පහරට පහරින් උණුසුම් වූ අවසන් සංග්‍රාමයේ ජයග්‍රහණය දෙබෑගමට

Dialog ජනාධිපති රන් කුසලානය 2021

265

ශ්‍රී ලංකා වොලිබෝල් පිටියේ උත්කර්ෂවත් ක්‍රීඩා සැණකෙළියක් වන Dialog ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි කාණ්ඩයේ ශූරතාවය දිනා ගන්නට දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය අද (05) සමත් වුනා.

මහරගම තරුණසේවා සභා වොලිබෝල් සංකීර්ණයේ දී පැවති අවසන් මහා තරගයේ දී නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩකයින් වට 3-1ක් ලෙස පරාජය කරන්නට දෙබෑගම ක්‍රීඩකයින්ට හැකි වුනා.

ඉකුත් මස 29 වැනිදා ගාල්ල වොලිබෝල් නිවහනේ දී පැවති අවසන් පූර්ව තරගවල දී හොරණ වාසනා කණ්ඩායම තරග වට 3-0ක් ලෙස පරාජය කරමින් සහ බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩකයන් තරග වට 3-0ක් ලෙස පරාජය කරමින් පිළිවෙළින් නාත්තන්ඩිය යුනයිටඩ් සහ දෙබෑගම රන්තරු ක්‍රීඩකයින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

කාන්තා අවසන් මහා තරගයෙන් පසුව ආරම්භ වූ පිරිමි අවසන් මහා තරගයේ පළමු වටයේ දී පෙරමුණ ගන්නට සමත් වුනේ නාත්තන්ඩිය ක්‍රීඩකයින් විසිනුයි. එහි දී ඔවුන් 25-14ක් ලෙස වටය නිමා කරන්නට සමත් වුනා. පළමු අර්ධයේ දී නාත්තන්ඩිය ක්‍රීඩක මහේෂ් ඉන්දීවර කැපී පෙනෙන දක්ෂතා දක්වමින් සිය කණ්ඩායමට අවශ්‍ය සාර්ථක ආරම්භය ලබා දෙන්නට සමත් වුනා.

පළමු වටය: දෙබෑගම රන්තරු 14 – 25 නාත්තන්ඩිය යුනයිටඩ්

දෙවැනි වටය ආරම්භයේ දී ම ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට දෙබෑගම ක්‍රීඩකයින් සමත් වූ අතර පළමු වටයේ දී දක්ෂතා දැක්වූ නාත්තන්ඩිය ක්‍රීඩකයින්ට නොසිතූ අභියෝගයක් එල්ල කරමින් 24-22ක් ලෙස හොඳ අභියෝගාත්මක ලකුණු පුවරුවක් ගොඩනගන්නට දෙබෑගම ක්‍රීඩකයින් සමත් වුනා. දෙවැනි වටය අවසානයේ ප්‍රතිවාදීන් සාර්ථකව මෙල්ල කරන්නට දෙබෑගම ක්‍රීඩකයින් සමත් වුනේ 25-23ක් ලෙස එම වටය ජයග්‍රහණය කරමිනුයි.

දෙවැනි වටය: දෙබෑගම රන්තරු 25 – 23 නාත්තන්ඩිය යුනයිටඩ්

දෙවැනි වටයේ දී ලබා ගත් ජවය එලෙසම තෙවැනි වටයට ද රැගෙන ගිය දෙබෑගම ක්‍රීඩකයින් නාත්තන්ඩිය ක්‍රීඩකයින් දැඩි පීඩනයකට හසුකරමින් ලකුණු ලබා ගන්නට සමත් වූ අතර 20-14ක් ලෙස ලකුණු 6ක පරතරයක් ගොඩනගා ගන්නට දෙබෑගම ක්‍රීඩකයින් වරෙක සමත් වුනා.

නිවැරදි ශිල්පීය දක්ෂතා සහ ප්‍රතිවාදීන්ගේ දුර්වල ක්‍රීඩා විලාසයෙන් නිවැරදි ප්‍රයෝජන ගත් දෙබෑගම ක්‍රීඩකයින් අවසානයේ දී 16-25ක් ලෙස තෙවැනි වටය ජයග්‍රහණය කරන්නට සමත් වුනේ ජයග්‍රහණය සඳහා සාර්ථක අඩිතාලමක් සකසා ගනිමිනුයි.

