ලංකාවේ ප්‍රථම නොනිල ටෙස්ට් තරගේ ක්‍රීඩා කළේ කඳුරු බෝලෙකින්

276

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල පසුගිය දා පැවැත්වුනා. ඒ සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන නමින්. සබුද්ධි සාහිත්‍ය කවය සංවිධානය කළ මේ සම්මාන උළෙලේ ප්‍රධාන දෙසුම පැවැත්වූයේ සම්මානිත චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින්. 

එහි දී එතුමන් සභාව අමතමින්,

“සබුද්ධි සාහිත්‍ය සම්මාන උළෙලේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා මට ආරාධනා කළ අවස්ථාවේ දී ම මම මේ කාර්යයේ සංඥාර්ථය කොළයක ලියා ගත්තා. ඒ ‘ක්‍රීඩාවේ වෙනත් දවසක්’ යනුවෙන්. සාමාන්‍යයෙන් ක්‍රීඩාව සිදුවන ක්‍රීඩාවේ වෙනත් දේවල්වලට අපි එච්චර ම සම්බන්ධ නැහැ. ක්‍රීඩා‍ව සිදු වන අවස්ථාවේ දී අපි ක්‍රීඩාව හා සම්බන්ධ වන එකම විධිය ක්‍රීඩාව රසවිඳින ආස්වාදනය කරන ප්‍රේක්ෂකයෙක් ලෙසින් පමණයි. 

ප්‍රේක්ෂකයෙක් ක්‍රීඩාව රසවිඳින විට එහි ප්‍රබෝධය දැනෙන්නේ ශරීරයට. ක්‍රීඩාව මනසට, හදවතට දැනීම වෙනස්ම සුවිශේෂි කරුණක්. නමුත් ශ්‍රී ලංකාවේ දී නම් ක්‍රීඩාව මනසට හා හදවතට දැනෙන ආකාරයෙන් පවත්වා ගෙන යාම සුලබ කරුණක් නෙමෙයි. ඉතා පැහැදිලිව ක්‍රීඩා සාහිත්‍යය යන සංකල්පයම ක්‍රීඩාවට වැඩි දෙයක්. ක්‍රීඩා විද්‍යාව, ක්‍රීඩා ඉතිහාසය, ක්‍රීඩා සන්නිවේදනය යනාදි වශයෙන් මේ සියලුම කරුණු ක්‍රීඩා සාහිත්‍යයෙහි අන්තර්ගත වෙලා තියෙනවා. 

ක්‍රීඩා සාහිත්‍යය වෙනම විෂය ධාරාවක් ලෙසින් ලෝකයේ වර්ධනය වෙන්නේ 18 වැනි සියවසේ අගභාගයේ දී බටහිර කේන්ද්‍ර කර ගනිමින්. 19 වැනි හා 20 වැනි සියවස්වල දී එම එළඹුම ඉතාම තීව්‍ර ස්ථානයකට පැමිණෙනවා. අපි මේ ජීවත් වන 21 වැනි සියවසේ දී එය ඉතාම ප්‍රචලිත දෙයක්. නමුත් ශ්‍රී ලංකාවේ හැර. ඒ අනුව එම හිස්තැන පුරවමින් ශ්‍රී ලංකාව ක්‍රීඩා සාහිත්‍යය නිල වශයෙන්ම එළඹෙන දවස තමයි අද. 

මීට පෙර කිසිම අවස්ථාවක රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රීඩා සාහිත්‍යය ගැන මෙබඳු සම්මාන ප්‍රදානයක් පැවැත්වී නැහැ. එවැනි පසුබිමක රාජ්‍ය ක්‍රීඩා සාහිත්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා අනුග්‍රහය ලබා දෙමින් එළඹීම මෙහි වටිනාකම රාජ්‍ය විසින් වටහා ගැනීමක්. එය අගය කළ යුතු කරුණක්. ඒ නිසා අද යම් බීජයක් රෝපණය කරන දවසක්. ඉතා සරල භාෂාවෙන් කිව්වොත් යම්කිසි පුණ්‍ය කර්මයක් පටන් ගන්න දවසක්. ඓතිහාසික වටිනා දවසක්.

