හැව්ලොක් ක්‍රීඩකයෝ වැලිසර ගිනියම් කරති

343

2018/19 ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ පෙරළිකාරම සති අන්තය වූ දෙවන වටයේ දෙවන සතියේ අවසන් තරගය අද (13) පැවැත්වුණේ ප්‍රබල නාවික හමුදා ක්‍රීඩා සමාජය හා ප්‍රබල හැව්ලොක් ක්‍රීඩා සමාජය අතරයි. වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු එම තරගය ජය ගැනීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් වූයේ ලකුණු 31-20ක් ලෙස නාවිකයින් පරාජය කරමිනි.

මේ තරගය කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් වුණේ ඊයේ (12) මහනුවර ක්‍රීඩා සමාජය නොසිතූ ලෙස යුධ හමුදා ක්‍රීඩා සමාජය හමුවේ පරාජය වූ නිසා මෙම කණ්ඩායම් දෙකටම ශූරතාවය සඳහා දොරගුළු විවර වීම නිසාවෙනි.

>>වසර දෙකකට පසු මහනුවර ඔටුන්න බිම වැටේ

රීසා මුබාරක්ගේ පා පහරින් ආරම්භ වූ තරගයේ ආරම්භයේම සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගනිමින් නාවික හමුදා කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට හැව්ලොක් ක්‍රීඩකයින් සමත් විය. තෙවැනි මිනිත්තුවේ දී ම සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදාගෙන Rolling Maul අවස්ථාවක් මගින් මීටර 30ක් පමණ ඉදිරියට ගිය ඔවුන් සිතුම් පීරිස්ගේ සුරතින් ලකුණු රැස් කරන්නට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරන්නට රීසා මුබාරක් හට බුද්ධිම පියරත්න ඉඩ ලබා දුන්නේ නැත. (හැව්ලොක් 05-00 නාවික)

5 වන මිනිත්තුවේ දී දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කරමින් තිළිණ වීරසිංහ නාවික හමුදා ලකුණු පුවරුව ද ක්‍රියාත්මක කළේ උණුසුම් සටනකට දොරගුළු විවර කරමිනි. (හැව්ලොක් 05-03 නාවික)

අනතුරුව ගත වූ මිනිත්තු කිහිපය පුරා නාවික හමුදා ක්‍රීඩකයින් හැව්ලොක් අර්ධයේ ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර ප්‍රබල හැව්ලොක් ආරක්ෂක වළලු බිඳ දමමින් චරිත් සිල්වා අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් විය. හැව්ලොක් ක්‍රීඩකයින් පෙරළා යමින් ඔහු ලකුණු රැස් කරද්දී තිළිණ අමතර ලකුණු රැස් කරන්නට සමත් විය. (හැව්ලොක් 05-10 නාවික)

15 වන මිනිත්තුවේ දී රදීෂ සෙනෙවිරත්න හට කහ කාඩ්පතක් දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු තීරණය කළේ මීළඟ මිනිත්තු 10 පුරාවට හැව්ලොක් කණ්ඩායමට ප්‍රබල වාසියක් හිමි කර දෙමිනි.

>>දෙවැනි අර්ධයේ දී CH පෙරමුණ ගනී

දඬුවම් පහරක් Scrum අවස්ථාවක් ලෙස ලබා ගත් හැව්ලොක් ක්‍රීඩකයින් සිය ප්‍රබල ඉදිරිපෙළ මගින් නාවික හමුදා ඉදිරිපෙළ මර්දනය කළ අතර දිනුක් අමරසිංහ හා මිතුන් හපුගොඩගේ අලංකාර පන්දු හුවමාරුවකට පසු රීසා මුබාරක් සුපිරි උත්සාහක දිනුමක් රැස් කරන්නට සමත් විය. එහි ප්‍රවර්තනය ද ඔහු විසින්ම අලංකාර ලෙස ගෝල කණු අතරින් පා කර හරින ලදි. (හැව්ලොක් 12-10 නාවික)

ඊට මිනිත්තුවකට පසු හැව්ලොක් නායක නිරෝෂන් ප්‍රනාන්දුගේ පන්දු යොමු කිරීමක් මිතුන් හපුගොඩ හට මග හැරුණේ පහසු ලකුණු පහක් හැව්ලොක් කණ්ඩායමට අහිමි කරමිනි.

