ජ්‍යෙෂ්ඨ පිතිකරුවාට දකුණු අප්‍රිකානු සංචාරය අහිමි වෙයි

388

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙකු මෙන්ම කණ්ඩායමේ අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් හට සිය ආබාධ තත්වය නිසාවෙන් දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතයෙන් ඉවත් වීමට සිදුව ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (13) පැවති ප්‍රථම අවසන් පූර්ව තරගයේ පන්දු යැවීම සිදු කරන අතරතුර දී නැවත වරක් පාදයේ ආබාධයකට ගොදුරු වීම නිසා පන්දුවාර 3.1 යැවීමෙන් අනතුරුව පිටියෙන් ඉවත් වීමට මැතිව්ස්ට සිදු වූ අතර එම ඉවත් වීමෙන් පසු නැවත වරක් ඔහු පන්දු යැවීම සඳහා පැමිණියේ නැත.

පසුව සිය කණ්ඩායම ලද තියුණු පරාජයෙන් පසු සිය ආබාධය පිළිබඳව අදහස් දක්වමින් එය තරමක බරපතළ එකක් බව මැතිව්ස් ප්‍රකාශ කර සිටි අතර පසුව අද (14) උදෑසන ඔහුට දකුණු අප්‍රිකානු සංචාරය අහිමි වෙන බව නිවේදනය කරන ලදි.

මැතිව්ස්ගේ මෙම ඉවත් වීම දකුණු අප්‍රිකාව බලා පිටත් වන ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් වන අතර සිය කණ්ඩායමේ අත්දැකීම් බහුලතම පිතිකරුවාගේ සේවය අහිමි වීම පිළිබඳව ThePapare.com වෙත අදහස් දක්වමින් තේරීම් කමිටු ප්‍රධානී අසන්ත මෙල් මහතා මෙලෙස අදහස් දක්වන ලදි,

“පාදයේ ඇතිවූ ආබාධය නිසාවෙන් ඔහු (මැතිව්ස්) දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සහභාගී වන්නේ නැහැ. නමුත් අපි උත්සහ කරනවා එංගලන්ත ටෙස්ට් තරගාවලියට පෙර ඔහුව සුව කරගැනීමට. අප කණ්ඩායමේ කළමනාකරුවන් සමඟින් සාකච්ඡා කර ඔහුට ආදේශයක් අවශ්‍ය දැයි සොයා බලනවා දැනටමත් 22 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර සිටින නිසා.”

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:  

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කර ලෝක ටෙස්ට් ශූරතාවයට අදාළව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 22 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කල අතර එම කණ්ඩායම පසුගිය මාසයේ මහනුවර දී පුහුණු සැසියක් සඳහා ද සහභාගි විය.

මීට අමතරව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භ පිතිකරුවෙකු ලෙස කටයුතු කළ ඕෂද ප්‍රනාන්දු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුල් තරගයේ දී ආබාධයකට ලක් වීම නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වූ අතර එම ආබාධ තත්වය නිසාවෙන් ඔහුට බොහෝ විට දකුණු අප්‍රිකානු සංචාරයේ මුල් තරගය අහිමි වීමට වැඩි ඉඩකඩක් පවතී.

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලියකට සහභාගි වූ අවසන් අවස්ථාවේ දී 2-0ක් ලෙස සුවිශේෂී ජයක් ලබා ගැනීමට සමත් වූ අතර එම තරගාවලිය සඳහා ද ආබාධයක් නිසාවෙන් ඇන්ජලෝ මැතිව්ස් සහභාගි වූයේ නැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<