සුලෝහිත සංග්‍රාමයට දුනු විදියි!

68
1st Battle of the Maroons Archery

කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර පසුගියදා නිමා වූ Battle of the Maroons හෙවත් සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව පැවැත්වෙන දෙවිදුහල් අතර “සුලෝහිත සංග්‍රාම” දුනු විදීමේ තරගාවලිය මේ මස 7 වැනිදා පෙරවරුවේ දී කොළඹ නාලන්දා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වේ.

මෙය මෙරට ඉතිහාසයේ පාසල් කණ්ඩායම් 2ක් සහභාගී වන පළමු ද්විත්ව දුනු විදීමේ තරගාවලියයි.

“අපි අවස්ථා කිහිපයක දී ම මේ වගේ තරගාවලියක් තියන්න ඕන කියන තීරණයේ හිටියා. ඒකට මූලික ම හේතු වුණේ දුනු විදිමේ ළමුන්ට ලැබෙන තරග අඩුයි. පුහුණුවීම් විතරයි. තරග අත්දැකීම් ලැබෙන්නෙ ම නැති තරම්. ඔවුන්ට වසරකට සහභාගී වෙන්න ලැබෙන්නේ ජාතික මට්ටමේ තරග 2ක් පමණයි. ඉතිං ඒ අඩුව පුරවන්නත් සහ ළමුන්ට තරග අත්දැකීම් ලබා දීමත් අරමුණු කර ගනිමින් අපි මේ තරගය වාර්ෂික මහා ක්‍රිකට් තරගයට ම සමගාමීව පවත්වන්න තීරණය කළා.” පේෂල කලංසූරිය මහතා මෙම තරගාවලිය පිළිබඳ ව ThePapare.com සමඟ පැවැසුවා.

කොළඹ ආනන්ද විද්‍යාලයේ මෙන් ම කොළඹ නාලන්දා විද්‍යාලයේ ද දුනු විදීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන්නේ පේෂල කලංසූරිය මහතායි.

ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඔහු 2007 වසරේ සිට ආනන්ද විද්‍යාලයීය දුනු විදීමේ කණ්ඩායම නියෝජනය කර ඇති අතර 2013 සහ 2014 වසරවල විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වයේ ද කටයුතු කර තිබෙනවා. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණය රාශියක් ද දිනා ඇති පේෂළ කලංසූරිය මහතා මේ වෙද්දී දුනු විදීමේ පුහුණුකරුවෙක්ට අමතර ව දුනු විදීමේ විනිසුරුවරයෙක් ලෙසින් ද කටයුතු කරනවා.

“මෙම තරගාවලිය සංවිධානය කිරීමේ දී විද්‍යාල දෙකේ ම විදුහල්පතිවරුන් ඇතුළු වගකිව යුතු සියලු දෙනාගේ ආශිර්වාදය සහ සහයෝගය ලැබුණා. ඒ වගේ ම දුනු විදීමේ සංගමයේ සහයෝගය ද මෙම තරගාවලියට ලැබෙනවා. ඔවුන්ගේ සහයෝගය මත අපි මෙම තරගාවලිය වාර්ෂික ව සංවිධානය කරන්න බලාපොරොත්තු වෙනවා.” පේෂල කලංසූරිය මහතා තව දුරටත් පැවැසුවා.

මෙම තරගාවලිය සංවිධානය කිරීමේ දී නාලන්දා විද්‍යාලයීය දුනු විදීමේ ක්‍රීඩාව භාර ආචාර්යවරුන් වන නිසංසලා ගලප්පත්ති මහත්මිය සම දුලීපා සෙනෙවිරත්න මහත්මියත්, ආනන්ද විද්‍යාලයීය දුනු විදීමේ ක්‍රීඩාව භාර ආචාර්යවරුන් වන රම්‍යා ජයතුංග මහත්මියත් සහ තුශාන්තා කුමාරි මහත්මියත් වෙහෙසකර කටයුතු සම්පාදනය කරන බැව් ද ඒ මහතා පැවැසුවා.

මෙම තරගාවලිය වයස අවුරුදු 10න් පහළ, වයස අවුරුදු 12න් පහළ, වයස අවුරුදු 14න් පහළ, වයස අවුරුදු 17න් පහළ සහ වයස අවුරුදු 21න් පහළ ඒකල ඉසව්වලින් ද සහ වයස අවුරුදු 14න් පහළ සහ වයස අවුරුදු 21න් පහළ කණ්ඩායම් ඉසව්වලින් ද සමන්විතයි. මෙම ඉසව්වලින් වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් හිමි කර ගන්නා පාසලට තරගාවලියේ සමස්ථ ශූරතාව හිමි වේ.

මෙම තරගාවලියේ දී ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වෙමින් පසුගිය වසරේ පැවැති ලෝක දුනු විදිමේ යොවුන් තරගාවලියට එක් වූ තිසල් දින්සර වෙතයි. කණ්ඩායමේ උප නායකත්වය හිමි ව ඇත්තේ එවැනි ම දක්ෂතාවලින් සපිරි දුලන නලජිත වෙතයි. ඔවුන් දෙදෙනා සමඟ මෙම තරගයට එක් වීමට තවත් ක්‍රීඩකයෝ 20 දෙනෙක් සූදානම් ව සිටිනවා.

නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ ශ්‍රී ලංකා දුනු විදීමේ කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලි රාශියකට එක් වූ රන්දීර් සෙනාරත්න වෙතයි. එම කණ්ඩායමේ උප නායකත්වයට රවීන් ප්‍රේමරත්න නම් කර තිබෙනවා.

තරගාවලිය ආනන්ද – නාලන්දා දෙවිදුහල් හී විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය එක් වෙන් දෙවිහල්හී ක්‍රීඩකයන් සියලු දෙනාට ThePapare.com උණුසුම් සුබ පැතුම්!

දෙස් – විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<