 190ක් ලියැවුනේ එදා මෙදා තුර ලෝඩ්ස් පිටියේ පිතිකරුවෙකු ක්‍රීඩා කළ දීර්ඝතම ඉනිමේ වාර්තාව ද ඔහුගේ නම ඉදිරියෙන්ම ලියා තබමින් ය.

මිනිත්තු 637ක් පුරා ඇදී ගිය එම චමත්කාරජනක ඉනිම ගැන සිදත්ගේ මතකය මෙසේ ය.

සෑම පිතිකරුවෙකුටම තමන්ගේ මනස හොඳින් එක්තැන් වෙලා ක්‍රීඩා රටාවෙ උපරිමයට එන දවස් තියෙනවා. පාද චලනය ඉතා හොඳින් සිදුවුනත් මනස එකතැන නොපවතින සමහර දවස් තියෙනවා.

එදා මගේ ශරීරයත් මනසත් හොඳින් එක්ව ක්‍රියා කළ දවසක්. මම ආයාසයකින් තොරවයි ක්‍රියා කළේ. මම  පහරවල් ගොඩක් ඉල්ල කළ නිසා මට පහර වැරදියි කියල හිතල ඔවුන් දිගින් දිගටම මට පිට ඉන්නට ඉවතින් පන්දු යැව්වා.

මම හිතන්නේ අපි කිහිප දෙනෙකුම පුදුමයට පත් කළා වගේම අපව ගණන් ගත යුතු බලවේගයක් වශයෙන් අනාගතයේ හඳුනාගත යුතු බවටත් මිනිසුන්ට තේරුම් කළා.

84 වසරේ එම තරඟයේ දී තම මංගල ටෙස්ට් තරගයට සහභාගී වූ එවකට 18 හැවිරිදි වියේ හුන් තවත් සුවිශේෂී පිතිකරුවෙකු පිළිබඳව සිදත් සඳහන් කළේ මෙලෙසින්.

අරවින්ද ගැන අපි ඒ කාලෙ ඉඳන්ම දැනගෙන හිටියා ඔහු යම් දිනෙක ක්‍රිකට් ලොවේ විශිෂ්ටයෙක් වෙන බව. ඔහු වයස 18 සිටම නිර්භය ක්‍රීඩකයෙක් වගේම ක්‍රිකට් පොතේ තිබෙන සියලුම පහරවල් එල්ල කළ ක්‍රීඩකයෙක්. ඔහුගේ ඇසෙහි සහ පාද චලනයෙහි තිබූ වේගවත් බව අද්විතීයයි.

මට මතකයි ලෝඩ්ස් තරඟයට පෙර තරගයේ දී ලකුණු 30ට කඩුලු 3ක් දැවී තිබුණ අවස්ථාවක ඔහු පිටියට ඇවිත් මාත් සමඟ එකතු වෙලා ලොකු සම්බන්ධතාවයක් ගොඩනැඟුවා. ඔහු ක්‍රීඩා කළේ නිවාඩුවක් ගතකරනවා වගේ සැහැල්ලුවකින්.

බලන් ඉන්න ආස හිතෙන ඉතා ධෛර්‍යමත් ක්‍රීඩකයෙක්. කවුරු හරි මගෙන් ඇහුවොත් ඔයා කවුරු සෙල්ලම් කරනවා බලන්න ද කැමති කියල, ඕනෑම දවසක මගේ උත්තරේ වෙන්නෙ අරවින්ද ද සිල්වා කියන එක.

© kookaburra.biz

1983 වසරේ ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ශ්‍රීමත් ගැරී සෝබර්ස් (ගාෆීල්ඩ් සෝබර්ස්) ය. ඔහු ගැන සිදත්ගේ මතකයේ ඇත්තේ මේ අයුරිනි.

ඔහු ක්‍රීඩා පිටිය තුළත්, ඉන් ඉවතදීත් විස්මය දනවන කෙනෙක්. ඔහු සතුව තිබුනා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ රසවත් කතා විශාල ප්‍රමාණයක්. අපි එක ප්‍රාන්තයක සිට තවත් ප්‍රාන්තයකට ගමන් කරනකොට වාහනය තුළ දී ඔහුගේ කතාවලින් ඔහු අපිව විනෝදමත් කරනවා.

තණතීරු පිළිබඳව ඔහු සතුවූ දැනුම ආශ්චර්යවත්. මට මතකයි එක වරක් අපි වැස්සෙන් තෙත් වුන තණතීරුවක ක්‍රීඩා කිරීමට ගියා. එය අපි මිශ්‍ර වී ක්‍රීඩා කළ තරගයක්. ඔහු තෙත් වූ තණතීරුව වෙතට ගිහින් දුලිප් (දුලිප් මෙන්ඩිස්) ගෙන් ඇහුවා මොකක්ද කරන්න යන්නේ කියලා. මමත් ඒ අසලම හිටියා. අපි කිව්වා තණතීරුව තෙත නිසා අපිට ඕන පන්දු රකින්න කියලා.

