ප්‍රතිවාදීන් මෙල්ල කරමින් විජය ක්‍රීඩිකාවන් ශූරතාව රැගෙන යයි

Dialog ජනාධිපති රන් කුසලානය 2021

181

අද (05) මහරගම තරුණසේවා සභා වොලිබෝල් සංකීර්ණයේ දී නිමාවට පත් වූ Dialog ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ කාන්තා ශූරතාවයට උරුමකම් කියන්නට කොස්වාඩිය විජය ක්‍රීඩිකාවන් සමත් වුනා.

තරග වට 3-1ක් ලෙස අවසන් වූ මෙම තරගයේ දී අනුශූරතාවය ජයග්‍රහණය කළේ ගලිගමුව හයිඩ්‍රාමනි ක්‍රීඩිකාවන් විසිනුයි.

සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය වට 3-1ක් ලෙස පරාජය කළ ගලිගමුව හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය සහ රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩිකාවන් වට 3-1ක් ලෙස පැරද වූ කොස්වාඩිය විජය ක්‍රීඩිකාවන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා.

දිනයේ පළමු අවසන් මහා තරගය ලෙස ආරම්භ වූ මෙම තරගයේ පළමු වටයේ ලකුණු රැස්කරන්නට හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවන් සමත් වුනා. කරට කර ඉදිරියට ඇදුණු තරගයේ 23-17ක් ලෙස තරමක හොඳ පරතරයක් ගොඩනගා ගන්නට හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවන් සමත් වූ අතර අවසානයේ දී පළමු වටය යටතට ගන්නට ඔවුන් සමත් වුනේ 25-18ක් ලෙසයි.

පළමු වටය: ගලිහමුව හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය 25 – 18 කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය

තරමක පීඩනයක් සමඟ දෙවැනි වටයට පිවිසි කොස්වාඩිය ක්‍රීඩිකාවන් ආරම්භයේ දී ම හොඳ අභියෝගයක් ලබා දෙමින් තරග කරනු දක්න ලැබුණා. කෙසේ නමුත් වටයේ අවසානයට වන්නට ඉතාමත් හොඳ පරතරයක් ගොඩනගා ගන්නට විජය ක්‍රීඩිකාවන් සමත් වූ අතර වරෙක ලකුණු පුවරු 21-12ක් ලෙස දැක්වුණේ විජය ක්‍රීඩිකාවන් පෙරමුණට රැගෙන එමින්. අවසානයේ 25-13ක් ලෙස දෙවැනි වටය අවසන් කරමින් තරගයට පිවිසෙන්නට විජය ක්‍රීඩිකාවන් සමත් වුනා.

දෙවැනි වටය: ගලිගමුව හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය 13 – 25 කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය

තෙවැනි වටයේ ආරම්භයේ දී ද කරට කර සටනක් දක්නට ලැබුණු අතර 15-09ක් ලෙස විජය ක්‍රීඩිකාවන්ට අභියෝගයක් වන්නට හයිඩ්‍රාමනි ක්‍රීඩිකාවන් සමත් වුනා. කෙසේ නමුත් තියුණු අවසානයක් කරා තෙවැනි වටය ඇදී ගිය අතර අවසානයේ දී 26-24ක් ලෙස කොස්වාඩිය විජය ක්‍රීඩිකාවන් එම ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

තෙවැනි වටය: ගලිගමුව හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය 24 – 26 කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය

තීරණාත්මක සිව්වැනි වටයේ ප්‍රථමයෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කරන්නට හයිඩ්‍රාමනි ක්‍රීඩිකාවන් සමත් වුනා. කෙසේ නමුත් ඉන් නොසැලී ඉදිරියට ආ විජය ක්‍රීඩිකාවන් 16-09ක් ලෙස වරෙක පෙරමුණ ගත්තේ ලකුණු 7ක පරතරයක් ගොඩනගා ගනිමිනුයි.

ඉන් අනතුරුව දක්ෂ හඹා යෑමක නිරත වූ හයිඩ්‍රාමනි ක්‍රීඩිකාවන් විජය ක්‍රීඩිකාවන් අභිබවා යෑමට උත්සහ කළත්, තරගය අවසන් වන තෙක් ඔවුන්ට එම බලාපොරොත්තුව සඵල කරගන්නට හැකි වුනේ නැහැ. හයිඩ්‍රාමනි ක්‍රීඩිකාවන් සාර්ථකව මෙල්ල කරමින් සිව්වැනි වටයත් සමඟින් අවසන් මහා තරගය ජයග්‍රහණය කරන්නට විජය ක්‍රීඩිකාවන් සමත් වුනේ 25-20ක් ලෙස සිව්වැනි වටය ජයග්‍රහණය කරමිනුයි.

සම්මානයට පාත්‍ර වූ ක්‍රීඩිකාවන්:

  • හොඳම පිරිනමන්නිය: නිමේෂිකා සෙව්වන්දි ගුණවර්ධන (ගලිගමුව හයිඩ්‍රාමනි)
  • හොඳම පන්දු ලබා ගන්නිය: දිලුක්ෂි හර්ෂණි සේනාරත්න (ගලිගමුව හයිඩ්‍රාමනි)
  • හොඳම පන්දු සකසන්නිය: W. තුෂාරි (කොස්වාඩිය විජය)
  • හොඳම ප්‍රහාරක ක්‍රීඩිකාව: දිනේෂා ප්‍රසාදිනි (කොස්වාඩිය විජය)
  • හොඳම පන්දු වළක්වන්නිය: චතුරිකා විජේසිංහ (කොස්වාඩිය විජය)
  • හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව – සංජීවනි අධිකාරි (කොස්වාඩිය විජය)
  • දක්ෂතම ක්‍රීඩිකාව – දිනේෂා ප්‍රසාදිනි (කොස්වාඩිය විජය)

ශ්‍රී ලංකා වොලිබෝල් පිටියේ උණුසුම ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<