අද අපේ සමාජයේ ජීවත් වන බොහෝ දෙනා ක්‍රීඩාව යනු කුමක් දැයි හරියටම දන්නේ නැහැ. නමුත් අපේ සමාජයේ හැම කෙනෙක් ම තරගය යනු කුමක් දැයි දන්නවා. අපේ ජීවිතයේ දී ‍පහේ ශිෂ්‍යත්වය සිට විශ්ව විද්‍යාලය දක්වාම තරගයක් තියෙනවා. පොඩි කඩේ සිට සුපිරි වෙළඳ සංකීර්ණය දක්වාම තරගයක් තියෙනවා. මාධ්‍යයේ සිට දේශපාලනය දක්වාම තරගයක් තියෙනවා. දැන් ක්‍රීඩාවත් තරගයක් තමයි. නමුත් සෑම තරගයක්ම ක්‍රීඩාවක් නෙමෙයි. තරගය සහ ක්‍රීඩාව අතර වෙනසක් තියෙනවා. ලෝකයේ මුල්වරට ක්‍රීඩාව ඇති වෙන්නෙත් මේ සංසිද්ධිය මත.

ආදි කාලීන මානවයා ජීවත් වූයේ සොබාදහම සමඟ සොබාදහමේ සංරචකයක් ලෙසින්. නමුත් මානවයා සොබාදහමට විරුද්ධව අරගල කර සොබාදහම යටපත් කර ගැනීමට කරනා උත්සාහයේ දී ඔහුට තමන් සමඟ සිටින අනෙකා සමඟ තරගයක් කිරීමට සිදු වෙනවා. 

තමන් සමඟ සිටින අනෙකා පරදවමින් වඩා ඉක්මනින් දඩයම අත්පත් කර ගන්න, නැතිනම් අනෙකාගේ දඩයම අත්පත් කර ගන්න යනාදි වශයෙන් මහා තරගයක් ඇති වෙනවා. ඒ තරගයේ නීති රීති නැහැ. ඒ තරගය සමාජයට හිතකර නැහැ. නමුත් ක්‍රීඩාව එසේ නෙමෙයි. ක්‍රීඩාවේ තරගය අප මේ දකින තරගය නෙමෙයි. ක්‍රීඩාවට තරගය අවශ්‍ය වෙන්නේ එක්තරා දුරකට සහ එක්තරා ගමනකට විතරයි. එහිත් තරගයට අදාලව ක්‍රීඩාවේ දී නීතිරීති තියෙනවා. එයින් අදහස් කෙරෙන්නේ ක්‍රීඩාවේ දී සිදු වන්නේ තරගය යුක්ති සහගත කිරීමක්. 

තවත් විශේෂාංග ලිපි:

ක්‍රීඩාව කියන්නේ කලාව, අනෙකුත් විද්‍යාවන් වගේම මහා ගැඹුරු දර්ශනයක් සහිත විෂයක්. ක්‍රීඩා පිටිය කියන්නෙම මහා සමාජයක් මුණ ගැසෙන තැනක්. නොයෙකුත් සංස්කෘති සහ වාර්ගිකයින් එකතු වන තැනක්. ඒ වගේම මේ ලෝකයේ සොයා ගන්නා චින්තන ප්‍රවාහ එකතු වන සංවාද මණ්ඩපයක්. එහි වෙනම දාර්ශනිකයින් බිහි වෙනවා. ඒ දාර්ශනිකයින් බිහි කිරීම ලෝකයේ මුල් ම ක්‍රීඩාව සමඟම සම්බන්ධ වන්නක්.

ලෝකයේ මුල්ම ක්‍රීඩාව ගල් සෙල්ලමක්. හැඩය රවුම් ගලකින් තමයි ලෝ‍කයේ මුල්ම ක්‍රීඩාව ඇති වෙන්නේ. මේ ගල් සෙල්ලම කරන විට තදබල අනතුරක් තිබුණා. එය මාරාන්තික වුනා. නමුත් එහි වැදගත්කම වන්නේ ඒ සඳහා පාදක වන සංකල්පය. එම සංකල්පය වුනේ පන්දුව. 