ඒ වෙලාවෙ ඔහු සිනාවෙලා කිව්වා මම ඔබ වුනා නම් මම නම් කරන්නේ පන්දුවට පහර දෙන එක කියලා. අපි පුදුම වුනා. ඔහු කිව්වා උදයවරුවේ තණතීරුව මෘදු නිසා ඔබට ශාරීරිකව අනතුරක් වෙන්නේ නැහැ, ඒත් හවස් වරුවේ තණතීරුව වේලිලා කඩතොළු වල ඝන බව වැඩි වුනාම පන්දුව එහා මෙහා ඉපිලෙන්න පුළුවන් කියලා. ඉතින් අපි ඔහුගේ උපදෙස් අනුගමනය කළා.

ඔහු කියපු විදිහටම අසන්ත යවපු පන්දු ප්‍රතිවාදීන් දෙතුන් දෙනෙකුගේම ශරීර වල වැදුනා. ඒ වගේමයි ඔහු අපිට විශාල ආත්ම විශ්වාසයක් ලබා දුන්නා. සර් ගැරී සෝබර්ස් ඔබත් එක්ක ඉන්නවා කියන හැඟීම අපිට තිබුණා.

© emirates247.com

සිදත් තාක්ෂණයෙන් පිරිපුන් ක්‍රීඩකයෙකි. පන්දුව බිම දිගේ එල්ල කරමින් ලකුණු රැස් කිරීම ඔහුගේ විශේෂත්වයක් විය. ජාත්‍යන්තර පිටියේ ඔහු එල්ල කළ එකම හයේ පහර පසුපසත් රසවත් කතාවක් ඇත.

එය එංගලන්තයට එරෙහි තරගයක්. මගේ බිරිඳ ඒ කාලෙ මගේ පෙම්වතිය. මම ඇයට කිව්වා ඔබ තරගය නරඹන්න ආවම මම හයේ පහරක් එල්ල කරනවා කියලා. මම දැක්කා මිඩ් විකට් කලාපයේ ඉඳන් ඇය තරගය නරඹනවා. මම කැප් එක ඔසවලා ඇයට සංඥා කරලා ඊළඟ පන්දුවේ දි බොතම්ට (ඉයන් බොතම්) මිඩ් විකට් වලින් හයේ පහරක් එල්ල කළා.

1987 ජනවාරි 17 වන දින ඉන්දියාව සමඟ ක්‍රීඩා කළ එක්දින තරගයත් සමඟින් ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සමුදුන් සිදත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නියෝජනය කරමින් එහි තරග තීරක වරයෙක් ලෙස 1997 වසරේ දී ටෙස්ට් තරග 2ක් සහ එක්දින තරග 10කට සහභාගී වී තම දායකත්වය සපයා ඇත.  

කැප් එක දාගෙන බස් එකේ ගිය වාස්

ශ්‍රී ලංකාව බිහි කළ සාර්ථකම වේගපන්දු යවන්නා ……..

1996 වසරේ ලෝක කුසලානය නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් තම දායකත්වය සැපයීමට ද සිදත්ට හැකි විය. එහි දී ඔහු ක්‍රියා කළේ කණ්ඩායමේ පිල්-කොම් කළමණකරු ලෙසය. එනම් ලෝක කුසලාන සංවිධායක කමිටුවේ ශ්‍රී ලංකාව නියෝජනය කළ කළමනාකරුවා ලෙසය. එම තනතුරට අමතරව ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස ද ඔහු ක්‍රියා කළේය.

තරගාවලිය පිළිබඳව සිදත් තම මතකයන් අවධි කරන්නේ මෙලෙසින්.

සැබැවින්ම එම තරගාවලියට සහභාගී වීමට ලැබීම මට හොඳ අවස්ථාවක්. එය සිහින තරගාවලියක්. තරගයෙන් තරගය අපේ කණ්ඩායම කුසලානය වෙත ළා වෙන බව පෙනෙන්නට තිබුණා.

1996 ලෝක කුසලාන තරඟාවලියේ දී සමස්ත තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් සනත් ජයසූරිය පිළිබඳව රසවත් අත්දැකීමක් ඒ අතරතුර දී සිදත් මෙසේ සිහි කරයි.

ඒ කාලය වන විට ඔහු තදින් පන්දුවට පහර දෙමින් සිටියා. ඒ වගේම ලෝකයට ඒක අලුත්ම දෙයක් වුනා. මට මතකයි අපි එංගලන්තය සමඟින් තරග වැදීමට ගුවන් යානයකින් පියාසර කරමින් සිටියේ ෆයිසලාබාද් වෙත. ඔහු මට යාබද ආසනයේ ඉඳගෙන සිටියේ. මම පැළඳගෙන හිටියෙ ලොන්ජින් වර්ගයේ අත් ඔරලෝසුවක්. සනත් ඒ දිහා බලලා මගෙන් ඇසුවා

ඇයි ඔබ මට ඔය වගේ එකක් අරන් දෙන්නෙ නැත්තෙ?’

කියලා. මම ඔහු දිහා බලල කිව්වා

හරි, අපි බලමු. ඔබ පන්දුවාර 15ක් පිතිකරණයේ යෙදුනොත් මම ඔබට ඔරලෝසුව අරන් දෙනවා. නමුත් ඔබට පන්දුවාර 15ක් ක්‍රීඩා කරන්න නොහැකි වුනොත් ඔරලෝසුව ලැබෙන්නේ නැහැ

කියලා.

