නිදහස් කුසලානයෙන් මීගමුව වෙරළ තීරය උණුසුම්!

පළමුවැනි මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් ශූරතාවලිය 2022

181

තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සංවිධානයට කෙරෙන, 75 වැනි නිදහස් සමරු කුසලාන පළමුවැනි මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් ශූරතාවලිය අද (18) සිට 20 වැනිදා දක්වා මීගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවේ 75 වැනි ජාතික නිදහස් උළෙලට සමගාමීව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය ආසියානු වොලිබෝල් සම්මේලනය සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වනු ලබනවා.

මෙම තරගාවලිය සඳහා සත්කාරක ශ්‍රී ලංකාවට අමතරව උස්බෙකිස්තානය, පාකිස්තානය, ඉරානය සහ මාලදිවයින නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වනු ලබනවා.

එහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා සහ පිරිමි කණ්ඩායම් 3 බැගින් ද, ඉරානය සහ පාකිස්තානය හැරෙන්නට අනෙක් රටවල් නියෝජනය කරමින් කාන්තා සහ පිරිමි කණ්ඩායම් ශූරතාවය සොයා සටන් වැදීමට නියමිතයි.

තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා නිදහස් කුසලානයට අමතරව කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම ප්‍රථම ස්ථානය සඳහා ඇමරිකානු ඩොලර් 1500ක් ද, දෙවැනි ස්ථානය සඳහා ඇමරිකන් ඩොලර් 1000ක් ද, තෙවැනි ස්ථානය සඳහා ඇමරිකන් ඩොලර් 500 බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතයි.

පුරා දින 3ක් (18, 19, 20) මුළුල්ලේ පැවැත්වෙන මෙම තරගාවලියේ දිනපතා තරග උදෑසන 8 සිට 12 දක්වා සහ සවස 3 සිට 9 දක්වා පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරග 20 වැනිදා, ඉරිදා රාත්‍රි 7 සිට පැවැත්වීමට නියමිතයි.

අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, වාරිමාර්ග අමාත්‍ය නිමල් ලංසා මැතිතුමා, මීගමුව මහ නගර සභාපති දයාන් ලංසා මහතා සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, ජාතික ඔලිම්පික් කමිටුවේ උපසභාපති කාංචන ජයරත්න මහතා සහභාගී වීමට නියමිතයි.

තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<