අදටත් ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩා බිහිව තියෙන්නේ පන්දුව සමඟ. පන්දුවේ හැඩය රවුම්. රවුම අපේ මානව චින්තනය හා බැඳුණු ප්‍රබල සංකල්පයක්. ලෝකය රවුම්.‍ ග්‍රහලෝකය රවුම්. රවුම් සමඟ අපේ චින්තනය විශාල විකාශනයකට පත් වුනා. ඒ අතරතුරේ දී තමයි ලෝකය රබර් ගස සොයා ගන්නේ. රබර් ගස සොයා ගත්ත රට ගැන විවිධ මත තිබුනත් ඒ ගස ක්‍රීඩාවේ විකාශනයට ප්‍රබල පිටිවහලක් වුනා. ඒ රබර් ගසේ කිරිවලින් සාදා ගත්ත වොලිබෝලයක් තරම් වූ පන්දුව ආශ්‍රයෙන් ක්‍රීඩා ගණනාවක් බිහි ‍වීමෙන්. 

අපේ රටට රබර් වගාව එන්නේ 1800වලදී. නමුත් අපේ රටේ පහළොස් වැනි ශතවර්ෂයේ සිටම රබර් බෝලය නැතහොත් රබර් පන්දු ගැන කියැවෙනවා. ඒක පුදුම වැඩක්. මේ පන්දුව ලෝකය පුරා ගමන් කළ පන්දුවක්. එය බම්ප් වෙන පන්දුවක්. උදාහරණයක් ලෙසින් ගිරා ‍සංදේශය ගන්න පුළුවන්.

අතු ඉති ගසාය තුරු රැසාය

හෙළන පන්දු ලෙසාය තොසාය

පැන පැන හිසාය මඟ අසාය

යන වඳුරන් නිසාය නොවලසාය

දැන් මේ කවියේ එන පන්දුව වේවැල්වලින් වැනි ද්‍රව්‍යකින් සැදු පන්දුවක් නෙමෙයි. බම්ප්වන පන්දුවක්. මේ බම්ප්වන පන්දුව ගැන කියැවෙන තවත් හොඳ උදාහරණයක් තියෙනවා හටන් කාව්‍යයක් වන දුනුවිල කාව්‍යයේ. 

සෙමින වීදියේ යන කළ බැසලා

සිට ගසන බිළිඳු පන්දුව වැරදීලා

තදින ඇවිත් මා හදතල වැදිලා

මගේ එයින තියේ ළමැදේ ගෙඩි ගැසිලා

මේ කවියේ දී වර්ණිත කාන්තාවට පයෝධර ලැබී තියෙන්නේ වීදියේ සෙල්ලම් කළ දරුවන් ගැසූ පන්දුවක් වේගයෙන් ඇවිත් පපුවේ වැදී ගෙඩි ගැසීමෙන්. එහි දී මේ පන්දුවට දරුවා පහර දෙන්නේ පයින්. ඒ කියන්නේ ක්‍රීඩාවට යොදා ගත්ත පන්දුව බම්ප්වන පන්දුවක්. අපේ රටට පන්දු ක්‍රීඩාව අමුතු ක්‍රීඩාවක් නොවන බවට එය මනා සාක්ෂියක්. 

