නාත්තන්ඩිය යුනයිටඩ් සහ දෙබෑගම රන්තරු අවසන් මහා තරගයට

Dialog ජනාධිපති රන් කුසලානය 2021

243

2021 Dialog ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි අවසන් පූර්ව වටයේ තරග අද (29) ගාල්ල වොලිබෝල් නිවහනේ දී නිමාව දුටුවා.

එහි පළමු තරගයෙන් හොරණ වාසනා කණ්ඩායම තරග වට 3-0ක් ලෙස පරදවමින් සහ දෙවැනි තරගයෙන් බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩකයන් තරග වට 3-0ක් ලෙස පරදවමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පිළිවෙළින් නාත්තන්ඩිය යුනයිටඩ් සහ දෙබෑගම රන්තරු ක්‍රීඩකයන්ට හැකි වුනා.

හොරණ වාසනා සහ නාත්තන්ඩිය යුනයිටඩ්

ජාතික වොලිබෝල් පිටියේ දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මෙන්ම ජාතික කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ මෙම තරගය ආරම්භයේ සිටම ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තා.

ආරම්භයේ සිටම කරට කර පැවති පළමු තරග වටය මහේල ඉන්දීවර ඇතුළු ක්‍රීඩකයන්ගේ දස්කම් නිසාවෙන් ලකුණු 25-23ක් ලෙස ජයග්‍රහණය කිරීමට නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩකයන්ට හැකි වුනා.

තියුණු මුහුණුවරක් ගත් දෙවැනි වටයේ ජය ද හිමිකර ගනිමින් තරගය වට 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට නාත්තන්ඩිය ක්‍රීඩකයන්ට හැකි වුනේ ලකුණු 23-25ක් ලෙස එම වටයේ ජයග්‍රහණය ලබා ගනිමිනුයි.

තෙවැනි වටයේ මුල් භාගයේ පෙරමුණ ගැනීමට හොරණ ක්‍රීඩකයන්ට හැකි වුනත් මහේල ඉන්දීවර දැක්වූ දක්ෂ ක්‍රීඩා විලාශය නිසාවෙන් එම වටය ද ලකුණු 22-25ක් ලෙස ජය ගැනීමට නාත්තන්ඩිය ක්‍රීඩකයන් සමත් වුනා.

ඒ සමඟින් ප්‍රබල හොරණ වාසනා ක්‍රීඩකයන් තරග වට 3-0ක් ලෙස පරාජය කරමින් නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩකයන් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

දෙබෑගම රන්තරු සහ බොරලැස්ගමුව බලරැස්

මෙම අවසන් පූර්ව වටයේ තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තේ කණ්ඩායම් ද්විත්වයම ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනෙකු නියෝජනය කිරීම නිසයි.

පළමු වටයේ සිටම කණ්ඩායම් ද්විත්වයම එකිනෙකාට නොදෙවෙනිව ක්‍රීඩා කරනු දක්නට ලැබුනත්, මහේෂ් ඇතුළු දෙබෑගම ක්‍රීඩකයන්ගේ ඉහළ දස්කම් නිසාවෙන් එම වටය ලකුණු 20-25ක් ලෙස ජයග්‍රහණය කිරීමට දෙබෑගම ක්‍රීඩකයන් සමත් වුනා.

පළමු වටයේ දී ලබා ගත් ජයග්‍රාහී රිද්මය දෙවැනි වටය දක්වා කැඳවා ගෙන ආ දෙබෑගම ක්‍රීඩකයින් බොරලැස්ගමුව ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් එම වටය ජය ගැනීමට සමත් වුනේ ලකුණු 25-15ක් ලෙසයි.

දෙබෑගම ක්‍රීඩක ලසන්තගේ දක්ෂ ආවරණයත්, මහේෂ්ගේ වේගවත් ප්‍රහාරයත් නිසාත් තුන්වැනි වටය ලකුණු 25-19ක් ලෙස ජය ගනිමින් තරගය වට 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට දෙබෑගම ක්‍රීඩකයන්ට හැකි වුනා.

ඒ අනුව ඔවුන් 2021 Dialog ජනාධිපති කුසලානය සඳහා ප්‍රබල නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩකයන් සමඟින් තරග වැදීමට නියමිතයි.

එමෙන්ම අද (29) සවස්වරුවේ තෙවැනි ස්ථානය තේරීම සඳහා පැවති තරගයෙන් හොරණ වාසනා ක්‍රීඩකයන් පරදවා වට 2-1ක ජයක් ලබා ගැනීමට බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩකයන්ට හැකි වුනා.

තරගයේ පළමු වටය ලකුණු 25-23ක් ලෙස ජයග්‍රහණය කරමින් හොඳ ආරම්භයක් ලබා ගැනීමට වාසනා කණ්ඩායම සමත්වූවත්, දෙවැනි වටය 25-18ක් ලෙස ජය ගනිමින් තරගයට පිවිසීමට බලරැස් ක්‍රීඩකයන්ට හැකි වුනා.

ඉතාමත් තියුණු ලෙස දීර්ඝ කාලයක් පුරාවට පැවති තෙවැනි වටයෙන් ලකුණු 31-29ක තියුණු ජයක් ලබා ගනිමින් බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩකයන් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්නවොලිබෝල් පිටුවට <<