නාවික හමුදා ක්‍රීඩකයින් පසුපසට ඇද දමමින් හැව්ලොක් ඉදිරිපෙළ ලකුණු රැස් කළේ අස්මීර් ෆාජුඩින්ගේ සුරතිනි. රීසා අමතර ලකුණු එකතු කිරීමට සමත් වූයේ නැත. (හැව්ලොක් 17-10 නාවික)

නාවික හමුදා ඉදිරිපෙළට වඩා කිලෝග්‍රෑම් 30ක් පමණ බරකින් යුතු වූ හැව්ලොක් ඉදිරිපෙළ තමන්ට අවස්ථාව ලැබුණු අවස්ථා දෙකේ දී ම අලංකාර ලෙස Rolling maul මගින් ලකුණු රැස් කළේ නාවික හමුදා ඉදිරිපෙළ පහසුවෙන් මර්දනය කරමිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

අනතුරුව අදිශ වීරතුංගගේ අතපසුවීමක් වාසියට හරවා ගත් මිතුන් හපුගොඩ සුපිරි ධාවනයක යෙදෙමින් නැවත වතාවක් ලකුණු රැස්කළේ නාවික හමුදා ක්‍රීඩකයින් දැඩි පීඩනයකට ලක් කරමිනි. අදිශගේ පන්දු යොමු කිරීම හපුගොඩගේ අතටම පතිත වූ අතර ඔහු ඉන් උපරිම ප්‍රයෝජන ගන්නට සමත් විය. රීසා අලංකාර පා පහරකින් අමතර ලකුණු රැස් කරන්නට සමත් විය. (හැව්ලොක් 24-10 නාවික)

මිනිත්තු පහක් පමණ නාවික හමුදා ක්‍රීඩකයින් ප්‍රබල ලෙස ලකුණු රැස් කිරීමට උත්සාහක කළ අතර අවසන් මොහොතේ තිළිණ වීරසිංහගේ පන්දු යොමු කිරීමක් වැරදි ගියේය.

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 10 (1T, 1C, 1P) – 24 (4T, 2C) හැව්ලොක් ක්‍රීඩා සමාජය

ඉලක්කයක් සහිතව දෙවන අර්ධයට පිවිසුණු නාවික හමුදා ක්‍රීඩකයින් හැව්ලොක් ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තිළිණ වීරසිංහ දඬුවම් පහරකින් ලකුණු රැස් කළේ සේනාල් ධීලක හට හිමි වූ කහ කාඩ්පතකින්  ලැබුණු වාසිය උපයෝගී කර ගනිමිනි. (හැව්ලොක් 24-13 නාවික)

තවදුරටත් එම වාසියෙන් උපරිම ප්‍රයෝජන ගත් ඔවුන් 49 වැනි මිනිත්තුවේ දී ලකුණු රැස් කළේ කසුන් ද සිල්වාගේ උත්සාහයෙනි. නාවිකයින් නැවතත් තරගයට රැගෙන එමින් නායක වීරසිංහ අමතර ලකුණු ද එකතු කිරීමට සමත් විය. (හැව්ලොක් 24-20 නාවික)

නාවික හමුදා නායක තිළිණ වීරසිංහගේ අසාර්ථක පා පහරක් නිසා ලැබුණු අවස්ථාවක් අනගි ලෙස ප්‍රයෝජනයට ගත් හැව්ලොක් ඉදිරිපෙළ ක්‍රීඩකයින් නැවත වතාවක් ක්‍රියාත්මක වී ලකුණු රැස් කළේ ලසිඳු ඉශාන් කරුණාතිලකගේ උත්සාහයෙනි. අදිශ වීරතුංග නොමග යවමින් ලසිඳු ලකුණු රැස් කරද්දී රීසා අමතර ලකුණු ද එකතු කරන්නට සමත් විය. (හැව්ලොක් 31-20 නාවික)

74 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායමට කහ කාඩ්පතක් හිමි වූ අතර එහි වාසියෙන් නාවික හමුදා ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් සීමාව අසලටම ගියත් දරුණු සටනක් දුන් හැව්ලොක් ක්‍රීඩකයෝ ඔවුන් හිස් අතින් හරවා එවන්නට සමත් වූහ.

අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 20 (2T, 2C, 2C) – 31 (5T, 3C) හැව්ලොක් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – සිතුම් පිරිස් (හැව්ලොක්)   

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • හැව්ලොක් ක්‍රීඩා සමාජය – සිතුම් පීරිස් (1T), රීසා මුබාරක් (1T, 3C), අස්මීර් ෆාජුඩින් (1T), මිතුන් හපුගොඩ (1T), ලසිඳු කරුණාතිලක (1T)
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය –  තිළිණ වීරසිංහ (2P, 2C), චරිත් සිල්වා (1T), කසුන් ද සිල්වා (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<