තෙවැනි වටය: දෙබෑගම රන්තරු 25 – 16 නාත්තන්ඩිය යුනයිටඩ්

තරගයේ වඩාත් තීරණාත්මකම තරග වටය වූ සිව්වැනි වටය ආරම්භයේ දී ම දෙබෑගම ක්‍රීඩකයින් දෙසින් ලැබුණු පන්දුව සාර්ථකව ලකුණක් බවට පරිවර්තනය කරන්නට නාත්තන්ඩිය ක්‍රීඩක මහේෂ් ඉන්දීවර සමත් වුනා.

නමුත් එම අභියෝගයෙන් නොසැලුණ දෙබෑගම ක්‍රීඩකයින් සිය සුපුරුදු ක්‍රීඩා විලාශයෙන්ම ඉදිරියට ඇදුණු අතර තරගාවලියේ වරෙක ලකුණු පුවරුව 23-19ක් ලෙස සටහන් වුනේ දෙබෑගම ක්‍රීඩකයින් ජයග්‍රහණයට සමීප කරමිනුයි.

කෙසේ නමුත් අවසන් ලකුණ ලබා ගැනීමේ දී දැඩි පීඩනයට ලක් වූ දෙබෑගම ක්‍රීඩකයින් විසින් අත්වැරදීම් කිහිපයක් ම සිදු වූ අතර ඒවා සියල්ල නාත්තන්ඩිය ක්‍රීඩකයින්ට වාසි ගෙන දෙමින් අවසන් වුනේ 24-22ක් ලෙස ඔවුන් ඉදිරියට රැගෙන එමිනුයි.

මහේෂ් විසින් 24-23ක් ලෙස තරගය තවත් තීව්‍ර කරමින් ලකුණක් රැස් කරගන්නට සමත් වුනත් ඉන්පසුව සිදු කළ දුර්වල පන්දු පිරිනැමීම දෙබෑගම ක්‍රීඩකයින්ට වාසි ගෙන දෙමින් 25-23ක් ලෙස අවසන් වුනා.

25-26, 26-26, 26-27ක් ලෙස මහේෂ්ගේ වර්ණවත් දක්ෂතා සමඟ ඉදිරියට ආ තරගය අවසානයේ දී 28-26ක් ලෙස නිමා වුනේ දෙබෑගම ක්‍රීඩකයින්ගේ දක්ෂ පිරිනැමීමක් හමුවේයි. එ් අනුව තරග වට 3-1ක් ලෙස මෙවර Dialog ජනාධිපති රන් කුසලානයේ උරුමකරුවන් වන්නට දෙබෑගම රන්තරු ක්‍රීඩකයින් සමත් වුනා.

සිව්වැනි වටය: දෙබෑගම රන්තරු 28 – 26 නාත්තන්ඩිය යුනයිටඩ්

ජයග්‍රහණයෙන් අනතුරුව අදහස් දක්වමින් දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජයේ නායක ලසන්ත ප්‍රනීත් පවසා සිටියේ, පළමු වටයෙන් අපි පරාජය වුනත් අපේ පුහුණුකරු අපිට කිව්වා අපිට මේක දිනන්න පුළුවන් කියලා අපේ මානසික මට්ටම හැදුවා. අපිව මෙතැනට අරගෙන එන්න උදව් කර හැමදෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා, යනුවෙනුයි.

සම්මානයට පාත්‍ර වූ ක්‍රීඩකයින්:

  • හොඳම පිරිනමන්නා – කනිශ්ක මදුෂංක (රන්තරු දෙබෑගම)
  • හොඳම පන්දු ලබා ගන්නා – කසුන් චාමර රත්නායක (නාත්තන්ඩිය යුනයිටඩ්)
  • හොඳම පන්දු සකසන්නා – රුචිර සම්පත් ජයතුංග (රන්තරු දෙබෑගම)
  • හොඳම ප්‍රහාරකයා – මහේල ඉන්දීවර (නාත්තන්ඩිය යුනයිටඩ්)
  • හොඳම පන්දු වළක්වන්නා – නිශාන් කොඩිසිංහ (රන්තරු දෙබෑගම)
  • හොඳම ආරක්ෂක ක්‍රීඩකයා – මනෝජ් සුරංග වික්‍රමසේන (රන් තරු දෙබෑගම)
  • දක්ෂතම ක්‍රීඩකයා – සංඛ දිනෙත් ජයරත්න (රන්තරු දෙබෑගම)

ශ්‍රී ලංකා වොලිබෝල් පිටියේ උණුසුම ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<