© sportskeeda.com

ජයසූරිය එම වකවානුවේ පන්දුවට පහර දෙමින් සිටි ආකාරය අනුව පන්දුවාර 15ක් නොදැවී කඩුල්ලේ රැඳී සිටියා නම් ලකුණු පුවරුවට සිදුවන දෙය ගැන මෙහි සඳහන් කළ යුතු නොවේ. තියුණු ක්‍රිකට් බුද්ධියක් සහිත සිදත් ඒ අවස්ථාවේ දී උත්සාහ කරන්නට ඇත්තේ ජයසූරියගෙන් ලබා ගත හැකි උපරිමය කණ්ඩායම වෙත ලබා ගැනීමටයි.

පසුව ඒ තරගයේ දී සනත් එංගලන්ත පන්දු යවන්නන්ට ඉතා තදින් පහර දුන්නා. එහි දී ඔහු ලකුණු 86ක් හෝ 88ක් ලබා ගත්තත් ඔහු ක්‍රීඩා කළේ පන්දුවාර 12ක් පමණයි. මට හොඳින් මතකයි ඔහු දැවී ගිහින් කෙලින්ම ඇවිදන් ආවෙ මා වෙත. ඇවිත් මගෙන් ඇහුවෙ

ඔබ මට ඔරලෝසුව අරන් දෙනවද?’

කියලා. මම ඔහුට කිව්වා

ඔබ පන්දුවාර 15ක් ක්‍රීඩා කළේ නැහැ. ඒ නිසා ඔබට ඔරලෝසුව ලැබෙන්නේ නැහැ

කියලා. කොහොම වුනත් පසුව මම ඔහුට ඔරලෝසුව අරන් දුන්නා.

සිදත් එසේ පවසන්නේ සිනා මුසු මුහුණෙන්..

එම තරගාවලියේ අලංකාරය වුනේ එය තනි පුද්ගලයෙකුගේ වික්‍රමයක් නොවුන නිසා. තරගයකට ක්‍රීඩා කළ 11 දෙනාගෙන් සෑම කෙනෙක්ම යම් අවස්ථාවක යම් දෙයක් කරලා ජයග්‍රහණය වෙනුවෙන් දායක වුනා. එංගලන්ත තරගයේ දී වුනත් එක් අවස්ථාවක තරමක් අසීරු වෙනකොට රොෂාන්, හෂාන් ඇවිත් තරගය හරවලා දුන්නා. කුමාර් ධර්මසේන පවා එහි දී වැදගත් දායකත්වයක් ලබා දුන්නා.

© cricketique.wordpress.com

1999 වසරේ දී සිදත්ගේ සභාපතිත්වයෙන් යුතු තේරිම් කමිටුව ටෙස්ට් හා එක්දින කණ්ඩායම් දෙකෙහිම නායකත්වය ජයසූරිය වෙත පවරනු ලැබීය. ජ්‍යේෂ්ඨයින් සිටින විට නායකත්වයට ඔහු පත්කිරීම පිළිබඳව සිදත් දක්වන්නේ මෙවැනි අදහසක්.

අපට සිතුනා වෙනසක් සිදු කළ යුතුයි කියලා. සමහර දේවල් සිදුවෙමින් තිබුනෙ සිදු විය යුතු ආකාරයට නොවෙයි. නායකයා වශයෙන් තෝරන්නෙ රොෂාන් ද සනත් ද කියල ප්‍රශ්නයක අපි හිටියේ. මගෙ හිත කිව්වෙ රොෂාන් කියල. නමුත් අපි සාමූහිකව තීරණය කළා සනත්ට ඒක ලබා දෙන්න. එය ඉතා සාර්ථක වුනා. අපි එක දිගට ටෙස්ට් තරග 10ක් ජයග්‍රහණය කරන්න සමත් වුනා.

ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකත්වයෙන් ඔබ්බට ගොස් එහි සභාපති ධූරය පවා දැරූ සිදත් කණ්ඩායමක් තේරීම පිළිබඳව දරන අදහස ඉතා වැදගත් ය. කණ්ඩායමක දිගුකාලීන සාර්ථකත්වයට බලපාන රහස ඔහු මෙසේ හෙළි කරයි.

ඔබ හොඳ ක්‍රීඩකයන් දෙතුන් දෙනෙකු තේරුවොත් ඔවුන් වසර 10ක් විතර කණ්ඩායම ඇදගෙන යනවා. සාමාන්‍යයෙන් හොඳ ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරන්නෙ වසර 10ක් 15ක් වගේ කාලයක්. ඔබ දක්ෂයින් නිවැරදිව හඳුනාගෙන නිවැරදි කාලයේ කණ්ඩායමට යොමු කළොත් ඔවුන් ඒකාන්තයෙන් ම විශිෂ්ටයන් වෙනවා.

Sources – espncricinfo.com / wisden.com

Photo credits for cover image – espncricinfo.com / thesundayleader.lk

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<