අපේ රටේ තියෙනවා ජන ක්‍රීඩා රැසක්. මේ ජන ක්‍රීඩා අතරේ එන මට්ටකෙළිය ප්‍රබල ක්‍රීඩාවක්. මට්ටකෙළිය කියන්න් අමු ජම්බෝල ගෙඩියකින් කරන ක්‍රීඩාවක්. එයත් පන්දු ක්‍රීඩාවක්. ‍තව ක්‍රීඩාවක් තියෙනවා කොළ පන්දු නමින් ජන ක්‍රීඩාවක්. එයත් පන්දු ක්‍රීඩාවක්. එලෙසින් පන්දුව භාවිත කළ ඉතා පැරණි ජන ක්‍රීඩා රැසක් තියෙනවා. එහි විශේෂත්වය වන්නේ මේ සියලුම ජන ක්‍රීඩා සමඟ ප්‍රබල සාහිත්‍යයක් ගොඩ නැඟී තිබෙනවා. ඒ ක්‍රීඩා සාහිත්‍යයත් ජන ක්‍රීඩා සියල්ලත්ම බැඳී තියෙන්නේ සිංහල අලුත් අවුරුද්ද සමඟින්.

සිංහල අලුත් අවුරුද්ද මූලික වශයෙන්ම නැකත් උත්සවයක්. නමුත් එය අනෙක් පසින් බැලූ විට එය මහා ක්‍රීඩා උත්සවයක්. එය පැරණි විද්‍යාව සමඟ සෘජුවම සම්බන්ධ වූවක්. මේ පැරණි විද්‍යාව ගැන අලුත් විද්‍යාවෙන් ප්‍රශ්න කිරීම සුදුසු වන්නේ නැහැ. අපේ පැරණි විද්‍යාව පරීක්ෂා කළ යුත්තේ එම විද්‍යාව ඇතුළත් වන ජන සාහිත්‍යය පරීක්ෂා කිරීමෙන්. 

නමුත් ක්‍රීඩා විෂයේ දී මේ ජන ක්‍රීඩා සාහිත්‍යය ඇතුළේ ඇති විද්‍යාව තවම කිසිවෙකු පූර්ණව පරීක්ෂාවට ලක් කර නැහැ. සුළු වශයෙන් කළා නම් එයත් සිදු කළේ ක්‍රීඩා වාර්තාකරණයේ නියැලී සිටින ජනමාධ්‍යවේදීන් පමණයි. 

ඉතා පැහැදිලිව කියනවා නම් ක්‍රීඩා සාහිත්‍යය යනුවෙන් ලංකාවේ අද අපට කතා කිරීමට සුළු වශයෙන් හෝ දෙයක් ඉතිරිව තිබෙන්නේ ක්‍රීඩා මාධ්‍යවේදීන් බිහි කළ ක්‍රීඩා සාහිත්‍ය නිසාවෙන්. එය ඉතා සුළු ප්‍රමාණයක සාහිත්‍යයක් වෙන්න පුළුවන්. නමුත් ඒ සුළු සාහිත්‍යය බිහි කිරීමට ක්‍රීඩා මාධ්‍යවේදීන් කළ මෙහෙය ඉතා විශාලයි. මම එක් උදාහරණයක් කියන්නම්. 

මේ නීල් විජයරත්න මහතා අපේ ‍රටේ ප්‍රථම නොනිල ටෙස්ට් ක්‍රිකට් තරගයට අදාලව ලියා තැබූ සටහනක්. මේ සටහන අනුව ලංකාවේ නොනිල ප්‍රථම ටෙස්ට් තරගය එංගලන්තයේ එම්. සී. සී. කණ්ඩායම පැමිණියේ 1927 දී. මේ නොනිල ටෙස්ට් තරගය පැමිණි එම කණ්ඩායම තම නිවාඩු දවසේ දී හංවැල්ලේ රබර් වත්තක් බැලීමට යනවා. එහි උද්ධෘතය මේ..

”විවේකී සුවයෙන් දවස ගත කිරීමට රිසි වූ එම්. සී. සී. ක්‍රීඩකයෝ එම නිවාඩු දින රබර් වතු යායක් බැලීම සඳහා හංවැල්ලට ගිය හ. දවල් කෑමෙන් සප්පායම් වූ පසු ක්‍රිකට් ගැසීමේ ආශාව ඔවුන් තුළ ඇති වින. නමුත් පිති, ලෙදර් බෝල ඒ වෙලාවේ කොහෙන් හොයන්න ද? රබර් වතු යායේ සිටි අයකුගෙන් හෝඩුවාවක් ඔවුනට ලැබිණි. ඒ ලංකාවේ ගමේ අන්දමට ක්‍රිකට් ගසන අන්දම පිළිබඳවය. හනි හිනක පොල්පිති කැබැල්ලකින් පිත්තක් සාදන ලදුව ක්‍රිකට් තරගය ආරම්භ කෙරිණ. පන්දුව හැටියට යොදා ගන්නා ලද්දේ කඳුරු ගෙඩියකි. පසුව මේ පිළිබඳ පත්තර වාර්තා පවා පළ වී තිබිණ.”

දැන් මේ උද්ධෘතයට අනුව එංගලන්ත කණ්ඩායම ලංකාවේ දී කඳුරු බෝලෙන් ක්‍රිකට් ගසලා තියෙනවා. ඒ ගැන අපි දැන ගන්නේ නීල් විජයරත්න කළ සාහිත්‍ය ව්‍යාපාරය හේතුවෙන්. මෙවැනි සාහිත්‍ය ව්‍යාපාර ලංකාවේ තැන තැන හුදකලාව තිබුණා, තියෙනවා. 

අද සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේ දී සම්මාන ලබන අශෝක ගුණතිලක ඒ සාහිත්‍යය ව්‍යාපාරයෙහි යෙදුණෙක්. ගොඩනැඟූවෙක්. අද සම්මාන ලබන පාලිත පෙරේරා නිසා බොහෝ දෙනා ක්‍රිකට් බලන්න පුරුදු වුනා. ක්‍රිකට් ක්‍රීඩාවේ රසය බොහෝ දෙනා හඳුනා ගත්තේ පාලිතගේ මනස හරහා. පාලිත වචන හඳුන්වා දුන්නා. රසවත්ව විචාරයේ යෙදුණා. 

නමුත් අවාසනාවට මේ එක් එක් සාහිත්‍ය ව්‍යාපාර සියල්ල එක තැනකට ඒකරාශී වුනේ නැහැ. ඒ සාහිත්‍ය ව්‍යාපාර එකතැනක දී හමු වුණා නම් ලංකාවේ ක්‍රීඩා සාහිත්‍යයට අදාලව මහා දෘෂ්ටියක්, මහා චින්තන සම්ප්‍රදායක් ගොඩ නැ‍ගෙන්න තිබුණා. නමුත් එහෙම වුනේ නැහැ. මහා පෘථුල ක්‍රීඩා සාහිත්‍යයක් බිහි වුනේ නැහැ. 

අපේ රටේ පෘථුල ක්‍රීඩා සාහිත්‍යයක් වර්ධනය නොවීම අපේ රටේ ජනතාවගේ වැරැද්දක් නෙමෙයි. එවැනි ක්‍රීඩා සාහිත්‍යයක් බිහි නොවීමේ වගකීම ජනතාව දැරිය යුතු නැහැ. අපේ රටේ සිනමා සාහිත්‍යයක් ගොඩ නැඟුණා. නාට්‍ය සාහිත්‍යය, කෘෂිකාර්මික සාහිත්‍යය, මනෝවිද්‍යාත්මක සාහිත්‍යය යනාදි වශයෙන් අපේ රටේ වෙනත් හැම සාහිත්‍යයක්ම ගොඩ නැඟී තියෙනවා. ඇයි ක්‍රීඩා සාහිත්‍යයක් ගොඩ නොනැඟුණේ. ඒ සඳහා නිමග්න වෙන්න දක්ෂ ‍ලේඛකයින් නොසිටි නිසා නෙමෙයි. ඒ සඳහා දැනුවත් උපකාර සිදු නොවීම නිසා තමයි අපේ රටේ පෘථුල ක්‍රීඩා සාහිත්‍යයක් බිහි නොවුණේ. ඒ නිසා තමයි මේ සබුද්ධි ක්‍රීඩා සම්මාන උළෙල වඩාත් වැදගත් වෙන්නේ”,

යැයි පැවසුවා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<